Sunday, September 22, 2024

ඇමරිකාවේ එන්නත පළමුව කළු ජාතික හෙදියකට ..

Must read

බ්‍රිතාන්‍යය තුළ ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත ලබා දීම ආරම්භ කර දින හයකට පසු ඇමරිකාවද සිය ජනතාව වෙත එම එන්නත ලබා දීමේ වැඩසටහන දියත් කළේය. මේ අනුව පසුගිය සඳුදා (14දා) උදෑසන 9.20ට එම එන්නත ලබා ගත් පළමු පුද්ගලයා බවට පත් වූයේ සැන්ඩ්‍රා ලින්ඩ්සේ නමැති හෙදියකි. ඇය කළු ජාතික කාන්තාවක වීමද විශේෂත්වයකි. ලින්ඩ්සේ මේ වනවිට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට සාත්තු කරන හෙදියක බැව් සඳහන් වේ. ඇයට එන්නත ලබා දුන් අවස්ථාව රූපවාහිනිය ඔස්සේද විකාශය කෙරිණි.

‘අනෙක් එන්නත්වලට වඩා වෙනසක් මට දැනුණෙ නැහැ’ යැයි පැවසූ ඇය එන්නත ලබා ගැනීම සඳහා සෙසු ඇමරිකානුවන්ද උනන්දු කිරීමට පියවර ගත්තේ කොවිඩ් වසංගතය ජය ගැනීමේ දී එය කාගේත් වගකීමක් බව පෙන්වා දෙමිනි. ‘මෙම අවස්ථාව අපේ ඉතිහාසයේ වේදනාකාරීම යුගයක අවසානයේ ආරම්භය සනිටුහන් කරන අවස්ථාවක් වනු ඇති බව මා විශ්වාස කරනවා’ යනුවෙන්ද ලින්ඩ්සේ සඳහන් කළාය.

‘පළමු එන්නත ලබා දුන්නා. ඇමරිකාවට සුබ පැතුම්. ලෝකයටම සුබ පැතුම්!’ යැයි එම අවස්ථාවෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබිණි. ජනාධිපති පදවියට පත් වීමට නියමිතව සිටින ජෝ බයිඩ්න් සඳහන් කර තිබුණේ ‘බලාපොරොත්තු සහගතව සිටින්න. වඩාත් දීප්තිමත් කාලයක් ඉදිරියේදී උදා වේවි’ යනුවෙනි. මෙම වසර තුළ මිලියන 20ක ජනතාවකට එන්නත ලබා දෙනු ඇති බවත්, ලබන මාර්තු වනවිට මිලියන 100කට එය ලබා දීමට හැකිවනු ඇති බවත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබේ.

මේ වන විට ආසාදිතයන් මෙන්ම කොවිඩ් මරණද වැඩියෙන්ම වාර්තා වී ඇති රට ඇමරිකාවයි. එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන මිලියන 16.3 ඉක්මවා ඇති අතර මරණ ගණන ලක්‍ෂ 3 ඉක්මවා තිබේ. ශීත සෘතුව තුළ තත්ත්වය තවත් දරුණු වනු ඇති බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.
අරුණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)