කොරෝනා පැනියත් සමග මුහුණු පොතේ ඒ ගැන ඇති වූ සංවාද-විසංවාද, තර්ක-විතර්ක ශ්‍රී ලාංකීය සමාජයට අමුතු අත්දැකීමක් කිව්වොත් වැරදි නැහැ. මිනිස්සු තාර්කිකව සිතීම පිළිබඳ සහ තාර්කිව සිතීමේ පරිමාණය කොතනද යන්න හොඳින් හෙළිදරව් වූ තැනත් විදිහට කොරෝනා පැනියත් සමග මතු වූ සංවාද ගැන කියන්නට පුළුවන්. මෙහිදී දකින්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් තමයි මිනිස්සු වාර්ගික වශයෙන් හෝ ආගමික පැත්තෙන් සිතන එක පැත්තක තියලා බටහිර – දේශීය, විද්‍යාව – අවිද්‍යාව වගේ අන්ත වලට ගිහින් සංවාදයේ යෙදීම. ඒ වගේම පැනිය හදන එක විද්‍යාත්මක කළ යුතුයි කියන අයට විපක්ෂව ඒ කියන්නේ දේශීය බෙහෙතක් හදන එක බටහිර මිණුම් දඬු වලින් කොහොම ද හොයන්නේ කියමින් ජාතිකවාදී, දේශප්‍රේමී කියන අන්තයේ හිටපු අයත් අතරින් පතර දියුණූ සිතීම් එහෙම නැත්නම් තර්ක කරලා තිබුණා.
මුහුණු පොතේ සාධනීය පැත්ත වැඩියි
මුහුණු පොතේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් තමයි මිනිස්සුන්ගේ සිතුම්, පැතැම්, තර්කණය දියුණු කරන එක. තවත් විදිහකට කිව්වොත් මිනිස්සු ලෞකික වටිනාකම් එක්ක තව තවත් ශීලාචාර කරන එක. ඒ වගේම ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මිනිස්සුන්ගේ සිතුම් – පැතුම්, තර්කණය කියන එක නොදියුණු පැත්තට අරගෙන යන එක. අපි තව තවත් ගෝත්‍රික, දූපත්වාසී, ජාතිවාදී, වර්ගවාදී පැත්තට අරගෙන යන එක. මේ ලක්ෂණ දෙකම තිබුණත් මුහුණු පොතේ සාධනීය පැත්ත වැඩියි කියලයි මම හිතන්නේ. මොකද සම්ප්‍රදායික මාධ්‍ය අතර මේ මෙවලම වෙලාවක් කාලාවක්, සීමාවක් නැතුව මිනිස්සුන්ට පහසුවෙන් සංවාද කරන්න, විවෘත වෙන්න වේදිකාවක් මුහුණු පොත හදලා තියෙනවා.
කාලි නම් දෙවඟනට පැණියක් දෙන්න බැරි ඇයි?
කොරෝනා පැනිය ගැන එක තැනක මෙහෙම පොස්ට් එකක් තිබුණා “ ලෝකය මැව්වෙ දෙවියෝ කියන එක පිළිගන්න එවුන් කොරෝනා පැණිය දුන්නේ කාලි මෑණියෝ කිව්වම එක පිළිගන්නේ නෑ” ඇත්ත වශයෙන්ම මේ කතාව ඉතා හොඳ උත්ප්‍රාසාත්මක වගේම නිවැරදි තර්කයක්. තමන්ගේ මිත්‍යා මත එහෙම්ම තියෙද්දි අනෙකාගේ මිත්‍යා මතය පමණක් පෙනීම කා තුළත් ඇති දුර්වල ලක්ෂණයක්. දෙවියෙකු ට ලෝකය මවන්න පුළුවන්නම් කාලි නම් දෙවඟනට පැණියක් දෙන්න බැරි ඇයි? ලෝකයේ මහා සම්ප්‍රදායේ ආගම් ආගම්වල මැවුම්කාරකම් ගැන කතා කරන්න පැකිලෙන, අදි මදි කරන අපි, එහෙම කතා කරොත් ජාතිවාදී වෙයි කියලා හිතන අපි, මේ හින්දු ආගමේ එන දෙවියෙකුට තඩි බානවා. හොඳ වෙලාවට හින්දු ආගමේ ඒක දෙවි වන්දනාවක් නැහැ. තව ඕන තරම් දෙවිවරු ඉන්නවා.
සාදික්කා වලින් හදපු බෙහෙත දේශීය වෙන්නේ කොහොම ද ?
තව තැනක කොරෝණා පැනිය ගැන මේ වගේ උත්ප්‍රාසාත්මක තවත් පෝස්ට් එකක් තිබුණා. “ කෑගල්ලේ වෙද මහත්තයා කොරෝණාවට බෙහෙත හොයාගත්තා, ආයුර්වේද දොස්තර මහත්තුරු ඒ වෙද මහත්තයාට සහතික නැති බව සොයාගත්තා” ඇත්තටම ලංකාවේ අධිපති නිළධාරි පැලැන්තිය බොහෝ විට හැසිරෙන්නේ එහෙම තමයි. තමන්ගේ විශය පථයට ගැනෙන දේ ගැන මෙලෝ හසරක් නොකර ඉන්න ගමන්, පර්යේෂණයක් නොකර ඉන්න ගමන් වෙන සාමාන්‍ය පුද්ගලයකු යමක් හොයාගත්තම මේ වගේ කුහක වැඩ කරනවා. මොකද ඒ ගොල්ලො හිතනවා එහෙම අය මතුවෙන එක ඒ අයට අභියෝගයක් කියලා. නව අත්හදා බැලීම් කරන්න, අලුත් අලුත් දේ කරන්න, නවීකාරක වෙන්න මිනිස්සු සහතික ගන්නම ඕන නෑ. ආයතනගත වෙන්න ඕනම නැහැ. හැබැයි ඒකෙන් එහෙම කෙනෙකු වුණුත් තමන්ගේ සොයා ගැනීම විද්‍යාත්මක ක්‍රමයකට තහවුරු කළ යුතුය කියන නියමය අහෝසි වෙන්නේ නෑ. එහෙම කරන්නේ නැත්නම්, එහෙම කරන්න බැරිනම් ඒක යට මොකක් හරි තක්කඩි කමක් තියෙනවා. කෑගල්ලෙ වෙද මහත්තයා කියන කෙනත් අහුවෙන්නේ ඒ ගොඩට.
මිනිස්සු සංවාදයේ යෙදෙන තරමට අලුත් අලුත් තර්ක සහ අදහස් මතුවෙනවා. පැණිය ආපු මුල් දවස්වල පැණිය සාර්ථක බවත් එය දේශීය දෙයක් බවත් කියන අය හිටියා. ටික දවසකින් තව කෙනෙක් මෙහෙම අහලා තිබුණා. “ ඉන්දියාවේ දෙවිකෙනෙක් කියපු විදිහට සුද්දො ලංකාවට හඳුන්වලා දුන්නු සාදික්කා වලින් හදපු බෙහෙත දේශීය වෙන්නේ කොහොම ද” කියලා ඇත්තටම ඒකත් බොහොම අපූරු තර්කයක්.
මම නගපු තර්කයක් මේක. වෙන අයත් මේ ගැන කියලා ඇති. ඉතිං වෙද මහත්තයා දැං ඕක බටහිර ක්‍රමේට පරික්ෂා කරන්නත් බැරි නම්, කරා කියන පරික්ෂණේ ලංකාවේ මිනිස්සු පිළිගන්නෙත් නැත්නම් ඔයාම ඕක බීලා, තනියම බැරිනම් මහාචාර්ය නලින්ද සිල්වා, ඇමැතිනී පවිත්‍රා, ඇමැති ජයසුමන වගේ අයටත් පොවලා ඔය කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු එක්ක සතියක් ඉඳලා පෙන්නන්නකො කියන එක. වෙන මොන පරික්ෂණ ද? ඒක නේද? හොඳම පරික්ෂණේ.
කාලි පැණිය වෙනුවෙන් මුලදි පෙනී හිටි අය
තව තැනක මනෝ වෛද්‍යවරයෙක් කියලා තිබ්බා තමන් දෙවියෙක් කියලා හිතන එක මානසික රෝගයක් කියලා. ඒක ඔය සාමාන්‍ය මිනිස්සු කිව්වට වඩා ප්‍රභලයි. ඉතිං මීට පස්සේ දශමෙකින් හරි දෙයියො කියන තක්කඩියෝ පස්සේ මිනිස්සු යන එක අඩුවෙයි. කොහොමත් මේ කාලි පැණිය වෙනුවෙන් මුලදි පෙනී හිටිය අයගේ සීග්‍ර පසුබෑමක් දකින්නට පුළුවන්.
මෙන්න මේ විදිහට බොහොම අපූරු විදිහට පැණි සංවාදයට අපි පැණියො වගේ වහ වැටිලා, පැණියට පක්ෂ – විපක්ෂ කවුරුත් නොහිතන තැන් වලින් නිරාවරණය වෙන්න ගන්නවා. අවසාන විග්‍රහයෙදි අපි හැම කෙනාගෙම අඩු වැඩි වශයෙන් තියෙන අවිචාරය කියන එක හෙළිවෙනවා. අපි නොහිතපු තැන් වලින් අළුතින් හිතන්න ගන්නවා. තර්ක කරන්න ගන්නවා. සමාජ මාධ්‍යයට හැර අනෙක් කිසිම මාධ්‍යයකට මේ තරම් ප්‍රභල විදිහට මිනිස්සු අතර අන්තර් සබඳතාවක් වගේම අන්තර් සංවාදයක් ගෙනියන්නට බැහැ.
-අතුල දිසානායක(fb)