සැප්තැම්බර් පලමුවෙනිදා
,ඒ කියන්නෙ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා
පාන්දර 6.30ට විතර මට ෆෝන්කෝල් එකක් ආවා සුනිල් පෙරේරගෙන්.
“මචං,මට email කරල උඹේ account number එක එවපං.
මගේ email එක මතක තියාගන්න හරිම ලේසියි.
no problem perera@gmail.com”.
මම ඇහුව මොකද මේ හදිසියේම”.
“මගේ birthday එක ළඟ යි නේ”.
සුනිල්,හැම අවුරුද්දෙම එයා ගෙ උපන්දිනය දාට,
සැප්තැම්බර් 14දා, “ලොරෙන්සෝ ද අල්මේදා,කොලොම්තොටට යහපත් නාවිකයා….”ගීතය ලියූ මටත් එහි සංගීතය නිර්මාණය කල කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25,000 ගානෙ රුපියල් 50,000ක් ගෙවනව.
කාලෝ විජේසිරි මියගියත් ඔහුගේ බිරිඳට ඒ මුදල තැපැල් මගින් යවනව.
අපි ඉල්ලල නෙමෙයි, සුනිල්ම හිතල ස්වකැමැත්තෙන් සිදුවන දෙයක්.
2016 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දෙම සුනිල් ගෙ උපන්දිනය දවසට ඒ වැඩේ වෙනව.
මේ අවුරුද්දෙත් ඒ කටයුත්ත වෙනදට වඩා කලින් සැප්තැම්බර් පලමුවෙනිදාම කරන්න සුනිල් ඇයි තීරණය කලේ කියල මම ඇහුවෙ නෑ.
සුනිල්ට කොරෝනා වැළඳිල, සුවපත් වෙල ආපු බව මම දන්නව.
මම ඒ ගැන ඇහුවෙත් නෑ.
සුපුරුදු ලෙස උපන්දිනය දාටම සුනිල් මුණ ගැහිල ආ ගිය තොරතුරු සැපදුක විමසන්න මම හිතාගෙන උන්නෙ.
අනේ සුනිල්,ඇයි මෙහෙම උනේ….?
සුනිල් පෙරේරා කාටවත් බයත් නැති ණයත් නැති සුන්දර මිණිහෙක්.
සුනිල්,ඔබ දෙව්මව්තුරුලේ සුබ සිහිණ දකින්න.
ඌන පූරණයක්
=මම සුනිල්ගෙන් ඇහුව ඇයි මෙහෙම අපිට මේ වගේ ගෙවන්නෙ කියල.
එතකොට සුනිල් කිවුව උඹ ලියපු සිංදුව හරිම ජනප්‍රිය යි.
ඒ සිංදුව මම තාම මගේ ෂෝස්වල ගයල මම හම්භ කරනව.
ඉතිං උඹටත් ඒ සල්ලිවලින් ගාණක් අයිතියි.
ඩබ්.ජයසිරි