සම්මානලාභී ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 11) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියැදෙන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (14) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. ඔහු මෙරට කලා කේෂ්ත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ අයෙකි.
වරක් ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය අසතුටින් විවේචනය කරමින් ජයලාල් රෝහණ පැවසුවේ ලංකාව ලෝකයේ තිබෙන සියලුම අධ්‍යාපන ප්‍රවනතා වැරදි අතට ගෙන ඇති බවය. ලෝකයේ විභාග පවත්වන්නේ විද්‍යාර්ථයින් සමත් කිරීමට වුව ද ශ්‍රී ලංකාවේ විභාග පවත්වන්නේ ඔවුන් අසමත් කිරීමට යැයි ඔහු පැවසීය.
“පණ්ඩිතයෝ වගේ කට්ටියක් ඉන්නවා ඉතාමත් අවම සුදුසුකම් වලින්. උගන්වන්න බැරිනම් අධ්‍යාපන විශේෂඥයෙක් වන එක අපේ රටේ සාමාන්‍ය දෙයක්. මම කිහිපවතාවක්ම කියල තියෙනවා ශ්‍රී ලංකාවේ ශාක්ෂරතාවය කියන්නේ ඇමරිකාවෙන් අපිට දීපු අන්ඩරයක්. ලොකු අන්ඩරයක් ගිලල ඉන්නේ. මේ අකුරක් ලියාගන්න පුළුවන් කියන්නේ ශාක්ෂරතාවයට නෙමෙයි. ශාක්ෂරතාවය කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය ඇති අයටයි,” යැයි ජයලාල් රෝහණ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ “තවමත් හිතන් ඉන්නවනම් දුටුගැමුණු කියන්නේ පික්චර් වල හිටපු නළුවෝ කියලා හිතාගෙන ඉන්නවනම්. එළාර මැරුවේ උන් කියල හිතනවානම් මේ වගේ මෝඩයෝ ඉන්න රටක් කොහෙවත් නෑ.
මේ වැඩිහිටියන්ගේ සිට පහලට ගලාගෙන එන දැනුමේ අව භාවිතය අඩු විය යුතුයි. නැති විය යුතුයි. රට තවමත් හදන්න පුළුවන් ඒක හදන්න පුළුවන් තත්ත්වයකට ගේන්න ඒකට බරපතල සාකච්ඡාවක් අවශ්‍යයි. වැඩේ තියෙන්නේ ගොඩාක් මිනිස්සු ඒකට කැමති නෑ.” යනුවෙනි.
කුසලතා පිරි රංගධරයකු වූ ජයලාල් රෝහණ වේදිකාවේ, රුපවාහිනියේ හා සිනමාවේ එක සේ ජනප්‍රියත්වයට පත්වූවෙකි. ටෙලි නාට්‍ය රංගනයෙන් ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්වුයේ ‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍ය රංඟනයත් සමඟය. “ඉසුරුයෝගය” ටෙලි නාට්‍යයේ “මුතුමිණ ” නම් චරිතය රඟපෑම වෙනුවෙන් 2006 වසරේ දී සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා, OCIC සම්මානය, සහ රූපවාහිනී රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූ ජයලාල් රෝහණ, තමන් ඉතා දුෂ්කර ජිවිතයක් ගතකල අයෙකු බව කියා තිබිණි.
වයස අවුරුදු 13 දී සිය පියා ඥාතියෙකු අතින් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව සතියට දින දෙකක් පමණක් පාසල් යමින් මව, සහෝදරිය හා සහෝදරයාව රැකබලා ගැනීමේ බර කරට ගෙන කුලී වැඩ කළ බව ඔහු වරක් රුපවාහිනී වැඩසටහනකදී පැවසීය. කෙසේ වෙතත් සිය අධ්‍යාපනය අත් නොහළ ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දක්ෂ ආදි ශිෂ්‍යයෙකි. පේරාදෙණිය විද්‍යාලයෙන් විද්‍යා උපාධිය ලබා ගත ඔහු ඉන්පසු එහිම සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව පිළිබඳව පශ්චාත් උපාධි හිමිකර ගත්තේය. ඔහු ජයවර්ධනපුර, කැලණිය සහ කොළඹ යන විශ්වවිද්‍යාල වලින්ද උපාධි දිනා තිබේ. ගුරු වෘත්තිය තෝරා ගත් ජයලාල් රෝහණ පසුව ඔහු විශ්විද්‍යාල කථිකාචාර්යවරයෙකු ද විණි.
දෙදරු පියෙකු වූ මෙම ප්‍රවීණ රංගවේදියා සිකුරු හතේ ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී සම්මාන රැසක් දිනා ඇති අතර නාට්‍ය කලාව පිළිබඳව ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර ඇත. ‘ලෝකා’ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකම අධ්‍යක්ෂවරයා ද විය. ජයලාල් රෝහණ රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, ලේඛකයකු, වේශ නිරූපණ ශිල්පියකු, වේදිකා පිටපත් රචකයකු, ගායකයකු, වේදිකා අලංකරණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා ප්‍රකට කළ අයෙකි.
ශ්‍රී ලංකාවේ අංගරචනා ශිල්පය ගැන ලියැවුණු “සැබෑ මුහුණේ වෙස් මුහුණ.”, ආලෝකකරණය පිළිබඳ ලියැවුණු “සබේ විදුලි විලක්කුව” සහ පෞර්ෂ වර්ධනය හා කටහඬ පිළිබඳ ලියැවුණු “හඬ වැඩුම” ඔහුගේ අතින් ලියැවුණු කෘතීන් වේ. ජයලාල් රෝහණ කලාකරුවා රංඟන වේදියෙකුට එහා හිය ‘මිනිසත් කමින් පිරුණු සොඳුරු මිනිසකු’ බවට බොහෝ කලාකරුවන් සහ ඔහුව ඇසුරු කළෝ පවසති. “ජයලාල් ගේ තියෙන විශේෂත්වය තමයි ජයලාල් දිගින් දිගටම මේ රඟපෑම, නාට්‍ය අධ්‍යක්ෂණය සියල්ල කරන අතරේ ඔහු පුදුමාකාර විදිහට ඉගෙනීමට ඇලුම් කළා. මම හිතන්නේ ලංකාවේ වැඩිම උපාධි ප්‍රමාණයක් තියෙන පුද්ගලයෙක් තමයි ජයලාල්,” යනුවෙන් රංඟවේදී වසන්ත විට්ටච්චි බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. “ඕනම වෙලාවක ජයලාල් කියන්නේ මම ඔහුගේ ගුරුවරයෙක් කියන එක.
නමුත් එයට වඩා මිත්‍රත්වයක් අපි තුළ තියෙන්නේ. ජයලාල් කියන්නේ හරිම හිත හොඳ, ජයලාල්ගේ තියෙන විශේෂත්වය තමයි සමහරුන්ට පෙන්නේ දැඩි මනුස්සයෙක් වගේ දැඩි කියන්නේ කිවයුතුදේ කෙලින්ම කියනවා ආයේ එහෙම කිව්වොත් මට අවාසියක් වෙයිද කියන එක හිතන්නේ නැතිව කෙලින්ම කියනවා.” “ඉතින් ඒක ඔහුගේ තිබුණු අවංක කමක්. නමුත් ඒකම ඔහුට වැරැද්දක් උනා සමහර තැන් වලදී. මොකද ජයලාල් ගේ කට හොඳ නෑ ජයලාල් සැරයි, ඔහුත් එක්ක වැඩ කරන්න බෑ. වගේ කාරණා කියනවා. නමුත් ඒ ඔහු සත්‍ය කතා කරපු නිසා, සත්‍ය වෙනුවෙන් පෙනී හිටපු නිසා තමයි අර ගැලීලියෝ ට වගේ මුහුණ දෙන්න උනේ.” මෙයට පෙර කිසිදු පුද්ගලයකු ස්පර්ශ නොකළ විෂයක් වන බෞද්ධ නාට්‍ය ඉතිහාසයේ මනෝවිද්‍යාත්මක විග්‍රහය යන මැයින් ග්‍රන්ථයක් රචනා කර ප්‍රකාශයට පත්කිරීමට ජයලාල් සැරසී සිටි බව විට්ටච්චි පැවසීය. ජයලාල් රෝහණ පිළිබඳ මුහුණුපොතේ සටහනක් තබමින් ජනමාධ්‍ය වේදිනී මයුරි ලියනගේ මෙසේ පවසන්නීය.
“දුයිෂෙන්ගේ මළගම!, ඔබ අවසාන ගුරුවරයාය!, අපි අවසාන ගෝල පරපුරය! මා දන්නා තරමින් මේ ඔබේ අවසාන ගුවන්විදුලි වැඩසටහන ය! ඔබ යුගයක් නිමා කොට යන්නේ ය! උපුල් ශාන්ත සන්නස්ගල ද මගේ ගුරුවරයෙකි! ඔහු විකල්ප legend එක නම් .. ඔබ මනුෂ්‍යත්වයේ ලෙජන්ඩ් එකය! අප මාධ්‍යයට එන්නේ ඔබ වැනි ගුරුවරුන් නිසාය! ඒත් මාධ්‍යයේදී අපේ මනුස්සකම රැකෙන්නේ ජයලාල් රෝහණ ඒක ඉගැන්වූ නිසාය! හැමෝටම ඒක බැරිය!..” “යන්නට පෙරත් ඔබ කිව්වේ හැමිලට් දන්න ෂේක්ස්පියර් දන්න කපුගේ දන්න අමරදේව දන්න, දොස්තරලා ඉංජිනේරුවෝ මේ රටේ බිහිවිය යුතු බවය!.. ඔබ මනුෂ්‍යත්වය බිහිකොට යන්නේ ය! පන්තියේ පාඩමේදි හැමදාම ඔබ අත උරුක් කොට කිව්වේ.. උඹලා නාට්‍ය නොකෙරුවට කමක් නෑ!.. රඟ නොපෑවට කමක් නෑ! මනුස්සයෝ විදියට ජීවත් වෙයල්ලා කියායි! මම මේ කරන්නේ ඒකය කියාය! දැන් ඔබ ඒක කර ගොසිනි! දැන් ඒක කරන්නට කෙනෙක් නැත! සැබෑ මළගම ඒකය! මේ අවසාන ඡායාරූපය අප එවන් වෙනස් ලොවක් හදන්නට පැතූ බවට සාක්ෂිය!
මයුරි ලියනගේ ජයලාල් රෝහණ සමඟ
“සර් ! ඔබේ ගෝලයෙක් වීම ගැන අද ඔබ මේ සමුගන්න මොහොතේ මට ඇත්තටම ආඩම්බරය! ඔව් මම ජයලාල් රෝහණ සර්ගෙ ගෝලයෙකි!! දුයිෂෙන්ගේ සැබෑ මළගම අදය!…”යනුවෙන් ඇය සටහන් තැබීය. “එදා “සිහිනයකි රෑ ” එතුමා රස ගැන්වු අයුරු අදටත් අපේ ප්‍රෙක්ෂකයින්ට තාමත් මතකයේ ඇති. එතුමා රංගනයෙන් දායක වුනු ගොන්ඩෝලා, හන්කිත් 13, සුදු සහ කලු, පසුගිය කාළයේ වේදිකාව තුල රඟදැක්වු නාට්‍යයන්ය. විවිධ ක්ෂෙත්‍රයන් නියෝජනය කල අති දක්ෂ, නිහතමානි සරල ගැමි චරිතය අද නිසල වී ඇත.
නාට්‍ය ක්ෂේත්‍රයට, අධ්‍යාපන ක්ෂේත්‍රයට එය දැවැන්ත පාඩුවකි. තවත් බොහෝ කාලයක් රටට වැඩක් ගතහැකි මෙවන් උතුම් මිනිසුන් අප අතරින් සමුගැනිම කෙතරම් ඛේදාන්තයක්ද?,’ යනුවෙන් ඔහුගේ රසිකයකු මුහුණුපොතේ සටහනක් තබමින් පැවසීය. “රටක් හිනැස්සු ආදරණිය ඇදුරුතුමනි, රංගවේදියානෙනි ඔබතුමාට නිවන්සුව….. මා සමඟ සිහිනයකි රෑ රසිකයින්.” ජනමාධ්‍යවේදිනී තිලක්ශනී මධුවන්ති පවසන්නේ, “අදයි තක්කෙට ඉසුරුයෝගය….. දැන් ඉතින් සුවෙන් නිදියන්න මුතුමිණ…” “සර්.., මේ අපේ අන්තිම හමුවීම 2020 ජූලි 02 වැනිදා.. ඔව්.. මේ අපේ අන්තිම කතාබහ මේ අපේ අන්තිම සෙල්ෆිය..”
තිලක්ශනී මධුවන්ති ජයලාල් රෝහණ සමඟ
කෙටි හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ හෙන්රි වර්ණකුලසූරිය තම මිතුරා ගැන මුහුණුපොතේ සටහනක් තබමින් පවසන්නේ “කාලෙකට කලිං දවසක හයිලෙවල් පාරේ බස් රථයක පොල්ලේ එල්ලී එද්දී මට ඉදිරියෙන් ඒ විලසම ගමන් කළ සගයෙක් කරේ එල්ලන් හිටි හචා බෑග් එකෙන් පොතක් එළියට අරං “මේක මගෙන් උඹට තිළිණයක්” කියමින් පරිත්‍යාග කළා. පොත “සැබෑ මුහුණේ වෙස් මුහුණ.” පොත ලිව්වේ ජයලාල් රෝහණ.” “මං ස්වර්ණවාහිනියේ අංගරචනා ශිල්පීන් භාරව ඉද්දි උඹේ පොත බොහෝ සෙයින් පරිශීලනය කළා. මං මේකප් දැනගත්තෙ උඹේ පොතෙන්.” “ඊට ටික කලකට පස්සේ දවසක ජැකා එක්ක කිරුළපන රෙස්ටුරන්ට් එකක අර්ථවත් සැඳෑවක් ගත කරමින් ඉද්දී ජැකාට ආව දුරකථන ඇමතුමකින් ජයලාල් දුම්රියක හැපී මහ රෝහලට ගෙනාව බව දැනගත්තා. අපි සෝමපානය නවතා වෙන් වුණා. ජැකාව පොලිසියෙන් අල්ලන්නෙ නැති නිසා ඔහු රතු කැබ් එකෙන් එවෙලේම රෝහලට ගියා. මට හොඳ ගානට වැදිලා නිසා කෙටි පාරවල් වලින් ගෙදර ගියා.” “පහුවදා දවල් දුකාත් එක්ක ජයලාල් බලන්න ගියාම විකාර කියවන්න ගත්තා. හිස වැදිලා. ඒ කම්පනය මිස ලොකු අනතුරක් වුණේ නෑ. අපි ආයෙ ආයෙ ඔහු බලන්න යද්දි පියවි සිහියට ඇවිත් සුපුරුදු හක..හක..හිනාවෙන් අප එක්ක කතා කළා.” “ඊයේ රෑ ජයලාල් අපට සමු දී කල්තියාම යන්න ගියා කියා දැනගත් මොහොතේ ඇති වුණේ දැඩි කම්පනයක්. පවනි කෝල් කරලා කියමින් මතක් කළේ ඇගේ පාසලේ සාහිත්‍ය දිනයට ජයලාල් ගෙන්වන්න කතා කළ එක ගැන. ජයලාල් බොහොම උනන්දුවෙන් එකඟ වුණත් කොවිඩ් නිසා රට වැහීමත් එක්ක ඒ වැඩේ කල් ගියා. ඒකෙන් වුණේ ගම්පළාතෙදි මුණ ගැහිලා රසකතා අහන්න තිබුණු අවස්ථාව නැති වුණ එක. “මචං..මට ආරාධනා කළාට ස්තූතියි ඕං..” ඒ මං අවසන් වරට දුරකථනයෙන් අහපු ජයලාල්ගේ වචන. ඔය ලිව්වේ ජයලාල් ගැන මතක කිහිපයක් විතරයි.” “ජයලාල් මට වඩා අවුරුදු 5 ක් බාලයි.
මට හාට් ඇටෑක් එකක් ඇවිත් අවුරුදු එකහමාරකට වැඩියි. මං අහම්බෙන් ජීවත් වෙන්න වරම් ලැබුවා. දැන් ගත කරන්නෙ බෝනස් ජීවිතයක්. ජයලාල්.. මචං උඹට ඒ අහම්බ බෝනස් එක ලැබුණෙ නෑ.” “තවත් ජීවත්වෙන්න ඕනෙ වටිනා මිනිස්සු අප හැර යද්දී අපි වගේ කබ්බෝ බෝනස් ජීවිත ගත කරනවා. අනියත ලෝකේ හැටි එහෙමයි.” “මං හෙට උඹව දකින්න එද්දී “මචාං..කෝමද..? කියලා අහන්න වෙන්නෙ නෑ. උඹ සුවබර නින්දක..අපි තවත් කෙටි කලක් අවදියෙන් ඉඳීවි. ඒත් අපිට ඉන්න වෙන්නෙ මැරුණා වගේ තමයි.” “ඒ අතිං උඹ වාසනාවන්තයි. ජයලාල් රෝහණ සහෝදරයා උඹට සුබ ගමන්…!” යනුවෙන් ඔහු පැවසීය.
(බීබීසී සිංහල සේවය)