යුද්ධයෙන් මියගිය ආදරණීයයන් සමරන උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහිව නිරෝධායන තහංචි වලට අමතරව පොලිසිය හා හමුදාව යොදා ඇති ආණ්ඩුව දකුණේ රණවිරු උත්සව ජයට පැවැත්විය. මියගිය සමීපතමයන් අනුස්මරණය කරන දෙමළ ජාතිකයන් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගන්නා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ දෙමළ දේශපාලනඥයකුට උතුරේදී බාධා කර ඇත්තේ ශාරීරික හිරිහැර සිදු කරමිනි.
යුද්ධයේදී මිය ගිය දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහි කරමින් උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකම ආරක්ෂක අංශවල බාධා මධ්‍යයේ පහන් දැල්වෙද්දී කාන්තාවන් ඇතුළු දෙමළ ජාතිකයන් දස දෙනකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය සමීපතමයන්ට කල්කුඩා මුහුදු වෙරළේදී උපහාර දැක්වූ ඔවුන් දසදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමිනි. සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් 1974 දී ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකිරීම සදහා යාපනය වීරසිංහ ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධිය වෙත මලින් පහනින් උපහාර දැක්වීමට ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්ට සන්නද්ධ යුද හමුදා සෙබළුන් දෙදෙනකු මැයි 18 අඟහරුවාදා හිරිහැර කරන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ. මිය ගිය සමීපතමයන්ට උපහාර දැක්වීමට ගෙන ආ පුජා භාණ්ඩ උදුරා ගැනීමට හමුදා සාමාජිකයන් එහිදී උත්සාහ දරන දකින්නට ලැබුණි. යුද හමුදාවට නීතිය හා සාමය සම්බන්ධ සිද්ධීන්ට මැදිහත්වීමට අයිතියක් නැති බව ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු වන සිවාජිලිංගම් එහිදී අවධාරණය කළේය. “පොලීසියට එන්න කියන්න. මට ගහන්න එපා,” යි හමුදා බාධා කිරීම් වලක්වන්නට උත්සාහ කරමින් 63 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා පවසන අයුරු වීඩියෝ ගත වී තිබේ. පසුව පොලීසිය පැමිණ හිටපු මන්ත්‍රීවරයා නිදහස් කර තිබුනේ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවය.
යුද්ධයෙන් මරා දමනු ලැබුවන් අනුස්මරණය කරන උතුරු නැගෙනහිර දෙමළ පුරවැසියන්ගේ අයිතිය වසංගතය මුවාවෙන් විවිධාකාර හිරිහැර කර උදුරාගන්නා ආරක්ෂක හමුදා විසින් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකයා ඇතුළු දේශපාලකයන් සමග එක්ව ඊට පසුදා කොළඹදී යුද ජයග්‍රහණ සමරුවක් පැවැත්වීම එම්.කේ සිවාජිලිංගම්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
“මේ රටේ ඉන්නේ දෙජාතියක් කියලයි ආණ්ඩුව කියලා තියෙන්නේ” මැයි 19 බදාදා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේ, උතුරේ ජනතාව වර්ග සංහාරයකින් මියගිය දෙමළ වැසියන් සමරද්දී, මැරුනු කොටි සමරන බවට දකුනේ සිංහල මාධ්‍ය ආයතන බොරු ප්‍රචාර දියත් කරන බවටයි.
“මැයි මාසේ 18 වැනිදා ලක්ෂයකට වැඩිය කට්ටිය 1948 ඉදලා මැරිලා තියනවා. ශ්‍රී ලංකා රජයේ හමුදාව තමයි මේ අපේ දෙමළ ජනතාව මරලා දැම්මේ. ඒක මැරිච්ච කට්ටිය තමයි අපි සමරන්න බලන්නේ.”
යුද ජයග්‍රහන සැමරීමට ආණ්ඩුවට අයිතිය පවතින ආකාරයෙන්ම මිය ගිය සමීපතමයන් සැමරීමට උතුරේ ජනතාවටත් අයිතියක් ඇති බවයි එම්.කේ සිවාජිලිංගම් පවසන්නේ.
“එතන සමරනවා නම් මේ අයිතිය අපිටත් තියනවා. ඒ යුද්ධ ජයග්‍රහන කරනවානම් මැරිච්ච මිනිස්සුන්ටත් අපිටත් සමරන්න අයිතිය තියෙන්න ඔන, ” යුද්ධයේදී මිය ගිය යුද හමුදාවේ සාමාජිකයන් සම්බන්ධයෙන්ද හිටපු මන්ත්‍රීවරයා කනගාටුව පළ කළේය. මිය ගිය සාමාන්‍ය දෙමළ ජනතාව සැමරීම කොටි සමරන බවට අර්ථකථනය කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගැනීම වැරදි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ. මඩකලපුවේදී ඊයේ දිනයේ දස දෙනකු අත්අඩංගුවට ගන්නා ලද්දේ එකම ස්ථානයකින් වුවද ඔවුන් රඳවා තබා සිටින්නේ පොලිස් ස්ථාන තුනකය. සිව් දෙනකු එරාවුර් පොලිස් ස්ථානයේත්, තවත් සිව් දෙනෙක් වාලච්චේන පොලිස් ස්ථානයේත් අනෙක් දෙදෙනා කල්කුඩා පොලිස් ස්ථානයේත් රදවා ගනිමින් තව දුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
“ජාතික රණවිරු දින උත්සවයේ සජීව විකාශය” පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු ස්මාරක භූමියේ පැවැත්වෙන ආකාරය ජනාධිපති ගෝඨාභය සිය මුහුණු පොත හරහා සජීවිව විකාශය කර තිබුනි. උතුරු නැගෙනහිර සැමරුම් නැවැත්වීමට අධිකරණ නියෝග ලබා ගත් ශ්‍රී ලංකා පොලීසිය එම උත්සවය නැවැත්වීමට අධිකරණ තහනම් නියෝග ඉල්ලා සිටි බවක් මේ වන තෙක් දැනගන්නට නැත.
එම්.කේ සිවාජිලිංගම් උපහාර දැක්වීමට උත්සාහ කළ යාපනය වීරසිංහ ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධිය පිහිටුවා ඇත්තේ දෙස් විදෙස් බුද්ධිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවති සිව්වැනි ජගත් දෙමළ සමුළුවට පොලිසිය විසින් පහරදීමෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහාය.
දෙස් විදෙස් උගතුන්ගේ දායකත්වයෙන් 1974 ජනවාරි 3 දායින් ඇරැඹී පුරා සතියක් තිස්සේ පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ දී නොදන්වාම සම්මේලන භූමියට ඇතුල්වූ යාපනයේ සහකාර පොලිස් අධිකාරි එස්. කේ චන්ද්‍රසේකර ගේ නායකත්වයෙන් යුත් පොලිස් භට කණ්ඩායමක් විසින් වෙඩි තබන ලද්දේ කීර්තිමත් තමිල්නාඩු විද්වතකු වූ මහාචාර්ය නයිනා මොහමඩ් සිය දෙසුම පවත්වමින් සිටියදීය. සමුළුව කොළඹ පවත්වන ලෙස බල කරමින් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කළ බාධා නොතකා යාපනයේම එය උත්සවාකාරයෙන් පැවැත්වීමට සංවිධායකයෝ සමත් වී සිටියහ.
ජීප්රථ සහ වෑන්රථ වලින් පැමිණි පොලිස් භට පිරිස් යාපනයේ වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබු වේදිකාව අබියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත බැටන් පොලුවලින්, රයිෆල් කඳන් වලින් පහර දෙමින් වෙඩි තැබූ බව සමුළුවට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පසුව පවසා තිබුනි. පොලිසිය වෙඩි තැබීමෙන් කඩා වැටුනු විදුලි රැහැන් ද ප්‍රහාරයෙන් බේරීමට පලා යන පිරිස් මත ඇද වැටී තිබේ. පොලිස් ප්‍රහාරයෙන් නම දෙනකු මරා දමන ලද අතර නගරය අවට දේපල විනාශ වී තවත් 50 කට වැඩි ගණනක් බරපතල තුවාල ලැබුහ. පොලිසිය සේවයක් මිස බලකායක් නොවේ:
සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔස්වල්ඩ් ලෙස්ලි ද ක්‍රෙස්ටර් ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසම තීන්දු කර තිබුනේ පොලිසිය තම රාජකාරිය නිසි පරිදි අවබෝධ කර නොගෙන දියත් කළ ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැකි බවයි.
“තමන්ගේ රාජකාරිය ඇත්තේ පොලිස් සේවයක මිස පොලිස් බලකායක නොවන බව පොලිස් නිලධාරීන් වටහා ගත යුතුයි,” යනුවෙන් ‘ජනවාරි 10 ඛේදවාචකය’ නම් කොමිසන් වාර්තාව පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී මානික්කවාසගර් සහ යාපනයේ හිටපු අගරදගුරු සබාපති කුලේන්ද්‍රන් සාමාජිකත්වය දැරූ කොමිසම 1974 පෙබරවාරි 18 දින ප්‍රකාශයට පත් කළ වාර්තාවේ මෙසේද දැක්වේ.
“නිරායුද පුරවැසියන්ට මේ රාත්‍රියේ (1974 ජනවාරි 10) ප්‍රචණ්ඩ සහ අනවශ්‍ය ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය වරදකාරී වන බව අප විසින් එළැඹි නොවැලැක්විය හැකි නිගමනයයි. ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා කල්පනාකාරීව කටයතු කිරීමට බැඳී සිටින සිවිල් පොලිස් බලකායකින් අපේක්ෂා කෙරෙන නිවැරදි විනිශ්චයකට එළඹීමේ හැකියාව ඔවුන් සතුව නොතිබීම අපේ බලවත් කනස්සල්ලට හේතු වෙයි. ශාරීරික හානි සහ දේපල හානි සිදුවූයේද, ජීවිත හානි සිදුවූයේද, පොලිස් නිලධාරියකු විසින් ගන්නා ලද මුළුමනින්ම වැරදි සහගත සහ අමනෝඥ තීරණයකින් දියත් වුනු සිද්ධි දාමයකට අහිංසකයන් බිලි වීමෙනි. අනාරක්ෂිත සහ අහිංසක පුරවැසියන් මත්තේ මුදාහරින ලද පොලිස් ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැක.”
theleader.lk