Sunday, September 22, 2024

ඊළඟ පාර්ලිමේන්තුව විනයක් ඇති ශිෂ්ඨ මිනිසුන්ගෙන් පිරවීය යුතුයි – ජන නියමු කලාකරුවෝ

Must read

June 22, 2020 by Lanka Truth 1 Comment

ඊළඟ පාර්ලිමේන්තුව උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරවිය යුතු යැයි රට තුළ මතයක් පවතින්නේ යැයිද පාර්ලිමේන්තුව තුළ විනයක් ඇති ශිෂ්ඨ මිනිසුන් පිරවීමේ උවමනාවක් ජනනියමු කලාකරුවන්ට ඇතැයිද එම සංවිධානය අද (22) බත්තරමුල්ල අවකාශ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා ජනනියමු කලාකරුවෝ සංවිධානය නියෝජනය කරමින් ප්‍රවීණ ගත් කතුවර කීර්ති වැලිසරගේ, ලංකා ලේඛක සංවිධානයේ ලේකම් ප්‍රවීන ලේඛක කමල් පෙරේරා, ප්‍රවීන ලේඛිකා, මාධ්‍යවේදීනි අනුල ද සිල්වා, ප්‍රවීන ලේඛක, කිවිවර රවි සිරිවර්ධන, ප්‍රවීන ලේඛක එච්.ඩී ජයසූරිය චිත්‍ර ශිල්පී නුවන් තේනුවර, ජේෂ්ඨ රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා, ජේෂ්ඨ රංගන ශිල්පිනී දීපානි සිල්වා, ප්‍රවීන ලේඛක ඇන්තනි ජීවා, ප්‍රවීන චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, ප්‍රවීණ චිත්‍රශිල්පී, කිවිවර කනි උමදි, සාහිත්‍යවේදී දේ.වි. ගාල්ලගේ, රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටි යහ.

එහිදී අදහස් දැකුවූ ප්‍රවීණ ගත් කතුවර කීර්ති වැලිසරගේ මහතා සඳහන් කර සිටියේ, කලාකරුවන් මුහුණ දෙන දහසකුත් එකක් ප්‍රශ්න අතර පසුගිය කොරෝනා ව්‍යසන තත්වය කලා ක්ෂේත්‍රවලට මෙන්ම සමස්ත සමාජයටම විශාල අර්බුදයක් ගැටලුවක් වූ බවයි. මේ වනවිට මාස තුනකට වැඩි කාලයක් ගෙවී යමින් තිබියදී සමාජයේ අනෙකුත් අය වගේම කලාකරුවන්ද විශාල අර්බුදයකට යමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

කලාකරුවන් වෙනුවෙන් අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් එය එදිනෙදා මුදලක් සොයාගෙන ජීවත් වන අහිංසක කලාකරුවන් වෙනුවෙන්ද ක්‍රියාත්මක වියයුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය..

ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට 4%ක පොලියට ණය දෙන්නේ නම් කලාකරුවන්ට ඊට වඩා අඩුපොලියකට හෝ පොලි රහිත ණයක් ලබා දියයුතු යැයි ද හෙතෙම කියා සිටියේය.

කොරෝනා ව්‍යාධියට වැඩි ව්‍යාධියක් එහි පවතිතැයි කී වැලිසරගේ මහතා කලාකරුවන් ආර්ථික වශයෙන් දරුණු අවපාතයකට වැටී ඇතැයිද අගමැතිවරයා කලාකරුවන් කිහිප දෙනෙක් පමණක් කැඳවා සංවිධානගතව තම ප්‍රශ්න ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටි නමුත් එය විධිමත් වැඩ පිළිවෙලක් නොවන බවද කීය.

බැංකු ණයක් දිය හැකි බව කී නමුත් එය වැඩ පිළිවෙලක් නොවූ බවත් ලංකා ලේඛක සංවිධානය වැනි සංවිධාන මේ ගැන හඩක් නැගී යැයිද සමස්ත කලාකරුවන් නියෝජනය වන අන්දමේ පුළුල් වැඩ පිළිවෙලක් ඇති විය යුතු යැයි කී ඒ මහතා සංවිධාන ගතව පැමිණි ඉතා සුළු පිරිසට සහන දෙන ලෙස බැංකුවලට උපදෙස් දී ඇති බවත් කියා සිටියේය.

බැංකුවට ගියවිට ලේඛකයන්, මුර්ති ශිල්පීන් මේකට අදාල නැතැයි පවසන්නේ යැයිද පසුගිය රජයට කලින් පැවැති රජයේ දී යෝජනා වූ ණය මුදල ලබා දීම සංස්කෘතික දෙපාර්තමේන්තුව හරහා ගැලපෙන පරිදි සිදුවු බවද විධිමත් වැඩ පිළිවෙලක් සේ මෙය වහා ක්‍රියාත්මක විය යුතු බවද ඒ මහතා පැවැසී ය.

එහිදී අදහස් දැකුවූ ලංකා ලේඛක සංවිධානයේ ලේකම්, ප්‍රවීන ලේඛක කමල් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට කොරෝනා උවදුර මැඩ පැවැත්වෙද්දී සමහර කණ්ඩායම්වලට පමණක් සහන දෙන්නට ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යන බව ය.

හිමිකම් ඇති සියලු කලාකරුවන්ට එම හිමිකම් ලැබිය යුතු යැයිද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාකරුවන්ට දුන් ණය මුදල වැනි සංවිධානගතව ලබා දෙන යම් සහනයක් වත්මන් රජයෙන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කළ බවද කමල් පෙරේරා මහතා පැවසී ය.

ආධාර නොව ණයක් දෙන්නේ නම් පොදුවේ සියලු කලාකරුවන්ට දෙන්නැයි හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී අදහස් දැකුවූ ප්‍රවීන මාධ්‍යවේදීනි අනුල ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ, කලාකරුවන් සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ගොනුවී සිටිය යුතු බවත් එවැනි ලැයිස්තු ඔවුන් සතුව ඇති නමුත් එසේ ඇති බව ඔවුන් නොදන්නා බවත් ය.

සංස්කෘතික අමාත්‍යංශයට හා දෙපාර්තමේන්තුවට පත්ව ආ යුත්තේ ක්‍ෂෙත්‍රය ගැන දැන උගත් අය බවත් එවැන්නක් සිදුවන බවත් නොපෙනෙන බවත් කී අනුල ද සිල්වා මහත්මිය සංස්කෘතික දෙපාර්තමේන්තුව නගා සිටුවීමට කිසිදු වැඩ පිළිවෙලක් නැතැයි ද පැවැසුවාය.

රුපියල් 5000 දෙන අවස්ථාවේ ආදායමක් නැති ලේඛක ලේඛිකාවන්ටත් එම මුදල දෙන්නැයි කියන්නට සංස්කෘතික දෙපාර්තමේන්තුවට පුලුවන්කම තිබුණත් එසේ නොවු බවද ඇය කියා සිටියාය.

ඡන්දයෙන් පසු පත්වන ඇමතිවරයා හෝ ඇමතිවරිය සංස්කෘතියට කැමති ආදරය කරන අයෙක් විය යුතුයැයි ද ඇය කීවාය.

එහිදී අදහස් දැකුවූ ප්‍රවීන ලේඛක රවි සිරිවර්ධන මහතා මෙහිදී සඳහන් කර සිටියේ, පොදු රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවට කිහිප දෙනෙකුට සැලකීම පිළිබඳව විරෝධය පලකිරීමට සූදානම් බව ය.

අනුග්‍රහය දක්වා රැක බලාගත යුතු පිරිස් වෙනුවෙන් රජය යමක් කළ යුතු අවස්ථාව පැමිණ ඇතැයිද රුපිය්ල 5000 දීමනාව දෙන අවස්ථාවේ පවා එය දෙනවාට වඩා නොදී සිටින්නේ කෙසේ දැයි බලමින් සිටියේ යැයිද ඔහු සඳහන් කළේය.

ලංකවේ පටිගත කිරීම් ශාලාවල පටිගත කිරීම් සිදු නොවන බවත් සංවිධානගත පිරිසක් නොවන මේ පිරිසගේ නාමාවලියක් වත් සොයාගන්නට රජයට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය. මෙවන් රැකවරණය දියයුතු පිරිස් සොයා රැකවරණය දීම රජයේ වගකීම යැයි o ඔහු පෙන්වා දුන්නේ ය.

ඊළඟ පාර්ලිමේන්තුව උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරවිය යුතු යැයි මතයක් පවතින්නේ යැයිද පාර්ලිමේන්තුව තුළ විනයක් ඇති ශිෂ්ඨ මිනිසුන් පිරවීමේ උවමනාවක් ජනනියමු කලාකරුවන්ට ඇතැයිද ප්‍රවීන ලේඛක රවි සිරිවර්ධන මහතා මෙහිදී කියා සිටියේ ය.

එහෙත් ඒ පාර්ලිමේන්තුව සඳහා නැවත නාමයෝජනා කැඳවා ඇත්තේ කලින් සිටි දාමරික, අශිෂ්ඨ මිනිසුන් ම බවත් එය කොටලුවන් තරඟයට දමා අශ්වයින් දිනාවි යැයි බලා සිටිනවා වැනි බවත් සිරිවර්ධන මහතා කීය.
lankatruth.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)