Monday, September 30, 2024
Home Blog Page 93

ගලේවෙල සුනඛයන් වසදි මරාදැමු බවට ගොවිපළ හිමිකරුට චෝදනා?

0

පෙරේදා (24) පෙරවරුවේ තැන තැන සුනඛයන්ගේ මළ සිරුරු දැකීමත් සමඟ ප්‍රදේශවාසීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බලා ඇති අතර නිවෙස්වල සිටි සුනඛයන් දස දෙනකුගේ පමණ මළ සිරුරු සොයා ගන්නට හැකි වී ඇත. ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ සත්ව ගොවිපළක හිමිකරුවන් විසින් මෙම සතුන් දිගින් දිගටම ඝාතනය කරන බවටත් මෙවර මෙම සතුන්ට විෂක් ශරීරගත කොට මරා දමන්නට ඇති බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මීට පෙර ද පහර දී සහ වෙඩි තබා ප්‍රදේශයේ සුනඛයන් ගොවිපළ හිමිකරුවන් විසින් මරා දමන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට පවා පැමිණිලි කොට ඇතත් එම ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන්ට පහරදීමට සහ ඝාතනය කරන බවට තර්ජනය කරන බව ද ඔවුහු පවසති. ගලේවෙල පොලීසියේ ඉහළ පොලිස් නිලධාරියකු කියා සිටියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව එම ප්‍රදේශය පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යැවූ බවත් කෙසේ වෙතත් තවදුරටත් මෙම සුනඛයන් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවත්ය.ස
මේ අකාරයෙන් කිසිදු බියක් සැකක් නැතිව අහිංසක සතුන්ට හිතුමතේ ඝාතනය කරන්නට විවිධ හිරහැර කරන්නටත් මේ තිරිසන් මිනිසුන්ට හැකිව ඇත්තේ දැනට සත්තව පණතට අදාලව පවතින නිතියේ යල්පැන ගිය තත්වයයි.
මිට පෙර මෙවැනිම ඝාතනයකට චෝදනාකරු වු ගොවිපල හිමියෙකුට නියම වු දඩය වි තිබුනේ රු 100 කි.
මේ පසුබිම තුල මේ රට තුල ක්‍රියාත්මක සත්ත්ව අයිතිවාසිකම් සංවිධාන ඒ අය අතර පවතින තරගකාරි බව පසෙක තබා ඒකාවන්ද පෙළගැසිම පමා කරන තරමට මෙවැනි අහිංසක සතුන් ඊට සිය ජිවිත වලින් වන්දි ගෙවන ඇත..
මුලාශ්‍රය – දිණමිණ


මුලතිව් ඡන්දයට බාධා කරන මාර්ග බාධක ඉවත් කරන ලෙස ඉල්ලීම්

0

මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් හා හමුදා මුරකපොලු පමණ ඉක්මවා පිහිටුවා තිබීම ප්‍රදේශයේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා පමුණුවනු ඇති බවට දේශපාලකයන් මෙන්ම ඡන්දදායකයන්ද බිය

පල කොට සිටිති.

“ඡන්දයක් ප්‍රකාශයට පත් කර තිබෙන වෙලාවක මෙයාකාරයෙන් මුරකපොලු තිබීම අපේ ජනතාව මහත් පීඩාවට පත් කර තිබෙනවා,” යි වන්නි දිස්ත්‍රික් අපේක්ෂිකා ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා පවසන්නීය.

දෙමළ ජාතික සන්ධානයෙන් තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කියා සිටින්නේ ජනතාවගේ නිදහසේ ඔබමොබ යාමේ අයිතිය ආරක්ෂා කරමින් මැතිවරණ සමය තුල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය රැකීමේ වගකීමෙන් බැඳී සිටින රජය එම මුරකපොලු වහාම ඉවත් කළ යුතු බවයි.

“ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින සංදේශයක් මම නිල වශයෙන් මුලතිව් සහකාර කොමසාරිස්වරයාට බාරදුන්නා,” යැයි ඇය මාධ්‍යවේදීන් හා කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල භූමියේදීය.

හමුදා පාලනයකට අර ඇඳීමක් දැයි ප්‍රදේශවාසීන්ට බියක් !

කොරෝනා ආපදාවෙන් පසු දෙමළ පළාත් වල හමුදා මුරපොල වැඩි වෙමින් පැවතීම හමුදා පාලනයකට අර ඇඳීමක් දැයි ප්‍රදේශවාසීහු බිය පල කර සිටිති.

ඇඳිරි නීතිය බල පවත්වන්නේ නැති කාල වකවානුවල පවා මෙම මුරකපොලු පවත්වාගෙන යාම තම ගමන බිමන බරපතල ලෙස සීමා කරන බවට ඔව්හු මැසිවිලි නගති. ඔවුන් පවසන පරිදි, ගමනාගමනයේ යෙදෙන මහජනතාවගේ විස්තර මුරපොල වලදී එක් රැස් කෙරේ.

“හමුදා සීමා බන්ධන තවත් වැඩි කිරීමෙන් පෙනී යන්නේ මේ පලාත්වල වක්‍රාකාරයෙන් හමුදා පාලනයක් පවත්වාගෙන යන එකයි,” යනුවෙන් හිටපු උතුරු පළාත් මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ප්‍රදේශවාසීන් පවසන පරිදි A9 මහාමාර්ගයේ මාන්කුලම් හි කිලෝමීටර් දෙකක් ඇතුලත ආරක්ෂක කපොලු තුනක් ඉදිකර තිබේ. එකක් පිහිටා ඇත්තේ 574 බලසේනා මුලස්ථානය ඉදිරිපිටය. අනෙක ඊට මදක් එපිටින් පිහිටුවා ඇති අතර ඒ ආසන්නයේම පොලිස් මුර කපොල්ලකි.

මේ මුරපොල තුනේම වාහන නවත්වා පරීක්ෂා කිරීම මගීන්ට මහත් පීඩාවක් මෙන්ම ඔවුන්ගේ ගමනාගමනය පමා වීමටද හේතු වී තිබේ.

එමෙන්ම, පුදුකුඩියිරුප්පු සහ මුලතිව් අතර කිලෝමීටර 18 ක දුර ඇතුලත ඇති මුරපොල හතේම එකම ආකාරයේ සෝදිසි කිරීම් වලට යටත් වන්නට සිදුවී ඇති බව මගී ප්‍රවාහනයේ යෙදෙන්නෝ පවසති.

මුරපොල තුනේම වාහන නවත්වා පරීක්ෂා කිරීම:

කිලෝමීටර බාගයක් පමණ දිගැති වට්ටුවාහල් පාලම දෙකෙළවර යුද සහ නාවික හමුදා මුරපොල දෙකකි.

ඊට අමතරව ඉරට්ටෙයිවයික්කාල් හන්දිය, මාන්දුවිල්, පුදුකුඩියිරුප්පු නගරය සහ කයිවේලි වලද මුරකපොලුය.

මුලතිව්-පරන්තන් මාර්ගයේ කපොලු දෙකින් එකක් ඇත්තේ රෙඩ්බානා ප්‍රදේශයේය. අනික නෙතිලිආරු පාලමේය. මුලතිව් දිස්ත්‍රික්කය තුල පමණක් පරන්තන් පාරේ මුරකපොලු නමයක් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. ලැයිස්තුව තවත් දිගය.

පාසල් සහ කෝවිල් ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථානවල මුරපොල ඉදිකර තිබීම මැතිවරණ ප්‍රචාරක සමයේ අපේක්ෂකයන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට මහත් දුෂ්කරතා ඇති කරන බව ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා පවසන්නීය.

“කොරෝනා වයිරස් ලොක්ඩවුන් කාලේ දාපු චෙක්පොයින්ට් තාම ගලවලා නැත්තේ ඇයි? ජනතාවට බිය සැක නැතිව ඡන්දය සාධාරණ ආකාරයෙන් පවත්වන්න නම්, මේ මුරකපොලු වහාම ඉවත් කළ යුතුයි.”
theleader.lk

අවිය වෙනුවට අරගලය තෝරාගත් උතුරේ විප්ලවවාදියා…

0

තිලීපන් යාපනය වඩුක්කොඩෙයි හි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දු වලට රැවටී මිරිකී සිටි උතුරේ දෙමළ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිත භාවය ඔහු ගේ අරගලය තුල මැනවින් ඔප් නැංවිණි. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එක හෙලා විරුද්ධ වූ ඔහු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එළියට ඔහුගේ හඩ අවදි කලේය. ‘ජනතාවනි පාලකයන්ගේ අවියට බිය නොවන්න අයිතිය වෙනුවෙන් පෙරට එන්න..‘ එදා බැරලයක් උඩ සිට කෑ ගැසූ මෙම තරුණයා දිනෙක මුලු මහත් හදවත් තුල සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත.

පසු කලෙක රජය මගින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට අසල් වැලි ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, දෙමළ, මුස්ලිම් දෑ හිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සදහා ජාති, වර්ග බෙදීමක් නොවීය. ඒවන විට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය.“අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ. අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ..අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක…” ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරු කරයේ පැතිර ගියේය. දහස් ගණන් ශිෂ්‍යන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය දෙමළ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රභාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමළා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් කුඩා තරුණ වියේදිම ලිපියකින් ප්‍රභාකරන් ඇමතුවේය. දකුණ ද උතුර ද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රභාකරන්ට විශේශ විය. ඉන්දු ලංකා ගිවිසුම එපා යැයි උතුරේ සහ දකුණින් මහා හඩ නැගෙද් දී පාලකයන් එම ජනතා විරෝධය කසල බදුනකට දමමින් ගිවිසුම අත්සන් කලේය.

1987 එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ ඉංදියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ මෙම ගිවිසුම මගින් පැය හතලිස් දෙකක් ඇතුලත ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දියානු ආරක්ෂක අංශ උතුර වෙලා ගත් හ. අසරණ පීඩිත දෙමළ කාන්තාවන් අමු අමුවේ දූෂණය කොට දමමින් ඔවුන් උතුරේ දෙමළ ජනයාට වෙනම රාජ්‍යක සිහිනය වක්‍රාකාරයෙන් ලබා දෙමින් සිටියේය. අපෙන් නිදහස් වෙන්නම් උඹලා සිංහල හමුදාව පරාජය කරපල්ලා. යන්න දෙමළ සිත් තුල කිදාබස්සවමින් කල අමන ක්‍රියාපටිපාටිය එකල එල්ටීටීඊය සහ දෙමළ ජනයාව නොමග යවන්නට නොහැකි විය.

ඒ අනුව ඉංදියානු හමුදාවට එරෙහිව දෙමළ විමුක්තිකාමීන්ගේ සටනක් දියත් කරන්නට පටන් ගත් හ. එහෙත් තම මතයෙන් පිට නොගිය තිලීපන් 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය.

ජල පොදක් වත් නොමැතිව ඔහු ආරම්භ කල උපවාසය නැවැත්වීමට නම් වහාම ඉංදු ලංකා ගිවිසුම හකුලා ගත යුතු බව ඔහු රජයට බල කලේය. එහෙත් නිසි දේශපාලන විසදුමක් නොවූ මරි මෝඩ රජයට ඉංදියාවේ දෙපා අසල දණනැවීමට මිස එය හකුලා ගැනීමට තරම් කොන්දක් නොවීය.

1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය.

“සහෝදරවරුනි තවත් ටික දිනකින් මා මියෙනු ඇත..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත….”
1987 සැප්තැම්බර් 26 වනදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා, ගාන්ධිවරයා සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස් කදුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊය ට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය.

2010 වන වසරේ යාපනයේ තිලීපන් ස්මාරකය ගලවා ඉවත් කරන්නෙය.(යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..) එය පිහිටා තිබුනේ වසර විස්සකට ලගා වන තුරුම රජයේ පාලන ප්‍රදේශයේය. එය ගලවා ඉවත් කිරීම තුලින් ස්මාරකයක් ඉවත් වුව ද ජනතාවගේ සිත්තුලින් තිලීපන් ඉවත් වී නොමැති බවට බොහෝ සාධක ඇත. අනෙක් කරුණ නම් පිළිමයක් ඉවත් කොට ජනතාවගේ සිත් අතරින් වීරයන් අමතක කිරීමට ගත් මරි මෝඩ ආකල්පය ලැජ්ජා සහගතය. මෙය අනෙක් එල්ටීටීඊ පිළිම හා සැසදෙන්නේ නැති බවද මතක් කල යුතුය. ඒ තිලීපන් මිලේච්ඡත්වය ට එරෙහිවූ නිසාය.

තිලීපන් යනු සිංහල දෙමළ වෙන් කිරීමකින් තොරව පරමාදර්ශයට ගත යුතු විමුක්ති කාමියෙක් ය. ඔහු අද දවසේ අසාධාරණයට, පීඩනයට, මර්දනයට එරෙහිව සටන් වදින ලාංකීය අරගලකරුවන්ට මහා පාඩම් රාශියක් ඉතිරි කොට තබා නික්ම ගොස් ඇත.

එබැවින් තිලීපන් ජීවමානය..!

උපුටා ගැනීම
Arosha Senevirathne

යතුරුපැදියක නැගි කි.මි 200 ක් යන්න හදන තරුණයෙක් …

0

යාපනය සිට දඹුල්ල දක්වා මෝටර් සයිකලය මත නැගී නොනවත්වාම හිටගෙන පදිමින් කිලෝ මීටර් 200 ක දුර නව ගිනස් වාර්තාවක් තැබීමට සැරසෙන තරුණයෙක් පිලිබදව අපට වාර්තා වනවා. නමින් ඔහු ආර් .එම්.තරිදු ඉෂාර මැටිකුඹුර. මොහු මිට පෙර 2016/2/16 අනුරාධපුර සිට කුරුණෑගලට 113 km
මෝටර් සයිකලය මත නැගී නොනවත්වාම හිටගෙන පදිමින් වාර්තාවක් තැබීමට සමත් වුණ අතර ඔහු නැවත සිය වාර්තා වම අලුත් කිරීමට යාපනේ සිට දඹුල්ලට දක්වා 200km ද්රක් ගමන් කිරීමට සුදානමින් සිටිනවා.

මෙම වාර්තාව බැලීමට ගිනස් කමිටු නියෝජිතයන් ද සහභාගි වීමට සුදානම් වනවා. ජූලි මස 29 වෙනිදා ගිනස් වාර්තා තැබීමට සැරසෙන අපේ තරුණයාට අප සුබ පතන්නෙමු.

රටවල් 38 කින් 9588 ක් ශ්‍රිලංකාවට !

0

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ රැකවරණය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය තානාපති කාර්යාල සමග එක්ව නිරන්තරව ක්‍රියා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී මේ සම්බන්ධව තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
විදේශ සම්බන්ධතා පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබදව ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ පැහැදිලි කිරීමක්
සිදුකළා. මෙරටට නැවත පැමිණීම සදහා තානාපති කාර්යාල වෙත දැනුම් දී ඇත්තේ ඉතා සුළු පිරිසක් බව එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දළ වශයෙන් ලක්ෂ 13කට අධික පිරිසක් විදේශයන්හි සේවයෙහි නිරත වුවත් එයින් 52401ක පිරිසක් පමණක් මෙරටට ඒම සදහා ඉල්ලුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය. එයිනුත් දස දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් ලංකාවට ගෙන්වමින් සිටින අතර රටවල් 117ක සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවද අමාත්‍යවරයා අනාවරණය කළේය. එයින් රටවල් 38ක සිට ශ්‍රී ලාංකිකයින් 9588කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණි අතර තවත් රටවල් 10ක සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීම සදහා ජුනි මස 24 දින සිට ජූලි මස 07 දක්වා ගුවන් ගමන් වාර 10ක් සිදුකිරීමට නියමිතව පවතින බවද පැවසීය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,
එමෙන්ම මින් පෙර සිදුකළ පරිදි වෙනත් රට වලින් කොළඹ වරායට පැමිණ විදෙස් වලට යාම සදහා නැව් වලට මාරු වීමට ලබාදුන් ඉඩ ප්‍රස්ථාව මේ වන විට නතර කිරීමක් සිදු වනවා. එයට හේතු වී ඇත්තේ එලෙස ශ්‍රී ලංකාවට පැමිණ වෙනත් රට වලට මාරු වීමට පැමිණි බහුතර පිරිස කොවිඩ් ආසාදිතයින් ලෙස මෙරටදී වාර්තා වීමයි. එලෙස විදේශ වලින් පැමිණි බොහෝදෙනා ආසාදිතයින් ලෙස හදුනාගැනීමත් සමග අප රටෙහි රෝහල් පද්ධතියේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලු මතුවිය හැකි බැවින් මෙම වකවානුව තුළ එම තීරණය ගැනීමට සිදුව තිබේ. මෙලෙස පැමිණි බහුතරය කොවිඩ් ආසාදිතයින් වන අතර ඔවුන් නිරෝධායන කටයුතු සදහා මෙන්ම රෝහල් ආදිය සදහා යොමු කිරීමද ඉතා නිවැරදි ලෙස සහ විචක්ෂණශීලී කළමනාකාරීත්වයක් යටතේ සිදුකළ යුතුයි. දීර්ඝ කාලයක් තුළ දේශීය වශයෙන් කෝවිඩ් රෝගියෙකු වාර්තා නොවූ රටෙහි මෙලෙස විදෙස් රට වලින් ගෙන්වා ගැනීම තුළ රෝගීන් හමුවීම ගැටලුකාරී වීමද මෙම තීරණය ගැනීමට තවත් හේතුවක් වූ බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
news.lk

ගිලන් රථයක ගැටී යතුරුපැදිකරු මිය යයි .

0

ඉදයපුරම් ප්‍රදේශයේ මඩකලපුව-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගිලන් රථයක් හා යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ සවස මෙම අනතුර සිදුව ඇත්තේ ක්ලිවෙටි ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය රෝගීන් ත්‍රිකුණාමලය මහ රෝහලට ගෙන ගොස් නැවත පැමිණෙමින් සිටින අතරේදිය.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර මුත්තූර් මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මුලාශ්‍රය – battinews.com

රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදක නඩරාජා ශිවම් මහතා අභාවප්‍රාප්ත වෙයි

0

ජේෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා හා ටෙළි නළුවෙකු මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදක නඩරාජා ශිවම් මහතා අභාවප්‍රාප්ත වෙයි.    ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් අපට සමීපවු ජේෂ්ඨ නිවේදක සින්නයියා නඩරාජසිවම් මහතා වඩාත් ප්‍රකට වූයේ ජාතික රූපවාහිනියේ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන්වල ස්වර්ණමය යුගයේදී දායක වීමෙනි.   ජාතික රූපවාහිනියේ සහ ජාතික ගුවන්විදුලියේ දමිළ අංශයේ කටයුතුකර තිබෙන ඔහු විශේෂයෙන් දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් වසර ගනනාවක් සේවය කොට තිබේ. 1998 වසරේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළේය.    ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගනයට ද එක් වූ සිවම් මහතා විශේෂයෙන්ම යුද සමයේ විකාශය වූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට වල, සහජීවනය නිරූපණය කරන චරිත බොහොමයක් නිරූපණය කරන ලදි. ඒ අතරින්  සුදු අක්කා (1997),  යුද ගිණි මැද (1998), ඉර හද යට (2010) , සෙල්වම් (2011) , යන චිත්‍රපට විශේෂ වේ.  

රාජපක්ෂ පාලන සමයේදි ඝාතනය කරනු ලැබු රවිරාජ් උතුරේදි සැමරේ …

0

රාජපක්ෂ පාලන සමයේදි ඝාතනය කරන ලද හිටපු දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී රවීරාජ්ගේ 58 වන ජන්ම දිනය අද සමරනු ලැබීය.ඒ තෙන්මරාචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කොට ඇති ඔහුගේ ස්මාරකයක අභියසදිය.

මෙම අවස්ථාවට අභාවප්‍රාප්ත රවීරාජ්ගේ මාමණ්ඩියගේ බිරිඳ වන සසිකලා රවිරාජ් මහත්මියද එක්ව සිටියාය.ඇය මෙවර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මහමැතිවරණයට චාවකච්චේරි ආසනයෙන් තරඟ කිරිමට නියමිතය.
මුලාශ්‍රය – යාල් තිනකුරල් –

දේශපාලනය කියන්නේ ලැජ්ජාව උඩම කරන දෙයක් නොවේ

0

දශක ගණනාවක් වාමාංශික දේශපාලන කඳවුර නියෝජනය කරමින් සිටි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දැන් එජාප සාමාජිකයෙකි. ඔහු මෙවර මහ මැතිවරණයට කළුතරින් තරග කරන්නේ එජාප ලැයිස්තුවෙනි. මේ ඒ ගැන ‘සති අග අරුණ’ ඔහු සමග කළ සාකච්ඡාවකි.

වික්‍රමබාහු සහෝදරයාට මෙතැනින් එහාට අපිට ‘‘බාහු සහෝදරයා’’ කියන්න බැරිවෙයිනේ?

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් මට කිව්වේ සහෝදරයා කියලා. ඒ නිසා මට සහෝදරයා කියන එක වෙනස් කරන්න අවශ්‍ය නෑ. මොකද මම වික්‍රමසිංහට සහෝදරයා කියන්න යන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ ඔබට සහෝදරයා කියයිද?

කියයි සමහර විට. නොකිව්වත් ප්‍රශ්නයක් නෑ.

නෑ. මම අහන්නේ එජාපේ වගේ අන්ත දක්ෂිණාංශික ලිබරල් දේශපාලන පක්ෂ ඇතුළේ සහෝදරවරු නෑනේ වික්‍රමබාහු මහත්තයා?

අන්ත දක්ෂිණාංශික කියන එක මොන ආකාරයටද ඔයා යොදා ගන්නේ? මට නං හිතෙන්නේ මේ රටේ තියෙන අන්ත දක්ෂිණාංශික ෆැස්සිට්වාදී පක්ෂය තමයි ගෝඨාභය නියෝජනය කරන්නේ…

ඔව් ඒක අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට් නම් මේක අන්ත දක්ෂිණාංශික නියෝ ලිබරල් කියලා ඔබ පිළිගන්නේ නැද්ද?

නියෝ ලිබරල් නෙවෙයි. ලිබරල්. මෙයා ලිබරල් ධනපති නායකයෙක්.

එතකොට ඔබේ දේශපාලන දර්ශනේ මොකද්ද?

මම ඉතිං මාක්ස්වාදියානේ.

මාක්ස් වාදයයි, ලිබරල් වාදයයි සමතුලිත වෙන්නේ මොන සිද්ධාන්තය ඇතුළේද බාහු මහත්තයා?

ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි. මම තමයි මේ රටේ සම සමාජ නායකයා. මට තියෙන ප්‍රශ්නය තමයි මේ රට ෆැසිස්ට්වාදයෙන් බේරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙනයාම. එතැනදී සම සමාජකාරයින්ට විතරක් තනියම ෆැසිස්ට්වාදීන්ට මූණ දෙන්න බෑ, කාල්මාක්ස්ගේ ඉඳලා රෝසා ලක්සම්බර්ග් දක්වාම අපිට කියලා තියෙන දේ තමයි ෆැසිස්ට් විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදී ධනපතීන් ඉන්නවා නම් ඔවුන් සමග අත්වැල් බැඳගෙන සටන් කරන්න කියන එක.

දැන් එහෙම එක්කෙනෙක්ද රනිල් වික්‍රමසිංහ?

අන්න හරි. රනිල් වික්‍රමසිංහ ෆැසිස්ට්වාදයට විරුද්ධ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න කෙනෙක්. 2008 ඉඳලා මම එයත් එකක් එකතු වෙලා සටන් කරලා තියෙනවා.

ඉතිං ඔබට ඔය ගනුදෙනුව ඔයිට වැඩිය හොඳට කරගන්න තිබුණානේ චන්ද්‍රිකාත් එක්ක. රනිල්ගෙයි, චන්ද්‍රිකාගෙයි ප්‍රතිපත්තිවලත් ලොකු වෙනසක් නෑනේ. අනිත් එක චන්ද්‍රිකායි, ඔබයි, විජයයි එකට දේශපාලනේ කළ උදවියනේ?

ඔව්, එයත් එක්කත් කාලයක් එන්න පුළුවන් උපරිම දුරක් ආවා. එහෙම එන අතරවාරෙදී විජය කුමාරතුංග ආරම්භ කරපු පක්ෂයෙන් ඉවත් වෙලා එයා බණ්ඩාරනායක ගිය මාර්ගයේ ගමන් කරන්න ශ්‍රීලනිපේ හදන්න ගියා. එදා මම බිහිසුණු ලෙස එයත් එක්ක හැප්පුනා. මම එදා කිව්වා ඔයා යන්නේ වැරදි ගමනක් කියලා. එයා කවදාවත් එයාගේ දේශපාලන අභිමතාර්ථය හරියාකාරව එකට එකලස් කරගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි එයාගේ තිබුණා එක ඉතාම වැදගත් අදහසක්. 87- 88 කාලේ විතර එයා කිව්වා මේ රට කොටස් තුනකට කඩලා ෆෙඩරල් ක්‍රමයකට පාලනය කරන්න ඕන කියලා. නමුත් එයා ඒක ඉස්සරහාට ගෙනිච්චේ නෑ.

ඉතිං ලිබරල් ධනපතියෙක් එක්ක එකතුවෙලා රට හදන්න ඔච්චර ම වුවමනාවක් තිබ්බනං මේ නහින දෙහින කාලේ වෙනකං හිටියේ ඇයි. ජොන් කොතලාවල කියන්නේ ඔබේ මමා නේ. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා ඉන්න අවදියේමනේ ඔහු ඔබට එජාපෙත් එක්ක එකතු වෙලා දේශපාලනේ කරපං කිවේවේ. එදා ඇයි ඒක කෙරුවේ නැත්තේ?

ඒ කාලේ මගේ එජාපය ගැන තිබ්බ තක්සේරුව අද වගේ එකක් නෙවෙයි. එදා මාමා මට ඒ ආරාධනාව කරනකොට මම සම සමාජ පක්ෂෙට බැඳිලා හිටියේ. මම කිව්වා මාමට මම දැන් සම සමාජ පක්ෂෙට බැඳිලා ඉන්නේ ඒකේ මට ඉදිරි ගමනක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මට ඔයා කියන දේ කරන්න බෑ කියලා.

ඔබට දැන් හිතෙන්නේ නැද්ද එදා එජාපෙට බැඳුනා නම් ඔබට යන්න තිබුණු දුර කොච්චරද කියලා?

මම අදත් හිතනවා එදා ඒ තීරණය ගත්තා නම් වැරදියි කියලා. මොකද මම වමේ වැඩ කරලා අද මම වමේ නායකයා වෙලා විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඉන්නවා.

දැන් ඔබ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ කවද්ද?

නාම යෝජනා අත්සන් කරන්න කලින්.

පක්ෂයක සාමාජිකත්වය ගන්නකොට ඔබ දන්නවා නේද ඒ පක්ෂයේ නීති රීති හා ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න ඕන කියාලා?

ඔව් ඉතිං ප්‍රතිපත්ති කිව්වාම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට තමයි මම එකඟ. ඒ වගේම මාක්ස්වාදී ප්‍රතිපත්ති මගේ ඔළුවේ තියෙන ඒවා. ඒවා එහෙම නිකන් බාලා දාන්න බෑනේ. මම සම සමාජකාරයෙක්.

ඉතිං එහෙනං ඔබට තිබුණානේ පක්ෂ නායයෙක් විදිහට ඉඳගෙන එජාපයත් එක්ක පෙරමුණක් හරි සන්ධානයක් හරි හදාගෙන ඔබේ අනන්‍යතාවත් රැකගෙනම ඡන්දෙට යන්න?

ඔව්, ඒ දුර ඇවිල්ලා තමයි මම මේ හිටියේ. ලංකාවේ සම සමාජ නායකයා බවට පත්වෙලා මම හිටියේ. ඒ ඉදීම පමණක් ප්‍රමාණවත් නෑ. දැන් මෙතැනදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් වෙන්න ඕන. එතැනදී ඉතාම පැහැදිලිව හොඳම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේ ශක්තිය ලැබිලා තියෙනවා එජාපෙට. මේ තත්ත්වය තුළ අපි එකතු වුණොත් ඉදිරියට යන්න මාර්ගයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඔය කියන විදිහට ඔය ගමනේ අවසානෙදි වික්‍රමබාහු ලිබරල් වෙයිද? වික්‍රමසිංහ සමාජවාදී වෙයිද?

රනිල්ට දැනටමත් සමාජවාදී අදහස් තියෙනවා. එයාගේ තාත්තා ඒ කියන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ තමයි ලංකා සම සමාජ පක්ෂයේ හිටිය න්‍යායාචාර්යවරයා. එයා තමයි සමසමාජෙට අපිවත් ගත්තේ. රනිල් වික්‍රමසිංහ දවසක් මට කිව්වා ‘‘මේ මගේ පුස්තකාලයක් තියෙනවා. ඒ පුස්තකාලේ වැඩි හරියක් තියෙන්නේ සමසමාජ අදහස් කොමියුනිට්ස් අදහස් තියෙන පොත්. ඒක මගේ තාත්තාගේ කාලේ ඉඳලාම පැවත එන විශාල වස්තුවක්’’ කියලා. ඉතිං ඒ නිසා ඔහු වාමාංශික අදහස දන්න කෙනෙක්, ඒකට ලැදියාවක් නැති වුණාට. ඒක අවශ්‍ය වෙලාවට ඔහුට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා.‍

දැන් මේ එජාපයත් එක්ක එකතු වුණේ මොකක් කරන්න හිතාගෙනද?

මට ඕන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙනියන්න.

මොකද්ද ඔබ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය?

බලය බෙදීම තුළින් සිංහල, දෙමළ ,මුස්ලිම් ආදී සියලු ජනතාවට එක සමාන අයිතීන් ලැබෙන, කුල භේදය හා වංස භේදය නොතකන සියල්ලෝම එකම මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සලකන සමාජයක් ගොඩ නැගීම.

ඉතිං ඒක ඔබට පහසුවෙන් කරන්න තිබුණානේ සජිත් එක්ක එකතු වුණා නං. සජිත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්නේ. ඒක ඔබේ දේශපාලන දර්ශනයටත් බොහෝම ළඟයිනේ?

මම තමයි සජිත්ගේ ජනාධිපතිවරණ වේදිකාවේ වැඩියෙන්ම කතා කරපු පක්ෂ නායකයා. මම එයාගේ රැස්වීම් 120කට වැඩියෙන් කතා කළා. මම හුඟාක් උත්සහා කළා ඔහුට ඒත්තු ගන්වන්න ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය තුළ ඉදිරියට ගිහිල්ලා පක්ෂ නායකයා වෙලා ඉස්සරහට යන්න ඕන කියලා. නමුත් ඔහු ඒ ගමන යන්න ලෑස්ති නෑ. දැන් ඔහු හදන්නේ ගෝඨාභයට වඩා හොඳ ජාතිවාදී නායකයෙක් වෙන්න.

නමුත්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රිෂාඩ් බදුයුදීන් වගේ සුළු ජාතික නායකයින් ඔක්කොම අද ඉන්නේ සජිත්එක්කනේ?

ඒක තමයි ඒ අයගෙන් අහන්න ඕන ඇයි ඔය ගොල්ලෝ ඔහෙම ඉන්නේ කියලා. සමහර විට ඒ අය හිතනවා ඇති මෙයා එක්ක ආවම ඡන්ද ටිකක් වැඩිවෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒ ගොල්ලෝ ගෝඨාභයට බයයි. නමුත් සජිත් ඒ ගොල්ලෝ දන්න කෙනානේ. ඉතිං ඒ ගොල්ලෝ හිතනවා ඇති මෙයා ආවොත් ඒ අයව ගෝඨාභයගෙන් බේරගන්න පුළුවන් මහා කළු සිංහලයා මෙයා කියලා. නමුත් සිදුවිය යුතු දේ නම් පැහැදිලිවම UNP කියන එක කරන්න ඕන. මොකද්ද ‘‘යුනයිටඩ් නැෂනල් පාර්ටි’’ කියලා කියන්නේ. ජාතීන්ගේ සමගිය කරන පක්ෂය. ඉතිං ඒක කරන්නේ නැතිව වඩා හොඳ පොහොට්ටුවක් ගොඩ නැගීමට ගිය ගමන මට නම් පිළිගන්න බෑ.

සාමාන්‍යයන් ඡන්දයක් කරන්න කොච්චර මුදලක් ඕනද මේ කාලේ?

රුපියල් දහයටත් කරතෑකි. සීයයටත් කරතෑකි, දාහටත් කරතෑකි, ලක්ෂෙටත් කරතෑකි.

ඔබේ ඡන්ද බජට් එක කීයද?

මා ගාව රුපියල් 50,000 විතර තියෙනවා.

රුපියල් පනස්දාහක් තියාගෙන එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂයකින් කළුතර වගේ ආසනයක මහා ඡන්දයක් කරන්න පුළුවන් කියලාද හිතන්නේ?

නෑ … මම තව තව අයගෙන් ආධාර ඉල්ලලා තියෙනවා. මම හිතනවා ඒ ආධාර ලැබෙයි කියලා.

මම තාමත් ඉන්නේ මාර උභතෝකෝටිකයක, රනිල් කියන්නේ ඔබේ රස්සාව නැති කරපු අධ්‍යාපන ඇමැති .අද ඔබ ඔහුගේ නායකත්වයෙන් ඡන්දෙට යනවා. නන්දන ගුණතිලක කියන්නේ එජාපේ කළුතර ඔබේ සටන් සගයා. ඔය නන්දනගේ දේශප්‍රේමී ව්‍යාපාරය තමයි 88 දී ඔබේ බඩ හරහා පිට පසාරු කරගෙන යන්න වෙඩි තියන්නේ. කොහොමද මෙහෙම ලැජ්ජ නැතුව හිටගන්නේ කට්ටියම?

දේශපාලනේ කියන්නේ ලැජ්ජාව කියන එක උඩ කරන දෙයක් නෙවෙයි. ඒක මොළෙන් කරන වැඩක්. වික්‍රමසිංහ මහත්තයා මාව විශ්වවිද්‍යාලන් ඉවත් කළේ ඒ කාලේ තිබ්බ ව්‍යවස්ථාවට විරුද්ධ වෙච්ච නිසා. දැන් එතුමාත් ඒ ව්‍යවස්ථාවට විරුද්ධව 13 වැනි ව්‍යවස්ථාව අරවා මේවා ගෙනැල්ලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කතා කරනවා. ඒ කියන්නේ දැන් එතුමා පිළිගන්නවා එතුමා වැරැද්දක් කළ බව. ඒ නිසාම තමයි මම ගිහිල්ලා එතුමාට කිව්වාම මාව මෙහෙම එළියට දැම්ම තමුන්නාන්සෙගෙ කාලේ දැන් මේක හදන්න කියලා. එතුමා ටක් ගාලා පැනලා ඔව් අපි ඒ ඉතිහාසේ හරි ගැස්සවිය යුතුයි කියලා. මට මිලියන 3ක හිඟ පඩිත් විශ්ව විද්‍යාලේ ලැබිය යුතු සියලුම පට්ටම් තානාන්තරත් ලබා දීලා මාව මහාචාර්යය ධුරයට උසස් කළා.

ඉතිං ඕක ඊට කලින් කරගන්න තිබුණානේ මහින්දට හරි චන්ද්‍රිකාට හරි කිව්වා නං?

කොච්චර කිව්වාද. නමුත් ඒක කරන්න මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වුණෙත් නෑ, චන්ද්‍රිකා ඉදිරිපත් වුණෙත් නෑ.

ඇයි මහින්ද ඔබට එහෙම කළේ. මහින්දත් එකක් කතරගම පාද යාත්‍රාවට බය නැතුව ගිය එකම කොමියුනිස්ට් නායකයා ඔබ නේද?

ඒක ඉතිං එයාගෙන් අහන්න. කොහොම හරි මම ගිහිල්ලා කීප සැරයක් කිව්වා නමුත් එයා ඒක කරලා දුන්නේ නෑ. ඒ වෙනකොට මමයි, එයයි අතර ඒ තරම් ලොකු සම්බන්ධයක් තිබුණෙත් නෑ, දේශපාලන වශයෙන් එයා ගිය ගමනේ තිබුණු ප්‍රශ්න නිසා.

පැරණි සටන් සගයෙක් වෙච්ච මහින්දගේ පසුකාලීන දේශපාලන භාවිතාව නිසා ඔබ ඔහුගෙන් ඈත් වෙනවා. නමුත් කවදාවත් එකඟතාවක් තිබ්බේ නැති ජවිපෙ නන්දනලාත් එක්ක එකම කඳවුරක් හදාගෙන තරග කරනවා. කොහොමද මෙහෙම ඔබේ වෙස් පෙරළෙන්නේ?

නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉල්ලන වෙලාවෙත් මම තමයි ඒ පැත්තේ ප්‍රධාන කථිකයා. ‍

ඉතිං කොහොමද එහෙම වෙන්නේ ඔබට බෙදුම්වාදියා කියලා වෙඩි තියලා මරන්න හැදුවේ ජවිපෙ නේද?

ඔව්, ඒක තමයි දැන් ඒ ගොල්ලන්ට පිළිගන්න වෙලා තියෙනවා. ඒ ගොල්ලෝ දරපු මතයත් වැරදියි කියලා. දැන් ඒ ගොල්ලෝ කියන්නේ නෑනේ බලය බෙදීම වැරදියි කියලා. නමුත් එදා ඒ ගොල්ලෝ කිව්වේ මේක රට දෙමළුන්ට බාර දීමක්, රට කැඩීමක්, වඳුරු හමුදාවට භාර කිරීමක්ය කියලනේ. එදා ඒ ගොල්ලන්ගේ සටන් පාටය වුණේ බලය බෙදිම පිළිබඳ‘ පලා බබා අපට එපා!. පලා බබා අපට එපා!‘ දැන් හැබැයි පළාත් සභා වඩා හොඳට කරන්න ඕන කියලා පිළි අරන් තියෙනවා.

කොළඹ නේද ඔබේ බලකොටුව, දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද, ඉගෙන ගත්තේ ආනන්දේ, කොළඹ නගර සභාව නියෝජනය කළා. ඉතිං මෙච්චර පහසුවෙන් දිනාගන්න තිබුණු ඡන්ද අතඇරලා ඇයි ඔබ කළුතරට යන්න හිතුවේ?

එකක් කළුතර තමයි මගේ අම්මාගේ ගම. මම ඉපදුනෙත් කළුතර දිස්ත්‍රික්කේ. මම 6 ශ්‍රේණියට යනකල් ඉගෙන ගත්තෙත් කළුතර. මගේ ගෙදර තියෙන්නෙත් මතුගම. එතකොට මම කොළඹ තරග කළේ වැඩියෙන්ම දෙමළ ඡන්ද හා මුස්ලිම් ඡන්ද බලාගෙන. නමුත් මේ වෙලාවේ කොළඹ විශාල ආරවුලක් තියෙනවා දෙමළ මුස්ලිම් පක්ෂ අතර. අනිත් අතට මම කල්පනා කළා මම දෙමළ මුස්ලිම් ඡන්දවලින්ම එන්න ඕන නෑ කියලා. මොකද දෙහිවල තරග කරනකොට මට පෙනුනා ඒක අවශ්‍යම දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා මගේ මවුට තියෙන බලයත් බලන්න එක්ක මම ගමට ගිහිල්ලා ඡන්දේ ඉල්ලන්න තීරනේ කළා. ඇත්ත වශයෙන්ම ඒකෙත් දෙමළ හා මුස්ලිම් විශාල ඡන්දයක් තියෙනවා.

දැන් අවුරුදු 78ක් විතර වෙනවනේ?

ඔව්.

මෙච්චර වයසට යනකල් හිටියේ ඇයි පාර්ලිමේන්තුවට එන්න? මීට කලින් අවනං ඇමැතිකම් කැබිනට් ඇමැතිකම් විතරක් නෙවෙයි අගමැති වෙන්නත් අවස්ථාව තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

නෑ නෑ මට එහෙම හිතෙන්නේ නෑ, මම සමසමාජ නායකයා වෙලා තමයි ඔය ගමන යන්න ඕන. සම සමාජ නායකයා හැටියට එන්න ඕන දුර එන්නේ නැතුව මම ඒ ගමන යන්න හිතුවේ නෑ.

දැන් ඔබ හිතනවාද සම සමාජ නායකයා විදිහට ඔබ ආව දුර හා ඒ කටයුත්ත අවසන් කියලා?

අවසන්.

දැන් කව්ද සම සමාජ නායකයා?

ඒත් සම සමාජ නායකයා මම තමයි.

එහෙම වෙන්න බෑනේ මහත්තයෝ. එජාප ව්‍යවස්ථාව අනුව එහි සාමාජිකයකුට පක්ෂ දෙකක සාමාජිකත්වය දරන්න බෑ? දැන් ඔබව විනය පරීක්ෂණයක් තියලා එළියට දායි?

පිස්සුද? පක්ෂ ව්‍යවස්ථාව එක දෙයක් තමයි ඒත් මගේ ඔළුවේ තියෙන එක වෙනස් කරන්න බෑනේ.

ඔබ වලව්කාරයෙක් නේ?

මම වලව්කාරයෙක් නෙවෙයි.

වලව්කාරයෙක් නොවෙන්නේ කොහොමද?

වලව්කාරයෙක් කියන්නේ මොකක් හන්ද ද? මගේ පරම්පරාව ඇවිල්ලා…

ඔව් ඔව් රදලනේ?

ඔව් කියන්න පුළුවන් රදල කියලා.

කසාද බැඳලා ඉන්නෙත් අලි ඇත්තු ඉන්න වලව්වක කුමාරිහාමි කෙනෙක්නේ?

වලව්කාරයන්ගේ සම්ප්‍රදායේ ඉපදිලා තමයි ඉන්නේ. හරි. ඉතිං දැන් මොකද්ද?

නෑ මම කියන්නේ කැරකිලා කැරකිලා රදල වලව්කාරයෙක්ට අන්තිමට එන්න තියන කඳවුරට ඔබත් ආව නේ?

පිස්සුද මම ඒ සම්ප්‍රදායේ නෑ. ඒ සම්ප්‍රදාය මගේ දෙමාපියන්ගෙන් හා මගේ විවාහයෙන් ආවා තමයි. නමුත් මගේ අදහස මගේ ප්‍රතිපත්තිය හා මම කරගෙන යන වැඩ කොටස සම සමාජ, මාක්ස්වාදය..

ඔබ ඔබේ ජීවිත කාලෙම කැප කළේ සම සමාජය වෙනුවෙන්. වෙඩි කෑවේ, කථිකාචාර්ය ධුරය වගේ විශිෂ්ට රැකියාවක් නැති කරගත්තේ, හත් අට පාරක් හිරේ විලංගුවේ වැටුණේ විශ්වාස කරපු ඒ දර්ශනය වෙනුවෙන්. ඔබට පෙර කොමියුනිස්ට් දහමේ පිහිටලා හිටිය කොල්වින් ආර්. ද සිල්වලා, ඇන්. එම්. පෙරේරලාට සිද්ධ වුණෙත් අන්තිමේ ධනපති පක්ෂවල සාමාජිකයෝ වෙලා මිය යන්න. දැන් ඔබත් කවදා හරි මැරෙන්නේ සමා සමාජ පක්ෂයේ බාහු සහෝදරයා විදිහට නෙවෙයි. අන්ත දක්ෂිණාංශික එජාපයේ සර් කෙනෙක්, අප්පෝ කෙනෙක් එහෙමත් නැතිනම් හාමු කෙනෙක් විදිහට. ඔබට දුක නැද්ද මේ ඉඳලා ඉඳලා කරගත් දේ ගැන?

එහෙම දුකක් නෑ මට. මම මැරෙන්නේ සම සමාජ නායකයා හැටියට. කොල්වින් ආර්. ද සිල්වලා ඇන්.ඇම්. පෙරේරලා ඉතාම හොඳට මාක්ස්වාදී අදහස් ඉදිරිපත් කරමින් මේ රටේ භාෂා ප්‍රශ්නය එනකොට ඒගොල්ලෝ කිව්වා කවදාවත් සිංහල භාෂාව විතරක් රාජ්‍ය භාෂාව කරන්න එපා කියලා. ඒක කිව්වේ එක භාෂාවයි රටවල් දෙකයි. භාෂා දෙකයි එක රටයි කියලා. එහෙම කිව්ව අය අවසානෙදී මේ රට සිංහල කරලා බෞද්ධ කරලා විශාල ජාතිවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරපු පක්ෂත් එක්ක සම්බන්ධ වෙලා සමාජවාදයට යන්න කියලා ගිවිසුම් ගහලා ආණ්ඩුවට ගියා. එතැන තමයි එයාලගේ විනාශ මුඛය වුණේ. කොහොමද සමාජවාදයකට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැති රටක. මම එහෙම නෙවෙයි. මම සම්බන්ධ වුණේ මේ රටේ සියලු ජාතීන්ට, සියලු භාෂාවන්ට, සියලු දෙනාටම එක හා සලකනවා කියන යුනයිටඩ් නැෂනල් පාර්ටි එකත් එක්ක.

දැන් බැරිවෙලාවත් ඔබ පාර්ලිමේන්තුවට තේරුණොත් මොකද්ද අදින්නේ. මොකද දැන් පවතින ජාතික ඇඳුම හොරුන්ගේ ඇඳුම කියලානේ ඔබ හඳුන්වන්නේ. එහෙම වුණොත් ඔබ පාර්ලිමේන්තු යන්න හිතං ඉන්නෙත් ඔය ඇඳන් ඉන්න බාච්චු ඇඳුමින්ද?

කමක් නෑ මම මේකම අඳිනවා.

ඕක ඇඳන් ගියාම පාර්ලිමෙන්තුවට වැද්දගනියි කියලා හිතනවාද?

ඇයි මේකේ තියෙන වැරැද්ද මොකද්ද? සෙරෙප්පු දෙකක් දාන්න පුළුවන් විදිහට කලිසමක් තියෙනවා. උඩට සුදු ඇඳුමක් තියෙනවා. ඊට උඩින් කබායක් තියෙනවා. මේකනේ රාජසිංහ රජ්ජුරුවොත් ඇඳගෙන ඉන්නේ.

සමන් සමරක්කොඩි
aruan.lk

මන්නාරමේ රක්ෂිතයක ඉස්සන් බෝකිරීමට ජවිපෙ විරෝධය

0

messenger sharing button

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි ස්වාභාවික රක්ෂිතයක් ඉස්සන් වගා කරන සමාගම් සඳහා ලබාදීමට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දරන උත්සාහයට විරෝධය පළ වී තිබේ.

වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ඉස්සන් වගා කරන සමාගම් සඳහා ලබාදීමට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය උත්සාහ දරන බවට චෝදනා කරමින් එයට බලවත් විරෝධය සහ කණගාටුව පල කර ඇත්තේ ජනාතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු විසිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ජුනි 23 අගහරුවාදා ලිපියක් යොමු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  බිමල් රත්නායක ඉල්ලා ඇත්තේ,  මන්නාරම, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ඉස්සන් වගාවට ලබාදීම නතර කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද ස්වභාවික පාරිසරික රක්ෂිතයක් :

“මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම විශේෂ පාරිසරික කලාපයක් වන මෙම වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය උතුරු පළාතේ උපායමාර්ගික පාරිසරික ඇගයීම් (Strategic Environment Assessment) ව්‍යාපෘතිය මගින් යෝජනා කර, එම ප්‍රදේශයේ ඇති ජෛව විවිධත්වයේ සුවිශේෂී බව සැලකිල්ලට ගෙන නීත්‍යානුකූලව ගැසට් කර පාර්ලිමේන්තුවේද නිසි පරිදි අනුමත කරන ලද ස්වභාවික පාරිසරික රක්ෂිතයකි.”

ශ්‍රී ලංකාව පුරා  ඇති මෙවන් විශේෂතා සහිත පාරිසරික කලාප, ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණය කළ යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියක් මත මෙම වෙඩිතලතිව් පාරිසරික කලාපයද 2019 දී ගැසට් පත්‍රයකින් ස්ථාපිත කර තිබෙන බව ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වෙඩිතලතිව් රක්ෂිතය ස්ථාපිත කිරීම සඳහා වූ ක්‍රියාවලිය එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභාව, සිවිල් සංවිධාන ආදිය සම්බන්ධ කරගෙන සිදුකරන ලද මහජන සහභාගිත්ව ක්‍රියාවලියක් මඟින් හඳුනා ගන්නා ලද්දක් බව හිටපු මන්ත්‍රීවරයා අගමැතිවරයා වෙත මතක් කර දී තිබේ.

එසේ නිසි පරිදි ස්ථාපිත කරන ලද වෙඩිතලතිව් රක්ෂිතය තුළ ඉස්සන් වගාව සඳහා සමාගම්වලට ඉඩ දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව අගමැතිවරයා  ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට හිටපු මන්ත්‍රී බිමල් රත්නායක චෝදනා කරයි.

‘නිසි පරිදි ස්ථාපිත කරන ලද වෙඩිතලතිව් රක්ෂිතය තුළ ඉස්සන් වගාව සඳහා සමාගම්වලට ඉඩ දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව අගමැතිවරයා  ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට හිටපු මන්ත්‍රී බිමල් රත්නායක චෝදනා කරයි.”

“එමෙන්ම 2019 දී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ගැසට් පත්‍රය අවලංගු කිරීමටද කටයුතු කෙරෙමින් ඇත.එසේ වුවද මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය පිළිබඳ පරිසරවේදීන් පමණක් නොව අදාළ විෂයභාර දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය පාරිසරික ආයතනවල පරිසර නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ මගින්ද යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතිය මගින් සුවිශාල පාරිසරික හානියක් සිදුවන බව හඳුනාගෙන වාර්තා කර තිබේ.”

අනාගත පරම්පරාවටද කරන අති විශාල හානියක්:

පසුගිය වසරේදී  විශාල අධ්‍යයනයකින් පසු ගැසට් කරන ලද රක්ෂිතයක් පාරිසරික වාර්තා මගින් ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඉන් මාස කිහිපයකට පසු, එම ස්වභාවික ප්‍රදේශය රක්ෂිතයක් බවට පත් කරන ලද ගැසට් පත්‍රය පවා අවලංගු කරමින්, මහා පරිමාණ පාරිසරක විනාශයකට පාර කැපීමට අගමැතිවරයා  ඇතුළු කබිනට් මන්ඩලය කටයුතු කරගෙන යෑම මේ රටේ වර්තමාන පරම්පරාවට පමණක් නොව අනාගත පරම්පරාවටද කරන අති විශාල හානියක් බව අගමැතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

එම නිසා පාරිසරික අධ්‍යයන වාර්තාවෙන් ද ප්‍රතික්ෂේප වී ඇති වෙඩිතලතිව් රක්ෂිතයේ ඉස්සන් වගාව හෝ එවන් ව්‍යාපෘති සිදු කිරීම වහාම නතර කරන ලෙසත්, ගැසට් පත්‍රයක් මගින් ස්ථාපිත කර ඇති වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතයේ ගැසට් පත්‍රය අවලංගු නොකරන ලෙසත් බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයා අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
theleader.lk