Sunday, September 22, 2024
Home Blog Page 99

රටටම බඩු හැදූ කොළොන්නාවේ යෝධයා බුදි

0

ලංකාවේ විකුණුවත් හැම කඩයකම බඩු ‘මේඩ් ඉන් චයිනා’ ය. ඉදිකටුව, අල්පෙනෙත්ත, සරුංගලයෙන් පටන් ගන්නා මේඩ් ඉන් චයිනා බඩු ලැයිස්තුවට ප්ලාස්ටික් පුටු, මේස, වීදුරු, ​රේඩියෝ, ටී.වී, ෆ්‍රිජ් පමණක් නොව යාන වාහනද දැන් එකතු වී තිබේ.

කෙසේ නමුදු කලකට ඉහතදී මේ භාණ්ඩ සියල්ල නිපද වූ රජයේ කම්හලක් කොළොන්නාවේ තිබුණේය. යුද්දෙට චීනයෙන් ගෙන්වන මෝටාර් බෝම්බ පවා එකල කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය විය. කොරෝනා අස්සේ චීනයෙන් බඩු නාවොත් රටම හාන්සි වීමේ අවදානමක් උද්ගත වී ඇති මේ මොහොතේ අප කල්පනා කළේ මුළු රටටම ඕනෑ බඩු නිපදවූ කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවට වූ දේ ගැන සොයා බලන්නටය.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයෙන් දින කීපයකට පසු අලුත් අගමැතිවරයකු අරලියගහ මන්දිරයට ආවේය. අගමැතිවරයාගේ නිල නිවස වූ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ පදිංචියට අලුත් අගමැති විජයානන්ද දහනායක ආවේ සූට්කේසයත් සියතින් ඔසවාගෙනය. නව අගමැතිවරයාට අරලියගහ මන්දිරයේ අහුමුලු පෙන්වූයේ අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන්ය. ‘‘සර්, මේ තමයි නිදන කාමරය’’ කියමින් ඔහු අගමැතිවරයාට නිල වශයෙන් හිමි නිදන කාමරය පෙන්වීය.

‘‘තනිකඩයෙක් වන මට මොකටද මෙච්චර ලොකු කාමරයක්. මේ කාමරය පොඩි කරලා දෙන්නැ’’ යි අලුත් අගමැතිවරයා අගමැති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

අල්පේච්ඡ ඇවතුම් ඇති අලුත් අගමැතිවරයාගේ අරුම පුදුම ඉල්ලීම ඉටු කිරීමට අගමැති ලේකම්වරයා වහාම වඩුවෝ ගෙන්වූහ.

අගමැතිවරයාගේ කාමරය හදන්නට වඩුවන් ගෙන්වූයේ රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවෙනි. එදවස රාජ රාජ මහා අමාත්‍යවරුන්ගේ ගෙවල් දොරවල්, පුටු, ඇඳන්වල සිට රජයේ සියලු වැඩ කෙරුණේ මේ දෙපාර්තමේන්තුවෙනි. එම දෙපාර්තමේන්තුව අයත් වූයේ රජයේ වැඩ අමාත්‍යංශයටය. ජෝන් කොතලාවල ආදීහු එකල රජයේ වැඩ ඇමැති ධුරය දැරූහ.

රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ඇණ මුරිච්චියේ සිට සියල්ල නිපද වූයේ මේ බිමෙනි. රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව පසුව රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව ලෙස නම් මාරු විය. නමුත් කළ වැඩවල නම් වෙනසක් නොවීය.

කාලය හරි පුදුමය. එදා රටේ සංවර්ධනයට යෝධ ශක්තියක් වූ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව අද තටු සිඳලූ කුරුල්ලකු සේය. කොළොන්නාවේ අක්කර දාහතරක වපසරියක විහිදී තිබූ මේ යෝධයා අද අව් වැසි සුළංවලින් පීඩා විඳිමින් දිරාපත් වී ඇත්තේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති පදවි ප්‍රාප්තිය නිමිති කොටගෙන කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ සේවක පිරිස මේ විසල් කම්හල් බිම මායිම දිගට තේක්ක පැළ සිටවූහ. වසර 40 ක් පමණ පැරණි රූස්ස තේක්ක තුරු සෙවණ යටින් අද කොළොන්නාවට යන එන ජනී ජනයාට පවා මෙම මායිමෙන් එහා ඇති යෝධ වැඩබිම ගැන නිනව්වක් නැත.

යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ඉහළ ඉංජිනේරුවන් විසින් පාලනය කළ මෙම දෙපාර්තමේන්තුව ආරම්භ වූයේ 1849 වර්ෂයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුව නමිනි. එය මුලින් ඇරඹුණේ කොළඹ ඕල්කට් මාවතේය. එය 1924 රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ උප දෙපාර්තමේන්තුවක් වශයෙන් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව කොළොන්නාවේ පිහිටුවන ලදී. සුද්දෝ ලංකාව පාලනය කළ යුගයේ රටපුරා මහාමාර්ග, පාලම්, බෝක්කු තැනීම මෙහි ආරම්භක අරමුණ විය. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදී අප රට නිදහස ලැබූ පසුවද කර්මාන්ත දෙපාර්තමේන්තුව අලුත් වැඩ රැසකට අත ගැසුවේය.

1953 දී අගමැති වූ සර් ජෝන් කොතලාවල වරක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල මේසය අලුත්වැඩියාව සඳහා වගකීම භාර දුන්නේත් රජයේ කර්මාන්ත ශාලාවටයි. එහි නිමාව පිළිබඳ ඒ තරම් විශ්වාසයක් පැවැතිණි. එමෙන්ම එක්තරා කාල පරිච්ඡේදයක රජයේ කාර්යාල, ආයතනවලට අවශ්‍ය සියලුම ලී බඩු සැපයීම සිදුවූවේද මෙතැනිනි. සභාපතිගේ, අධ්‍යක්ෂගේ පටන් කාර්යාල කාර්ය සහායක දක්වා නිලය අනුව දිග පළල අඩු වැඩි වන මේස නිර්මාණයට නියමිත ක්‍රමවේදයක් තිබිණි. එලෙස නිමවන මේස, පුටු, අඩු වශයෙන් වසර 150-200 ක් පමණ නොනැසී සවිමත්ව පවතී. මෙම කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ භාවිත කරමින් සිටින මේසයේ වයස අදට අවුරුදු 120 කි. වසරින් වසර අලුත් මේස, පුටු මිලදී ගැනීමක් හා අබලි ගොඩගසා ගැනීමක් මෙහි නැත.

රජයේ සියලුම ලිපි ලේඛන සැකසූ ටයිප් රයිටරය එදා කාර්යාලයකට ඉතාම වැදගත් අත්‍යවශ්‍ය උපාංගයක් විය. යාපනයද ඇතුළුව සියලුම රජයේ ආයතනවල ටයිප් රයිටර් නඩත්තුව හා අලුත්වැඩියාව කළේ මෙම දෙපාර්තමේන්තුවයි. දිනෙන් දින, පැයෙන් පැය අලුත් වන තාක්ෂණයෙන් යුක්ත පරිගණක යුගය දක්වා පැමිණ තිබුණද උසාවි හා පොලිසිවල අදටත් භාවිත වන්නේ ටයිප් රයිටරයයි. අදටත් ඒවායේ නඩත්තුව භාරව ඇත්තේ අදටත් කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවට පමණයි.

ලංකාවේ ජලාශ ඉදිකිරීමේ වැඩ කටයුතු දැන් දෙන්නේ පිටරටටය. එසේ නැතිනම් කෝටි ගණන් අත යට ගනුදෙනුවලින් පසු පෞද්ගලික සමාගම්වලටය. එනමුත් මේ කිසිදු අයෙක් 2006 එල්ටීටීඊය මාවිල්ආරුව අල්ලාගෙන එහි සොරොව්ව විනාශ කළ විට එය හදන්නට ඉදිරිපත් නොවීය.

කවුරුත් ඉදිරිපත් නොවූ ඒ වැඩෙත් දිවි නොතකා කරන්නට ආවේ රජයේ කර්මාන්ත ශාලාවේ සේවකයන්ය. මාවිල්ආරුවේ පමණක් නොව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලුම ඉදිකිරීම් කටයුතු පෙරදී ඉටු කෙරුණේ මෙම කර්මාන්ත ශාලාව මගිනි.

වෙහෙරගල ජලාශය, දැදුරුඔය ජලාශය ඊට උදාහරණය. එහෙත් පිටරට ආධාර ලැබෙන මහා ජලාශ ව්‍යාපෘතිවලට මෙම ආයතනය සෘජුව සම්බන්ධ කර නොගැනීම ඛේදවාචකයකි. නමුත් ප්‍රධාන කොන්ත්‍රාත්තුව අත්පත් කරගන්නා පෞද්ගලික සමාගම විසින් රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට උප කොන්ත්‍රාත්තුව ලබාදේ. එමගින් නිපුණ ශිල්පීන්ගේ දායකත්වයෙන් සිදුවන මාහැඟි නිෂ්පාදනයේ කීර්ති නාමයත්, ලාභයත් එම පෞද්ගලික කොන්ත්‍රාත්කරුවාට හිමිවේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල අංක තහඩු සහ නිල පටි තැනීමද පොලිසියට සහ බන්ධනාගාරයට අවශ්‍ය මාංචු නිෂ්පාදනය අලුත්වැඩියාවද මෙහි සිදුවිය. නමුත් දැන් ලංකාවට මාංචු ගෙන්වන්නේත් පිටරටිනි.

මෙහි සිදු කළ තවත් අගනා කර්මාන්තයකි, දුම්රිය තිරිංග පළු නිෂ්පාදනය. ඒ සඳහාම විශේෂයෙන් පුහුණු කළ සේවකයන් මෙහි නිෂ්පාදන කටයුත්තට යොදවා තිබුණි. එය කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවට වැඩිම ලාභයක් ලබාදුන් ආදායම් මාර්ගයක්ද විය. දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම තිරිංග පළු සැපයූයේ විශේෂ අඩු මිලකට වුවත් පසු කාලය වන විට මිල අධික සින්තටික් තිරිංග පළු ආනයනය කිරීම ආරම්භ වීමත් සමග එම අංශයද අඩපණ වී ගියේය.

රජයේ කර්මාන්ත ශාලාවෙන් ගොඩට, මඩට, රජයේ කාර්යාලවලට උපකරණ හැදුවා සේම හමුදාවට අවශ්‍ය යුද්ධෝපකරණ නිපදවූ කාලයක්ද තිබුණි. රොකට් ලෝන්චර් හා මෝටාර් එසේ නිපදවූ ආයුධය. එනමුත් පසුකලක රොකට් ලෝන්චර් හා මෝටාර්ද ගෙන්වූයේ පිටරටිනි. ඒවා ගෙන්වූ කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ බවට පත්වූහ.

ලංකාවේ ප්‍රධානම සෞඛ්‍ය මධ්‍යස්ථානය වන ජාතික රෝහ​ලේද කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ ශාඛාවක් පිහිටුවා ඇත. එමෙන්ම රජයේ සියලුම රෝහල්වලට අවශ්‍ය වූ ළදරු හා මාතෘ ඇඳන්, දැඩි සත්කාර ඇඳන්, රෝගීන් ගෙන යන ඇඳන්, සේලයින් රඳවන, රෝද පුටු, ට්‍රොලි, වෛද්‍ය උපකරණ බහාලුම්, ආහාර බඳුන් පවා සැපයීම සිදු කළේ මෙම දෙපාර්තමේන්තුව මගිනි.

1988 දී පළාත් සභා පිහිටුවීමත් සමගම දෙපාර්තමේන්තු ප්‍රාදේශීයව බෙදී ගියේය. එම පළාත් සභා රෝහල්වලට විවිධාකාර ඇණවුම් පිටතින් ලබාගත් අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තු ඇණවුම්ද ගිලිහී ගියේය. මිලෙන් අඩු සෞඛ්‍ය උපකරණ පිටරටවලින් ගෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩි ගුණාත්මක භාවයෙන් හා ඉහළ ප්‍රමිතියෙන් යුත් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සඳහා වන ඉල්ලුම අවම වී ඇත. ඉන්දියාවේත් වාහන එකලස් කිරීම ආරම්භ කර නොතිබූ කාලයක පවා මෙම ආයතනයේ වාහන එකලස් කිරීමද සිදුවිය. ප්‍රංශයෙන් ගෙන්වන ලද වාහන උපාංග හා චැසිවලින් රෙනෝල්ඩ් වාහන 7 ශ්‍රී නොම්මරය දක්වා නිෂ්පාදනය විය. මේවා රු. 15,000 මිලකට රජයේ ආයතනවලට විකුණන ලදී. පොලිසියට ජීප් විදිහට පාවිච්චි කිරීමටද මෙම වාහන ලබාදී තිබේ. 1972 වර්ෂය වන විට 1900 ක සේවක පිරිසක් සමග පළමු ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වශයෙන් නැගී සිටි මේ දැවැන්තයා බිඳ වැටීමට පටන්ගෙන ඇත්තේ දේශීය කර්මාන්තයට අඳුරු දසාව උරුම කළ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විවෘත ආර්ථිකයත් සමගය. එතැන් සිට රජයේ කර්මාන්ත ශාලාව උඩින් කණකොකා පියාඹා ගියේය.

අන්තිමේදී රජයේ කර්මාන්ත ශාලාවට ඉතිරි වූයේ ඡන්ද පෙට්ටි හැදීම ඇතුළු ලී වැඩ කීපයකි. නැතිනම් පොලිසියේ නිල අංක, නිල පටි හැදීම වැනි සිල්ලර වැඩ ටිකකි. එහෙත් අද නිදා සිටියත් මේ යෝධයා අතින් රටට දැනෙන ලොකු වැඩක් කළ යුගයක් තිබුණි. ආණ්ඩුවට ඕනෑකමක් තිබෙනවා නම් මේ යෝධයා නින්දෙන් අවදි කළ හැකිය. එසේ කළහොත් පිටරටින් එනතුරු මුහුදට දත නියව නියවා සිටිය යුතු නැත.

මනෝරා ප්‍රේමතිලක

ඡායාරූප: ප්‍රදීප් දඹරගේ

දෑත් සිප රෝග සුව කළ අයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

0

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ගත් කල ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හි තත්වය චීනයේ වූහාන් නගරයේ පැවැති තත්ත්වයට වඩා බරපතල වී ඇත.

ඊයේ මුම්බායි නගරයේ ආසාදිතයන්ගේ ගණන 55000 ඉක්මවා ගියේය.

මෙම ප්‍රවෘත්තිය සැල වන්නේ ඉන්දියාව පුරා තහවුරු වී සිටින මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3 පසු කර ඇති බව වාර්තා වන අතරතුරයි.

වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 8,890 ක්.

ඉන්දියාවේ ආසාදිතයන් ලක්ෂය ඉක්මවා ගොස් තිබුණේ  පළමු ආසාදිතයා වාර්තා වී දින 64 ක් තුළ වන අතර  දෙසතියක් තුළ ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබුණි.

ඉන්දියාවේ ආසාදිතයන් ලක්ෂ තුනේ සීමාව පසුකරන්නේ දින 10 ක් වැනි කෙටි කාලයක් තුළ වීම විශේෂත්වයක්.

ඉන්දියානු බලධාරීන් පවසන්නේ ලබන ජූලි මාසය අවසන් වන විට මුළු ඉන්දියාව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහක් පමණ සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි.

එවන් පසුබිමක එරට ජනතාව රංචු ගැසෙමින්  දුරස්ථ සම්මතයන් බිඳ හෙලමින් අපරික්ෂාකාරී අන්දමින් කටයුතු කරන ආකාරය එරට මාධ්‍ය මගින් නිතර අවධානයට ලක්කරන්නේ අනාගතයේ උද්ගත වියහැකි භයානක අනතුරක සේයා මතු කරමින්.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ රෝහල්වල අඳුරු පැතිකඩක් අනාවරණය කරමින් ආසාදිතයන් සහ මළසිරුරු එකම ස්ථානයක තබා ඇති අයුරු දැක්වෙන දර්ශන ද මාධ්‍යයට නිකුත් වී තිබේ.

මේ අතර දෑත් සිප ගැනීමෙන් රෝග සුව කිරීමේ විස්මිත බලයක් තමන් සතුව ඇති බවට පෙනී සිටි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බාබා නම් පුද්ගලෙයෙකු ඉකුත් 4 වැනිදා කොවිඩ් වෛරසයෙන් මියගොස් තිබුණි.

ඔහු සමග සබඳතා පැවැත්වූ 50කට අධික පිරිසක් සොයාගෙන ඇති අතර ඉන්19 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ.

කොරෝනා රෝගීයාගේ ඩොලර් මිලියනය ඉක්මවු බිල් පත

0

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයකට අධික රෝහල් ගාස්තුවක් ලැබීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

 70 හැවිරිදි මයිකල් ෆ්ලෝ නමැති අදාළ පුද්ගලයා වෛරසය ආසාදනය වීමෙන් පසුගිය මාර්තු මස 04 වැනිදා එරට රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි. 

දින 62ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු වෛරසය ආසාදනය වීමෙන් එරට තුළ වැඩිම කාලයක් රෝහල්ගතව සිටි පුද්ගලයා ලෙස ද සැලකෙයි.

ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන අවස්ථාවේ රෝහල් බලධාරීන් විසින් රෝහල් ගාස්තුව දැක්වෙන පිටු 181කින් සමන්විත අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම එකකට අධික බිල්පතක් ඔහුට ලබා දී ඇති බව සදහන්. 

කෙසේවෙතත් රජයවිසින් වැඩිහිටි පුද්ගලයින් වෙත ලබාදෙන රක්ෂණාවරණයෙන් එම රෝහල් ගාස්තුව ගෙවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 
 

මුඛ ආවරණ නීතිය කඩ කළොත් පවුම් 100ක දඩයක්

0

WhatsAppShare to Viber

පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන ඕනෑම අයෙකු මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කරමින් නව නිතීයක් හඳුන්වා දිමට එංගලන්තය පියවර ගෙන තිබේ.

අද (15) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව නීතිය සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගමන් බිමන් යාමේ දී මුඛ ආවරණ පැළදීමට බ්‍රිතාන්‍ය රජය විසින් එරට මහජනතාවට උපදෙස් ලබා දී ඇති නමුත් ප්‍රවහන සේවා භාවිත කිරිමේ දි එය නීතියක් බවට පත්කර තිබේ.

ආදාළ නිතියට මහජනතාව අනුකූල වීම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා පොලිස් නිලධාරීන් 3,000 අධික සංඛ්‍යාවක් පොදු ප්‍රවහන ස්ථාන සඳහා අනුයුක්ත කර ඇති බව සඳහන්.

යම් අයෙකු එම මුඛ ආවරණ නීතිය උල්ලංගනය කළහොත් ඔහුට පවුම් 100 ක දඩයක් නියම වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මට අවශ්‍යයි නව නායකයින්ට අවස්ථාව ලබාදෙන්න -රනිල්

0

ජාතික නායකත්වයක් බිහිවන්නේ නම් එය බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂය තුළින් පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (14) පැවති හමුවකදීය. 

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ‘ග්‍රීන් බ්ලඩ්’ සංවිධානයේ නියෝජිතයින් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාකිත පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

“මට අවශ්‍යයි නව නායකයින්ට අවස්ථාව ලබාදෙන්න. නමුත්, අප එකක් සිහි තබාගත යුතුයි. ඒ තමයි නව පරම්පරාවට මේ රටේ දේශපාලන ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳිලා තිබෙනවා.

මාස කීපයකට පසු ඔවුන් කිව්වේ පාර්ලිමේන්තුවේ 225 දියවන්නාවට දැමිය යුතුයි කියලා. 

ඵලදායි නව ආරම්භයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන ධාරාවෙන් තොර පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තත් එහි ප්‍රතිඵල මෙතෙක් අත්වී නැහැ. 

නව මුහුණු වගේම පැරණි මුහුණු තිබෙනවා. ඔබ පැරණි මුහුණුවලට අකමැතිනම් එය පසෙකින් තබා නවකයෙක් තෝරාගන්න.“

කාමච්චෝඩේ කරවල වෙළදාම ඇරඹේ …

මීගමුව කාමච්චෝඩේ පොළ ඉතාමත් ප්‍රසිද්ධ එකකි. ඉරිදා සහ බදාදා පැවැත්වෙන මේ පොලදිනයන් කරා විශාල වෙළදුන් පිරිසක් රටේ විවිධ පැතිවලින් පවා එන්නට පුරුදුව සිටිති.
එයට සමාන්තරවම පැවැත්වෙන කරවල අලෙවි මධ්‍යස්ථානයද මිගමුවේ ප්‍රකටය.
පසුගිය කාලය පුරාවට කිසිදු වෙළදාමක් පැවැත්වුනේ නැති මේ පොලවල් දැන් සුළුවෙන් වුව ඇරඹෙමින් තිබේ.
පසුගිය ඉරිදා කාමචෝඩේ කරවල අලෙවි කරන තැනට ගිය අපට එය දැකගතහැකි විය.
එහි කරවල අලවිය සදහා පැමිණ සිටි බහුතරයක් කාන්තාවන් මිගමුවේ අවට අය විමද විශේෂත්වයකි.

කොවිඩ් තත්වය හේතුවෙන් සිය අලෙවි කටයුතු මුලුමනින්ම අඩාල වි තිබුන බව ඔවුහු පවසා සිටියහ.
කෙසේ වෙතත් යළිත් සුපුරුදු පරිදි ඉරුදින සහ බදාදා දිනවල සිය සුපුරුදු කරවල වෙළදාමේ යෙදිමට බාධාවකින් තොරව හැකිවෙතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මාස්ක් කොළඹට මළ වධයක් වෙයි

0

මීට සිව් මසකට ​ඉහතදී බස් රථයකට මුඛ ආවරණයක් පැලඳ මගියකු ගොඩ වූ සැණින් මගීන් ඔහු දෙස බැලුවේ වපරහිනි. අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා මාරාන්තික බෝවන රෝගයක් වැලඳී ඇති අයකු යැයි ඔහු දෙස අය කල්පනා කළෝය.

නමුත්, දැන් බස් රථයක මුඛ ආවරණ නොමැතිව යන මගියකු සෙවීමට වඩා කිසිවකු නොමළ නිවසකින් අබ ඇටයක් සොයා ගැනීම ලෙහෙසිය.

බස් මගීන් පමණක් නොව ගෙදරින් පාරට බහින හැමදෙනාම පාහේ මුඛ ආවරණ පලඳින්නෝය. මුඛ ආවරණ පලඳින්නට අපට කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශයය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කතාව කීවේය. එහෙත් දැන් දොස්තරලා කියන්නේ මුඛ ආවරණ පැලදීම අපගේ ශරීර සෞඛ්‍යයට එතරම් හොඳ නැති බවය.

දිගින් දිගටම මුඛ ආවරණ පැලඳ සිටීම නිසා නිරෝගී පුද්ගලයන් අතුරු ආබාධයන්ට ලක්වීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩි බවත් විශේෂඥ වෛද්‍යවරු මේ වන විටත් තහවුරු කර ගෙන තිබේ. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් පරිසරට බැහැර කරන මුඛ ආවරණ, ලෝකේ අලුත්ම පරිසර ප්‍රශ්නය බවට පත්ව තිබේ.

මේ කතාබහ ඇති වූයේ චීනයේ බීජිං නුවර කායවර්ධන ස්ථානයකනට ගොස් මුහුණු ආවරණ පැළඳ ව්‍යායාම් කටයුතු කළ පාසල් ළමුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වීමත් සමගය. මුඛ ආවරණ පැලඳ සැතපුමක් දිවගිය කළු යුවළක් මියගොස් තිබුණේ පෙනහළු පුපුරාය.

ඇමරිකාවේ ලින්කන් ප්‍රාන්ත පොලිස් කොට්ඨාසයේදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූයේ ‘N95’ නම් මුඛ ආවරණයක් පැළඳ තම මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේදී මෝටර් රථය දුරකථන කණුවක ගැටීමෙනි. වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වූයේ N95 මුඛ ආවරණ පැලඳ සිටීම නිසා ඔහුට නොදැනුවත්වම ඔහුගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවී සිහිවිකල්වී ඇති බවය. ඔහු රිය පැදවීමේදී N95 මුඛ ආවරණයක් පැලඳ නොසිටියේ නම් අනතුර වළක්වා ගතහැකිව තිබුූ බවත් ලින්කන් පාක් පොලිසියේ විශ්වාසයයි. කෙසේ නමුත් මේ සා බරපතළ සිද්ධීන් නම් තවමත් ලංකාවෙන් වාර්තා වී නැත.

සැබවින්ම මුඛ ආවරණ පැලඳීමෙන් පමණක් කොරෝනාවෙන් බේරෙන්න හැකිද. ඒ ගැන ජාතික ඇස් රෝහලේ කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කියන්නේ නවසීලන්තය කොවිඩ් 19 වෛසරයෙන් ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථකරණය සහ දෑත් සේදීම යන ප්‍රධාන ත්‍රිත්වයම නිවරැදිව භාවිත කළ බවය. එසේ නැතිව ඔවුන් කිසි විටෙකත් මුහුණු ආවරණයෙන් පමණක් ආරක්ෂාව නොපැතූ බව ඔහු පෙන්වා දේ. මුහුණු ආවරණ පලඳින්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අයකුගේ කෙළ බිඳිති මගින් තවත් අයකුට ආසාදනය වීම වළක්වා ගැනීමටය. නමුත්, මුහුණු ආවරණ පැලඳීමේ වාසිය මෙන්ම අවාසිදායක තත්ත්වයන් ද මේ වන විට පොදු සමාජයෙන්ම සොයා ගැනීමට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය. අද වන විට පුද්ගලයන් බොහෝමයක් ඔසුසල්වලට ගොස් ‘N95’ මුඛ ආවරණය නැතිනම් ශල්‍යාගාරවල භාවිත කරන ශල්‍ය මුඛ ආවරණ මිලදී ගනිති. නමුත්, මුහුණු ආවරණවලට මෙවැනි විශේෂයක් අවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගේ මතයයි. එමෙන්ම, ඒවායින් වෙනත් අනතුරු සහ බලපෑම් එල්ල විය හැකිය.

‘‘අපි කියන්නේ මුහුණු ආවරණවලට විවිධ විශේෂිකරණ එපා කියලා. විශේෂයෙන්ම ‘N95’ වගේ මුඛ ආවරණ අවශ්‍ය වන්නේ කොවිඩ් 19 ආසාදිත රෝගියකුගේ ප්‍රාශ්වාස වාතය සහිත වායු අංශු සමග සෘජුව ගැටෙන පුද්ගලයන් සඳහා පමණයි. ඒ නිසා නැවත භාවිතයට ගත හැකි රෙදිවලින් මැසූ මුහුණු ආවරණයක් භාවිත කිරීම සුදුසුයි.’’

බොහෝ රටවල් මේ වන විටත් නිර්දේශ කරන්නේ රෙදිවලින් මැසූ මුහුණු ආවරණයක් භාවිත කරන ලෙසයි. එමෙන්ම, විශේෂිත මුඛ ආවරණ අවශ්‍ය වන්නේ සාමාන්‍ය ජනතාවට නොව සෞඛ්‍ය අංශ සේවකයන්ට බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය.

එපමණක් නොව ඔහු කීවේ මේ ආකාරයට මහා පරිමාණ භාවිතයේදී වරක් භාවිත කර ඉවත දමන මුඛ ආවරණ එක් පැත්තකින් විශාල පරිසර හානියකට අත වැනීමක් බවයි. ඒ නිසා රෙදිවලින් මැසූ මුඛ ආවරණ වරෙක භාවිතයෙන් පසු ​හො​ඳින් සෝදා වියළා භාවිත කිරීම විශේෂඥ වෛද්‍ය නිර්දේශයයි.

රටේ පවතින තත්ත්වය හමුවේ ඔබ මුඛ ආවරණ පැලඳ ඇවිදීම දිවීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවන්නේ නම් මුඛ ආවරණ නොමැතිව සමාජ දුරස්ථභාවය තබා ගනිමින් තම ව්‍යායාම් කටයුතුවල නිරතවන ලෙස විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය. එහිදී විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගනිමින් කටයුතු කරන්නේ නම් කිසිසේත් මුඛ ආවරණ භාවිතය අවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබිණි.

‘‘සමාජ දුරස්ථභාවය ​සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් මුව ආවරණයක් පැලඳීමේ අවශ්‍යතාව ඇත්නම් වෛද්‍ය උපදේශය වෙන්නේ ඒ තරම් තද නොවන ලිහිල් මුඛ ආවරණයක් පැලඳිය යුතු බවයි. ඒ වගේම ඇතැම් අවස්ථාවල ශ්වසන ක්‍රියාකාරිත්වය වැඩි වන කොට මුව පැලඳ සිටීම ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්.’’

මේ අතර පෞද්ගලික වාහනයක ඔබ පමණක් ගමන් ගන්නේ නම් මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවේ. එයට හේතුව වන්නේ ඔබේ මෝටර් රථයේ ඔබ පමණක් ගමන් ගන්නා නිසා වෛරසය පැතිරීමේ අවදානමක් කිසිසේත්ම නොමැති නිසාය.

කෙසේ වෙතත්, ඔබ දිගු වේලාවක් මුඛ ආවරණ භාවිත කරන්නෙක් නම් එයින් ඔබට අයහපත් බලපෑමක් එල්ල වීමට පුළුවන. එමෙන්ම, ඔබ ඇස් කණ්ණාඩි භාවිත කරන අයෙක්ද? එනම්, ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු පුද්ගලයකු බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කීවේය.

‘‘ඔබ ඇස් කණ්ණාඩි පාවිච්චි කරන කෙනෙක් නම් ඔබේ මෝටර් රථය තුළ ඔබ පමණක් සිටින විට මුඛ ආවරණ පැලඳීමෙන් වළකින්න. මොකද ඔබ ඇස් කණ්ණාඩියක් පැලඳ මුඛ ආවරණත් පැලඳ මෝටර් රථය ධාවනය කරන කොට ඔබේ වාතය කණ්ණාඩියේ බැඳී දෘෂ්ඨි පථය අපැහැදිලි වෙන්න පුළුවන්. මේ නිසා ලෝකයේ බොහෝ තැන්වල මෝටර් රථ අනතුරු සිදුවුණු අවස්ථා වැඩි වශයෙන් වාර්තා වෙනවා.’’

එපමණක් නොව ශ්වසන රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන්ද මුඛ ආවරණ පැලඳීමෙන් වළකින ලෙස ඔහු වැඩිදුරටත් කීවේය. කෙසේ වෙතත්, එවැනි පුද්ගලයන් මෙම කාලය තුළ ලැබෙන සෑම අවස්ථාවකදීම වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන වෙත සහ සමාජය වෙත නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතුය. කෙසේ වෙතත් තව නොබෝ දිනකින්ම ඉස්කෝලත් පටන් ගැනීමට නියමිතව ඇත්තේය. පාසල් ළමුන්ගේ නිවසින් පාසල කරා පිය මනින ඔවුන්ද මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය වේදැයි අපි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනගෙන් විමසුවෙමු. ඇය කීවේ, පාසල් සිසුන් සඳහා මුඛ ආවරණ අනුමත නොකරන බවයි.

මුඛ ආවරණ පාසල් සිසුන්ට එක දිගට පැලඳ සිටීමත් හුස්ම ගැනීමේ අපහසුතා සහ දිලීර රෝග ඇතිවිය හැකි බව ඈ පැවසුවාය. එයට ප්‍රධානම හේතුව වන්නේ නියම සායනික මුඛ ආවරණ වෙනුවට විවිධ වර්ගයේ මුඛ ආවරණ වෙළෙඳපොළේ අලෙවි වීම නිසාය.

එම නිසා පාසලට පැමිණීමේ දී සහ යළි නිවෙස්බලා යාමේදී හෝ අවශ්‍ය නම් පමණක් මුඛ ආවරණ පැලඳීම දෙමාපියන් සතු තීරණයක් විය යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

මුඛ ආවරණ නිසා ලොකුම කරදරය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවටය. කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණී දිසානායක කීවේ, මේ දිනවල නගර සභා සේවකයන් කොළඹ කානු පද්ධතිය පිරිසුදු කරන අවස්ථාවල ඔවුන්ට වැඩි වශයෙන් ලැබී ඇත්තේ මුඛ ආවරණ බවයි. සමහර ස්ථානවල වතුර බසින්නේ නැත්තේ ඇයිදැයි සොයා බැලූ විට දැන ගැනීමට ලැබී ඇත්තේ ශල්‍ය මුඛ ආවරණවල ඇති ‘ප්ලාස්ටික් කූරු’ කානුවල වතුර බැසීමට ඇති ගලිවල හිරවී ඇති ආකාරයයි.

එපමණකන් නොව, මේ ආකාරයට ඉවත දමන මුඛ ආවරණවල වතුර පිරී ඩෙංගු මදුරු අවදානමක්ද ඇති වීමට විශාල කාලයක් නොගන්නා බවත් ඇය මතක් කළාය. තම නිවසින් බැහැර කරනු ලබන මුඛ ආවරණ සබන් මිශ්‍ර වතුරින් සෝදා බහාලුම දමා නිවසට පැමිණෙන නගර සභා සේවකයාට ලබාදෙන ලෙසත් ඇය ඉල්ලීමක් කළාය. ඒ නගර සභා සේවකයන් පවා මනුෂ්‍යයන් නිසාය.

කෙසේ හෝ මධ්‍යම පරිසර අධිකාරිය නම් පවසන්නේ මෙසේ එකතු වන මුඛ ආවරණ ආදාහනාගාරවල දමා පිළිස්සිය යුතු බවයි. නැතිනම් වළ දැමීමද ප්‍රමාණවත් බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය භාර අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර කීවාය.

හර්ෂණී දිසානායක

කොවිඩ් පරික්ෂා කරන මුවාවෙන් ආ හොරු කල්ලිය

0

පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කරන මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස් වෙත ගොස් සොරකම් සිදු කළ සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙකු කොටු කරගැනීමට කොච්චිකඩේ පොලිසිය ඊයේ (14) සමත්වුණි.

මීගමුව කොච්චිකඩේ කෝන්ගොඩමුල්ල ප්‍රදේශයේ නිවාස රැසකට පසුගිය දිනවල රාත්‍රි කාලයේ පැමිණ ඇති මොවුන් නිවැසියන් කාමර තුළ සිර කර බියවද්දවා රුපියල් ලක්ෂ 10 ක මුදලක් හා ලක්ෂයක වටිනාකමකින් යුතු රත්‍රං භාණ්ඩ ද පැහැරගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් හත් ලක්ෂ අනූදහසක මුදලක් සහ කුලී පදනමට ගත් වාහන 4ක්, අත්බෝම්බයක්, ජංගම දුරකථන 2ක් හා හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල දෙකක්ද පොලිස් භාරයට ගැනුණි.
අද දෙරණ

බම්බලපිටියේ මත්පෙති සාදයක්

0

නිරෝධායන නීති කඩකරමින් බම්බලපිටියේ සංවිධානය කර තිබූ මත්පෙති සාදයක් වැටලූ බම්බලපිටිය පොලිසිය සැකකරුවන් දසදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත පිරිස කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක ආදි සිසුන් බව පොලිසිය කියයි.

බම්බලපිටිය ප්‍රදේශයේ කාමරයක් තුළ මත්පෙති සාදයක් පත්වන බවට පෙරේදා (13දා) රාත්‍රියේ බම්බලපිටිය පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

රුපියල් හත්දහසකට කාමරයක් වෙන් කරවාගෙන මත්පැන්, අයිස්, මත්පෙති වැනි නීති විරෝධී දෑ පානය කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ස්නයිපර් සෙබළාගේ පුහුණු සැසිය

0

අම්මගේ පපුව උඩ කියල හිතපං
පොළව මත සෙමින් අඩි තියපං
තන පුඩුව මත වුණත් වැතිරී
නොදැනෙන්න ඉන්න උගනිව්
අදින් පසු ජීවිතේ ඉරියව්
මේ පාඩමේ විදියට ගෙනියව්

ගෑනිගේ පපුව උඩ වගේ දඟලන්
හති අරින්නේ නැතිව හිටපං
හුස්මක් වුණත් ගන්න ඉස්සර
සිය දහස් වාරයක් හිතපං
ඉක්මනට නිවාඩු යන්න ඕන්නං
හරියට ඉලක්කෙට වැඩේ දීපං

බිමේ පාට ම මූණෙ ගාපං
කටුසු වෙස් ගෙන නොපෙනි හිටපං
යකඩ හෙල්මට් පොත්ත දුරකට
හත්ත සේ බිම තියං ඉඳපං
බිජ්ජ පැළිලා හුජ්ජ ආවත්
ඉන්න විදියට ඔහොම ඉඳපං

දෙකක් නැතුව ම එකක් තියපං
එකෙක් ගානෙ ම ගණං කරපං
ඇද වැටෙන උන් ගණන වැඩි නං
නැගිටින්න හැකි වෙන්න පුළුවං
එහෙම නැත්නං උඹේ බොඩියත්
ගණං කර ගෙන යන්න පුළුවං

නිරපරාදේ අහකෙ අපතේ
බුලට් වැය කරනු නොහැකියි
උණ්ඩයක් උණ්ඩයක් ගානේ
ප්‍රීතිමත් පණිවිඩ ම පතපං
නළල,හදවත,බෙල්ල පමණක්
එල්ල කරලා කොකා ගහපං

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න
vivaranews.com