ලංකාවේ විකුණුවත් හැම කඩයකම බඩු ‘මේඩ් ඉන් චයිනා’ ය. ඉදිකටුව, අල්පෙනෙත්ත, සරුංගලයෙන් පටන් ගන්නා මේඩ් ඉන් චයිනා බඩු ලැයිස්තුවට ප්ලාස්ටික් පුටු, මේස, වීදුරු, රේඩියෝ, ටී.වී, ෆ්‍රිජ් පමණක් නොව යාන වාහනද දැන් එකතු වී තිබේ.
කෙසේ නමුදු කලකට ඉහතදී මේ භාණ්ඩ සියල්ල නිපද වූ රජයේ කම්හලක් කොළොන්නාවේ තිබුණේය. යුද්දෙට චීනයෙන් ගෙන්වන මෝටාර් බෝම්බ පවා එකල කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය විය. කොරෝනා අස්සේ චීනයෙන් බඩු නාවොත් රටම හාන්සි වීමේ අවදානමක් උද්ගත වී ඇති මේ මොහොතේ අප කල්පනා කළේ මුළු රටටම ඕනෑ බඩු නිපදවූ කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවට වූ දේ ගැන සොයා බලන්නටය.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයෙන් දින කීපයකට පසු අලුත් අගමැතිවරයකු අරලියගහ මන්දිරයට ආවේය. අගමැතිවරයාගේ නිල නිවස වූ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ පදිංචියට අලුත් අගමැති විජයානන්ද දහනායක ආවේ සූට්කේසයත් සියතින් ඔසවාගෙනය. නව අගමැතිවරයාට අරලියගහ මන්දිරයේ අහුමුලු පෙන්වූයේ අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන්ය. ‘‘සර්, මේ තමයි නිදන කාමරය’’ කියමින් ඔහු අගමැතිවරයාට නිල වශයෙන් හිමි නිදන කාමරය පෙන්වීය.
‘‘තනිකඩයෙක් වන මට මොකටද මෙච්චර ලොකු කාමරයක්. මේ කාමරය පොඩි කරලා දෙන්නැ’’ යි අලුත් අගමැතිවරයා අගමැති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
අල්පේච්ඡ ඇවතුම් ඇති අලුත් අගමැතිවරයාගේ අරුම පුදුම ඉල්ලීම ඉටු කිරීමට අගමැති ලේකම්වරයා වහාම වඩුවෝ ගෙන්වූහ.
අගමැතිවරයාගේ කාමරය හදන්නට වඩුවන් ගෙන්වූයේ රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවෙනි. එදවස රාජ රාජ මහා අමාත්‍යවරුන්ගේ ගෙවල් දොරවල්, පුටු, ඇඳන්වල සිට රජයේ සියලු වැඩ කෙරුණේ මේ දෙපාර්තමේන්තුවෙනි. එම දෙපාර්තමේන්තුව අයත් වූයේ රජයේ වැඩ අමාත්‍යංශයටය. ජෝන් කොතලාවල ආදීහු එකල රජයේ වැඩ ඇමැති ධුරය දැරූහ.
රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ඇණ මුරිච්චියේ සිට සියල්ල නිපද වූයේ මේ බිමෙනි. රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව පසුව රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව ලෙස නම් මාරු විය. නමුත් කළ වැඩවල නම් වෙනසක් නොවීය.
කාලය හරි පුදුමය. එදා රටේ සංවර්ධනයට යෝධ ශක්තියක් වූ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව අද තටු සිඳලූ කුරුල්ලකු සේය. කොළොන්නාවේ අක්කර දාහතරක වපසරියක විහිදී තිබූ මේ යෝධයා අද අව් වැසි සුළංවලින් පීඩා විඳිමින් දිරාපත් වී ඇත්තේය.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති පදවි ප්‍රාප්තිය නිමිති කොටගෙන කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ සේවක පිරිස මේ විසල් කම්හල් බිම මායිම දිගට තේක්ක පැළ සිටවූහ. වසර 40 ක් පමණ පැරණි රූස්ස තේක්ක තුරු සෙවණ යටින් අද කොළොන්නාවට යන එන ජනී ජනයාට පවා මෙම මායිමෙන් එහා ඇති යෝධ වැඩබිම ගැන නිනව්වක් නැත.
යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ඉහළ ඉංජිනේරුවන් විසින් පාලනය කළ මෙම දෙපාර්තමේන්තුව ආරම්භ වූයේ 1849 වර්ෂයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුව නමිනි. එය මුලින් ඇරඹුණේ කොළඹ ඕල්කට් මාවතේය. එය 1924 රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ උප දෙපාර්තමේන්තුවක් වශයෙන් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව කොළොන්නාවේ පිහිටුවන ලදී. සුද්දෝ ලංකාව පාලනය කළ යුගයේ රටපුරා මහාමාර්ග, පාලම්, බෝක්කු තැනීම මෙහි ආරම්භක අරමුණ විය. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදී අප රට නිදහස ලැබූ පසුවද කර්මාන්ත දෙපාර්තමේන්තුව අලුත් වැඩ රැසකට අත ගැසුවේය.
1953 දී අගමැති වූ සර් ජෝන් කොතලාවල වරක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල මේසය අලුත්වැඩියාව සඳහා වගකීම භාර දුන්නේත් රජයේ කර්මාන්ත ශාලාවටයි. එහි නිමාව පිළිබඳ ඒ තරම් විශ්වාසයක් පැවැතිණි. එමෙන්ම එක්තරා කාල පරිච්ඡේදයක රජයේ කාර්යාල, ආයතනවලට අවශ්‍ය සියලුම ලී බඩු සැපයීම සිදුවූවේද මෙතැනිනි. සභාපතිගේ, අධ්‍යක්ෂගේ පටන් කාර්යාල කාර්ය සහායක දක්වා නිලය අනුව දිග පළල අඩු වැඩි වන මේස නිර්මාණයට නියමිත ක්‍රමවේදයක් තිබිණි. එලෙස නිමවන මේස, පුටු, අඩු වශයෙන් වසර 150-200 ක් පමණ නොනැසී සවිමත්ව පවතී. මෙම කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ භාවිත කරමින් සිටින මේසයේ වයස අදට අවුරුදු 120 කි. වසරින් වසර අලුත් මේස, පුටු මිලදී ගැනීමක් හා අබලි ගොඩගසා ගැනීමක් මෙහි නැත.
රජයේ සියලුම ලිපි ලේඛන සැකසූ ටයිප් රයිටරය එදා කාර්යාලයකට ඉතාම වැදගත් අත්‍යවශ්‍ය උපාංගයක් විය. යාපනයද ඇතුළුව සියලුම රජයේ ආයතනවල ටයිප් රයිටර් නඩත්තුව හා අලුත්වැඩියාව කළේ මෙම දෙපාර්තමේන්තුවයි. දිනෙන් දින, පැයෙන් පැය අලුත් වන තාක්ෂණයෙන් යුක්ත පරිගණක යුගය දක්වා පැමිණ තිබුණද උසාවි හා පොලිසිවල අදටත් භාවිත වන්නේ ටයිප් රයිටරයයි. අදටත් ඒවායේ නඩත්තුව භාරව ඇත්තේ අදටත් කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවට පමණයි.
ලංකාවේ ජලාශ ඉදිකිරීමේ වැඩ කටයුතු දැන් දෙන්නේ පිටරටටය. එසේ නැතිනම් කෝටි ගණන් අත යට ගනුදෙනුවලින් පසු පෞද්ගලික සමාගම්වලටය. එනමුත් මේ කිසිදු අයෙක් 2006 එල්ටීටීඊය මාවිල්ආරුව අල්ලාගෙන එහි සොරොව්ව විනාශ කළ විට එය හදන්නට ඉදිරිපත් නොවීය.
කවුරුත් ඉදිරිපත් නොවූ ඒ වැඩෙත් දිවි නොතකා කරන්නට ආවේ රජයේ කර්මාන්ත ශාලාවේ සේවකයන්ය. මාවිල්ආරුවේ පමණක් නොව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලුම ඉදිකිරීම් කටයුතු පෙරදී ඉටු කෙරුණේ මෙම කර්මාන්ත ශාලාව මගිනි.
වෙහෙරගල ජලාශය, දැදුරුඔය ජලාශය ඊට උදාහරණය. එහෙත් පිටරට ආධාර ලැබෙන මහා ජලාශ ව්‍යාපෘතිවලට මෙම ආයතනය සෘජුව සම්බන්ධ කර නොගැනීම ඛේදවාචකයකි. නමුත් ප්‍රධාන කොන්ත්‍රාත්තුව අත්පත් කරගන්නා පෞද්ගලික සමාගම විසින් රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට උප කොන්ත්‍රාත්තුව ලබාදේ. එමගින් නිපුණ ශිල්පීන්ගේ දායකත්වයෙන් සිදුවන මාහැඟි නිෂ්පාදනයේ කීර්ති නාමයත්, ලාභයත් එම පෞද්ගලික කොන්ත්‍රාත්කරුවාට හිමිවේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල අංක තහඩු සහ නිල පටි තැනීමද පොලිසියට සහ බන්ධනාගාරයට අවශ්‍ය මාංචු නිෂ්පාදනය අලුත්වැඩියාවද මෙහි සිදුවිය. නමුත් දැන් ලංකාවට මාංචු ගෙන්වන්නේත් පිටරටිනි.
මෙහි සිදු කළ තවත් අගනා කර්මාන්තයකි, දුම්රිය තිරිංග පළු නිෂ්පාදනය. ඒ සඳහාම විශේෂයෙන් පුහුණු කළ සේවකයන් මෙහි නිෂ්පාදන කටයුත්තට යොදවා තිබුණි. එය කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවට වැඩිම ලාභයක් ලබාදුන් ආදායම් මාර්ගයක්ද විය. දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම තිරිංග පළු සැපයූයේ විශේෂ අඩු මිලකට වුවත් පසු කාලය වන විට මිල අධික සින්තටික් තිරිංග පළු ආනයනය කිරීම ආරම්භ වීමත් සමග එම අංශයද අඩපණ වී ගියේය.
රජයේ කර්මාන්ත ශාලාවෙන් ගොඩට, මඩට, රජයේ කාර්යාලවලට උපකරණ හැදුවා සේම හමුදාවට අවශ්‍ය යුද්ධෝපකරණ නිපදවූ කාලයක්ද තිබුණි. රොකට් ලෝන්චර් හා මෝටාර් එසේ නිපදවූ ආයුධය. එනමුත් පසුකලක රොකට් ලෝන්චර් හා මෝටාර්ද ගෙන්වූයේ පිටරටිනි. ඒවා ගෙන්වූ කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ බවට පත්වූහ.
ලංකාවේ ප්‍රධානම සෞඛ්‍ය මධ්‍යස්ථානය වන ජාතික රෝහලේද කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ ශාඛාවක් පිහිටුවා ඇත. එමෙන්ම රජයේ සියලුම රෝහල්වලට අවශ්‍ය වූ ළදරු හා මාතෘ ඇඳන්, දැඩි සත්කාර ඇඳන්, රෝගීන් ගෙන යන ඇඳන්, සේලයින් රඳවන, රෝද පුටු, ට්‍රොලි, වෛද්‍ය උපකරණ බහාලුම්, ආහාර බඳුන් පවා සැපයීම සිදු කළේ මෙම දෙපාර්තමේන්තුව මගිනි.
1988 දී පළාත් සභා පිහිටුවීමත් සමගම දෙපාර්තමේන්තු ප්‍රාදේශීයව බෙදී ගියේය. එම පළාත් සභා රෝහල්වලට විවිධාකාර ඇණවුම් පිටතින් ලබාගත් අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තු ඇණවුම්ද ගිලිහී ගියේය. මිලෙන් අඩු සෞඛ්‍ය උපකරණ පිටරටවලින් ගෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩි ගුණාත්මක භාවයෙන් හා ඉහළ ප්‍රමිතියෙන් යුත් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සඳහා වන ඉල්ලුම අවම වී ඇත. ඉන්දියාවේත් වාහන එකලස් කිරීම ආරම්භ කර නොතිබූ කාලයක පවා මෙම ආයතනයේ වාහන එකලස් කිරීමද සිදුවිය. ප්‍රංශයෙන් ගෙන්වන ලද වාහන උපාංග හා චැසිවලින් රෙනෝල්ඩ් වාහන 7 ශ්‍රී නොම්මරය දක්වා නිෂ්පාදනය විය. මේවා රු. 15,000 මිලකට රජයේ ආයතනවලට විකුණන ලදී. පොලිසියට ජීප් විදිහට පාවිච්චි කිරීමටද මෙම වාහන ලබාදී තිබේ. 1972 වර්ෂය වන විට 1900 ක සේවක පිරිසක් සමග පළමු ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වශයෙන් නැගී සිටි මේ දැවැන්තයා බිඳ වැටීමට පටන්ගෙන ඇත්තේ දේශීය කර්මාන්තයට අඳුරු දසාව උරුම කළ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විවෘත ආර්ථිකයත් සමගය. එතැන් සිට රජයේ කර්මාන්ත ශාලාව උඩින් කණකොකා පියාඹා ගියේය.
අන්තිමේදී රජයේ කර්මාන්ත ශාලාවට ඉතිරි වූයේ ඡන්ද පෙට්ටි හැදීම ඇතුළු ලී වැඩ කීපයකි. නැතිනම් පොලිසියේ නිල අංක, නිල පටි හැදීම වැනි සිල්ලර වැඩ ටිකකි. එහෙත් අද නිදා සිටියත් මේ යෝධයා අතින් රටට දැනෙන ලොකු වැඩක් කළ යුගයක් තිබුණි. ආණ්ඩුවට ඕනෑකමක් තිබෙනවා නම් මේ යෝධයා නින්දෙන් අවදි කළ හැකිය. එසේ කළහොත් පිටරටින් එනතුරු මුහුදට දත නියව නියවා සිටිය යුතු නැත.
මනෝරා ප්‍රේමතිලක
ඡායාරූප: ප්‍රදීප් දඹරගේ