Wednesday, September 25, 2024
Home Blog Page 50

කොරෝනා පාලනයෙන් ගිලිහෙන හැටි…..ඇමති මහින්දානන්දත් නිරෝධායනයට..

0

කොරෝනා දැන් පාලනයෙන් ගිලිහි යමින් VVIP පවුල්කාරාද පැතිර යන්නට පටන් ගෙනය.
ගියවරද තත්වය එසේම විය.
සෞඛ්‍ය ඇමතිවරිය පවා ආසාදිතයෙකු වුවා පමණක් නොව දැඩි සත්කාර ඒකකය තුල පවා ප්‍රතිකාර ගැනිමට සිදුවන තරමට තත්වය බරපතල වි තිබුණි.
වෛරසය දැන් තරාතිරමක් නොබලා පැතිර යමින් තිබේ.
කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව ඇමතිවරයා විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රසිද්ධ කර තිබේ.

හොරබඩු ජාවාරම්කාරයෝ බයනැතුව මිගමුවට බඩු බාන්නේ ඇයි ?

0

(NEGOMBO )- මිගමුව දැන් හොරබඩු ජාවාරම්කාරයන්ගේ දැවැන්ත තිප්පොලක් වි ඇති සෙයකි.
මේ ජාවාරම්කාරයෝ කිසිදු බියක් සැකක් නැතිව රු කෝටි ගණන්වල වටිනාකමින් යුතු හොර බඩු මිගමුවේ ගොඩබාති.
ඉන් කියැවෙන්නේ මේ හොරබඩු ජාවරම්කරුවන්ට මිගමුව යනු ආරක්ෂිත තැනකි.
ඒ අනුව ඒ ආරක්ෂිත බව ජාවාරම්කරුවන්ට සකසා දි ඇත්තේ කව්ද ?

මිගමුව අද පාලනය වන්නේ මිගමුව ඉතිහාසයේ හොරබඩු ජාවාරම් සදහා නම් කප් ගැසු පවුලක් විසිනි.අද ඔවුන් ලංකාවේම කළු සල්ලි වලින් විවිධ ව්‍යාපාර කරගෙන යන ප්‍රකෝටිපතියන්ය.
ඒ කළු සල්ලි ව්‍යාපාරික කටයුතු සදහා මුලික වශයෙන්ම මිගමුව තුල අවැසි ඉඩකඩද ඔවුන් පසුගිය කාලය තුල සකසාගෙන ඇතිවාට සැක නැත.රටේ නිතිය සාමය පමණක් නොව නීති විරෝධි ක්‍රියා සිදුනොවිමට වගබලාගත යුතු පොලිසිය පවා අවැසි පරිදි හසුරුවාගන්නට මුලික වශයෙන් කළ යුතුව තිබුන දේවල් මේ කළු සල්ලි ජාවාරම්කාරයන් විසින් සිදුකර ඇතිවාට සැක නැත.
තතු එසේ වු විට රු ප්‍රකෝටි ගණන් වුව වැය කර හොර බඩු ජාවාරම්කාරයෝ බිය සැක නැතිව මිගමුව තුල හැසිරෙති.
පසුගිය දිනක මිගමුවේදි අත්අඩංගුවට ගත් බිඩි තොගයේ වටිනාකම රු ලක්ෂ 120 කි.මේ කාලයක් තිස්සේ නිදැල්ලේ සිදුකර ඇතැයි කියන මේ ජාවරම් පිළිබදව තොරතුරු ජනයා විසින් මිගමුවේ පොලිස් බළධාරින් හට නොදි පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දෙන්නේ ඇයිද යන්න ගැනද කල්පනා කලයුතුව තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තුත්තිකුඩ් ප්‍රදේශයේ සිට බෝට්ටු මගින් මීගමුව කාමත්චොල වෙරළ තීරයට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනා බීඩි කොල තොගයක් සමග පුද්ගලයන් හය දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා ගොනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබුණි

එම සැකකරුවන් සමග බීඩි කොළ කිලෝ එක්දහස් පන්සියයක් ,කුඩා ලොරි රථ දෙකක් සහ මොටර් රථයක් පොලිස් බාරයට ගෙන තිබුන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොච්චිකඩේ දෙහිවල සහ කොළඹ පදිංචිකරුවන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබුණි.
මේ අනුව පෙනි යන එක් පැහැදිලි කරුණක් වන්නේ මිගමුව දැන් ජාවාරම්කරුවන්ගේ හොර බඩු තිප්පොලක් බවට පත්ව ඇති බව නොවේද ?

පසුගිය මාසයේ දි නාවික හමුදාව විසින් මිගමුවේදි අල්ලාගත් තවත් නිති විරෝධි ඉන්දියන් භාණ්ඩ තොගය ගැන navy.lk වෙබ් අඩවිය මෙසේ වාර්තා කොට තිබුණි

නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 17 සිට 20 දක්වා මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේ, මන්නාරම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1263 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු තිබේ

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව දිවයින වටා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින් මන්නාරම කුඩිඉරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අප්‍රේල් 19 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි උර 15 ක අසුරා තිබූ වියලි කහ කිලෝ 543 ග්‍රෑම් 700 ක් (තෙත බර සහිත), සැකකරුවන් ‍දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදි. තවද, අප්‍රේල් 20 වන දින පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමන ලද වියලි කහ කිලෝ 258 ග්‍රෑම් 500 ක් සහිත (තෙත බර සහිත) උර 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, බටහිර නාවික විධානය මගින් මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේදී 2021 අප්‍රේල් 17 වන දින සිදුකළ තවත් මෙහෙයුමකදී නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කර එම ඩිංගි යාත්‍රාවන් තුළ උර 14 ක අසුරා සඟවා තිබූ වියලි කහ කිලෝ 461 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

පවත්නා කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 44 ත් අතර වයසේ පසුවන පේසාලේ සහ මීගමුව ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගන්නා ලදි. මීගමුව කළපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු, කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි. එමෙන්ම, මන්නාරම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කළ අතර, නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

PCR කට්ටල ඇත්තේ තවත් සති 06කට පමණයි : ගෝලීය හිඟය මුලික හේතුවයි

0

වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන ප්‍රමාණවත් වන්නේ සති හයක කාලයකට පමණක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී ඇතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් පරීක්ෂණ කට්ටල ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තවත් කට්ටල ලක්ෂ තුනක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන ඒමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පී.සී.ආර්. කට්ටල සපයන සැපයුම්කරුවන් තිදෙනෙකි. ඔවුන් සමග දෛනිකව කරුණු විමසන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ගෙවුණු සතිය තුළ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල විසිපන් දහසක් පමණ දෛනිකව වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහල්වලට මුදාහැර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවේ කොවිඩ් පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතියට දැනුම් දී තිබේ. එම ඉල්ලීම යුනිසෙෆ් සංවිධානයට දැනුම් දුන් බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණඩාර පැවසුවේය. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් මත ගැටලු මතු වුවත් පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේ.

කොවිඩ් වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී ඇතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් පරීක්ෂණ කට්ටල ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තවත් කට්ටල ලක්ෂ තුනක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන ඒමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි.

එම ඉල්ලීම යුනිසෙෆ් සංවිධානයට දැනුම් දුන් බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණඩාර පැවසුවේය. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් මත ගැටලු මතු වුවත් පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේ.
(අරුණ පුවත්පත )

දින හතරක වැඩ සතියක්…

දින හතරක වැඩ සතියකට ලෝකය වෙනස් කළ හැකිය.

අපේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළ යුත්තේ ජීවනොපායක් වශයෙන් “වැඩට යාම” යනුවෙන් අප හඳුන්වන කටයුත්ත ඉටු කිරීම සඳහාද? ඊට වඩා වැඩිකාලයක් ජීවිතය විඳගැනීමට අවස්ථාවක් ලබා ගැනීම පිණිස අප කටයුතු නොකළ යුතුද? වැඩට යාමට වඩා වැඩට නොයා සිටීමට ඇති හැකියාව මානව ප්‍රගතියේ දර්ශකයක් ලෙස සැලකීමට අප දේශපාලකයන්ට බල කළ යුතු නොවේද?

කම්කරුවන්ගෙන් ගහණ වූ බ්‍රිතාන්‍යයේ නාගරික පෙදෙස්වල දුම් දමන චිමිනි වලින් පෙන්නුම් කළ පළමුවෙනි කාර්මික විප්ලවය ගල් අඟුරු දහනයෙන් නිපදවූ වාෂ්ප බලය පදනම් කරගත් එකක් විය. එකල වැඩ කරන කාලය දිනකට පැය 12 සිට 16 දක්වා තරම් දිගුවිය.  විදුලි. බලය පදනම් කරගෙන දෙවැනි කාර්මික විප්ලවය ඇතිවන විට දිනකට පැය අටක් පමණක් වැඩ කිරීම සම්මුතිය බවට පත් කරගැනීමට අපට හැකිවිය. ඉලෙක්ට්‍රානික මයික්‍රොප්‍රොසෙසරය මුල් කරගැනීමෙන්ද උද්ගත වූ තුන්වැනිකාර්මික විප්ලවය නිසා අප වැඩ කළයුතු කාලය අඩු කරනවාට වඩා සිදුවූයේ වැඩ කිරිම උත්කර්ෂයට නැංවීමයි. තරඟකාරීවීමට නම් වැඩි වැඩියෙන් වැඩට කැපවීම අත්‍යවශය බව දේශපාලන නායකයෝත් ආර්ථික විද්‍යාඥයෝත් අපට දේශනා කළහ. ඒ අනුව අතිකාල දීමනා මත ඇසෙම්බ්ලි ලයින් වල වැඩි කාලයක් ගත කිරීමට කම්කරුවන්ට සිදුවිය. නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම වෙලාවක් අවේලාවක් නොතකා වැඩට කැපවීම යුතුකමක් ලෙස සැලකිණ.

 එහෙත් අප දැන් ගත කරන්නේ නව ඩිජිටල් තාක්ෂණය, ජීවතාක්ෂණය සහ  භෞතිකතාක්ෂණයේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය පදනම් කරගත් තීරණාත්මකලෙස කෘත්‍රිම ඥානය හා ස්වයං ක්‍රියාකාරීත්වය යොදාගත හැකි අපූරු හතරවැනි කාර්මික විප්ලවයක එළිපත්තේය. නිෂ්පාදන ක්‍රියාවලිය තාක්ෂණය මත පදනම් වූ කෘත්‍රිම ඥානය මගින් මෙහෙයවීම හැරෙන විට එය ඉන් පෙර පැවති සියලු කාර්මික විප්ලව අභිභවා ජීවනෝපායක් වශයෙන් ‘වැඩ කිරීම’ සඳහා අප ගත කළයුතු කාලය  අවම කිරීමට එය දායක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. තාක්ෂණික දියුණුවත් සමග  ස්වයංක්‍රියව කටයුතු ඉටු කළ හැකි රොබෝ වරුන්ට වැඩපොළේ සහ ගේ දොර කටයුතු පැවරීමේ හැකියාව හැරෙන විට  හතරවැනි කාර්මික විප්ලවය ජීවනෝපායික විප්ලවයක් බවට පත්කරගත හැකි වන්නේ වැඩ කිරීමට ගත කළයුතු කාලය අඩුකර ගැනීමට දැනුවත් වැඩ පිලිවෙළක් දියත් කරගැනීමට අපට ඇති හැකියාව මතය. දින හතරක වැඩ සතියක් හඳුන්වාදීම දැන් සිටම තීරණාත්මක දේශපාලන ඉල්ලීමක් බවට පත්විය යුත්තේ එබැවිනි.

ධනවාදී ආර්ථික ක්‍රමය මෙන්ම රාජ්‍ය ඒකාධිකාරී සෝවියට් ක්‍රමය යටතේද වැඩ හෙවත් ශ්‍රමය උත්කර්ෂයට නැංවීම පොදු දෙයක් විය. මහන්සි වී වැඩකිරීම නිසා ශ්‍රම විරුවන් වශයෙන් අභිධාන ලත් අයගේ ඡායාරූප එකල සොවියට් ප්‍රචාරක සඟරාවල බහුලව දක්නට ලැබුණ දෙයක් විය. ජීවත් වීම සඳහා අප වැඩකළ යුතු බව මෙන්ම වැඩ කිරීම පිණිස අප ජීවත් වන්නේය යන අදහස අප තුළ පැල පදියම් කිරීමට ප්‍රයත්න දැරිණ. රැකියාවක් ලෙස කරන්නේ බිම ඇමදීමද නැත හොත් ආදායම් බදු වලින් ගැලවීමේ විධික්‍රම සම්බන්ධ කෛරාටික බදු උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීමද යන්න නොතකා ජීවනොපාය වශයෙන් අපට තෝරාගැනීමට සිදුව ඇති වැඩ කිරීම තුළ අර්ථයක් සොයා ගැනීමටත් ඒ මගින් වැඩ කිරීමේ තෘප්තිය, ආඩම්බරය ඇති කර ගැනීමත් ධනවාදය පමණක් නොව ඊනියා සමාජවාදයත් අපෙන් බලාපොරොත්තුවිය.

අනෙක් අතට අප කවුද යන්න නිර්ණය කිරීමේදීත් මහළුවිය විශ්‍රාමයෙන් ගත කිරීමේ හැකියාව තහවුරු කර ගැනීමේදීත්  අප වැඩිකාලයක් ගත කරන්නේ කිනම් ආකාරයක සගයන් සමගද යන්න සම්බන්ධයෙනුත් මෙන්ම අපේ වටිනාකම් හා නොවටිනාකම් හැඩ ගැස්වීමේලාත් ජීවනෝපාය වශයෙන් අප තෝරා ගන්නා රැකියාව වැදගත් වෙයි. එහෙත් බොහෝ දෙනෙක් වැඩට යන්නේ හැකි ඉක්මනින් නිවස බලා යායුතුය යන අභිප්‍රාය මත බව රහසක් නොවේ.  ඒ නිසා සතියෙන් වැඩි කොටසක් වැඩපොළෙහි ගත කිරීම කළ යුතුමදැ’යි අපට ඇසිය හැකිය ? ව්‍යවස්ථාපිත රජ පවුලක සාමාජිකයන් හැරෙන විට අනෙක් සියල්ලෝම රැකියාවක් මගින් ජීවනෝපාය සලසා ගැනීම සම්මුතියක් බවට පත්ව ඇති බව ඔබට නොවැටහෙන්නේදැ’යි කිසිවකු විසින් එවිට අපෙන් ඇසීමට ඉඩ තිබේ. රජ පවුල් හැරෙන විට පරම්පරාවෙන් සැලකිය යුතු ධනයක් උරුම  වූ අයටද එසේ නොවන අයට වඩා බෙහෙවින් අඩු කාලයක් වැඩ පොළක ගතකොට දරු පවුල් නඩත්තු කළ හැකි බව අප දනිමු. අනෙක් අතට හතරවන කාර්මික විප්ලවයත් සමග වැඩ කාර්යක්ෂමතාවය වැඩිවන්නේ වැඩ කිරීමට ගත කරන කාලය අඩු කිරීම මගින් නොවේ නම් සේවයේ නිරත වීම සම්බන්ධයෙන් ඒ කාර්මික විප්ලවය තුන්වැනි කාර්මික විප්ලවයට වඩා විශිෂ්ට වේයැයි සැලකිය නොහැකිය.

තාක්ෂණික දියුණුවත් සමග අද පවා අප වැඩ කරන ආකාරය සහ අප සේවයේ යොදවා ඇති කොන්දේසි සැලකිය යුතු ලෙස වෙනස් වීමකට ලක් වී තිබේ. එහෙත් දැනට පෙනෙන අන්දමට වැඩ කරන ජනතාවගේ පැත්තෙන් දැනුවත් සංවිධානාත්මක මැදිහත් වීමක් සිදු නොවුව හොත් නව ආරක වැඩවසම් ක්‍රමයක් ඇතිවීමේ අවදානමක් ද පවතී. බොහෝකොට ඩිජිටල් තාක්‍ෂණය සහ අන්තර්ජාලය යොදා ගෙන ක්‍රියාත්මක වන ආර්ථිකය තුළ දැනටමත් රැකියා නියුක්තිය යනු නිත්‍ය රැකියා වෙනුවට කෑලි ක්‍රමයට, තාවකාලිකව සහ කොන්ත්‍රාත් ක්‍රමයට, අවුට් සෝස් හෙවත් පිටස්තරින් වැඩ කරවා කිරීමට සහ මෑන්පවර් ක්‍රමයට  වැඩ කිරීමට සිදුවීමයි.  බලාපොරොත්තුවන සේවයේ ස්වභාවය විසින් වළක්වනු නොලබන්නේ නම් කාර්යාලයට හෝ සේවා ස්ථානයට භෞතිකව පැමිණ වැඩ කිරීම මේ ක්‍රමය යටතේ අවශ්‍ය නැත. ඒ වෙනුවට නිවසේ සිට අන්තර්ජාලය යොදාගෙන  වැඩ කිරීමට සේවකයන්  දිරිගන්වනු ලැබේ.  බැලු බැල්මටම මේ ක්‍රමයට අනුව රැකියාවල නම්‍යශීලී බවක් පෙනෙන නමුත් නිත්‍ය රැකියා වල ඇති වැටුප් සහිත නිවාඩු, විශ්‍රාම වැටුප් හෝ සෙවක අර්ථ සාධක අරමුදලට දායකත්වය, වෛද්‍යාධාර  හා රක්ෂණ ක්‍රම ආදියෙන් සිය සේවකයන්ට ප්‍රතිලාභ දීමෙන් සිය අභිමතය පරිදි වැළකී සිටීමට සේව්‍යයන්ට නොහොත් හාම්පුතුන්ට හැකිවේ. අනෙක් අතට නිරන්තරෙයන්ම අන්තර්ජාලය ඔස්සේ තම සේවය සැපයීමට සිදුවීම නිසා කාලයක් වෙලාවක් නොතකා සේවකයාගෙන් සේවය උකහා ගැනීමට සේව්‍යන්ට ඉඩ සැලසේ.

මෙම වෙනස්වීම් නිසා, බොහෝ විට රැකියා මාරු කිරීම, ඕනෑවට වඩා වැඩ කිරීමට සිදුවීම සහ රැකියා සුරක්ෂිතභාවය අවම වීම වැනි තත්වයන්ට මුහුණ දීමට සේවකයන්ට සිදුව තිබේ. වැටුප් ඇතුලුව රැකියාවෙන් ලැබන නිශ්චිත ආදායම අනිස්ථිර වීම නිසා මූල්‍ය අස්ථාවරත්වය මුහුණ දීමට සේවකයන්ට සිදුවේ. හැරත් නිශ්චිත වේලාවකින් තොරව කල නොකල නොතකා වැඩ කිරීමට සිදුවීම නිසා කලක් යන විට දැරිය නොහැකි වැඩ පීඩනයක්ද සේවකයාට එල්ල විය හැකිය.  සරලව කිවහොත් – මෙකී රැකියා අස්ථිරත්වය පාදක කරගත් ආර්ථිකය සේවකයන්ට තිරසාර රැකියාවක් ලබා ගැනීමට උදව් නොකරයි. එක්තරා ආතාරයකට එය වැඩ වසම් යුගයේ පැවති සේවා සැපයීම හා අනුරූපවේ.

නිත්‍ය මාසික වැටුපක් වෙනුවට කෑලි ක්‍රමයට දීමනාවක් ගෙවනු ලබන මෙවැනි රැකියා අයත්වන ආර්ථිකය හඳුන්වනු ලබන්නේ ගිග් ආර්ථිකය යන නමිනි. එවැනි ගිග් ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවලට එක් උදාහරණයක් වශයෙන් උබර් සමාගම යටතේ තම මොටර් රථය යොදා ගනිමින් මාසික වැටුපක් වෙනුවට චාරිකාවක් චාරිකාවක් පාසා ගෙවීමක් ලබන  කුලී රියැදුරෙකු වශයෙන් සේවයේ නිරත වන පුද්ගලයන් හැඳින්විය හැකිය.

බර කර්මාන්ත වල යෙදීමට සිදුවූ කාර්මික යුගයේ වැඩ දුෂ්කර වුවත් කම්කරුවන් තමන්ගේ රැකියාවට ඇති තැන ගැන දැන සිටියහ. කලක් ගත වූ පසු නිශ්චිත පැය ගණනක් සහිත වැඩ දිනයක් දිනා ගැනීමට ඔවුන්ට හැකිවිය. හැරත් අතිරේක වැඩ කාලය වෙනුවෙන් අතිකාල දීමනා ලබා ගත හැකි විය. ඔවුන්ට රැකියා කොන්ත්‍රාත්තුවක් තිබුණු අතර නිවාඩු, අසනීප නිවාඩු සහ විශ්‍රාම වැටුප් හෝ සේවා අර්ථසාධකද ලැබුණි. කල්තබා රැකියාව අවසන් කිරීමට සේව්‍යයාට සිදුවුවහොත් අවම වශයෙන් තුන්මාසයක වැටුප හෝ ඒ සමාන වන්දි ගෙවීමක් සේවයකයාට ගෙවිය යුතු විය. ඒ හැර වෘත්තීය සමිති වල සංවිධානය වීමෙ හැකියාව අනුව ඇති කරගත් කේවල් කිරීමේ බලය මත වඩා හොඳ රැකියා කොන්දේසි සහිත සාමූහික ගිවිසුමකට එළඹිමට සේව්‍යයන් පෙළඹවා ගැනීමේ හැකියාවද සේවකයන්ට හැකි විය. 

එහෙත් තාක්ෂණය උපයෝගී කරගෙන දුරස්ථව  ශ්‍රමය යොදා ගැනීමේදී  තවදුරටත් අර කී මූලික සේවා කොන්දේසි ලබා දීම මග හැරීමට සේව්‍යයන්ට බොහෝවිට හැකි වේ. මෙහිදී න්‍යායාත්මකව,  සේවකයාට නිදහස සහ නම්‍යශීලී බවක් ලබා දුන්නද, බොහෝ විට යථාර්තය වන්නේ ජීවනෝපාය වශෙයන් අස්ථිර රැකියාවක් ලැබීමයි. මේ ක්‍රමයට අනුව බොහෝ දෙනෙක් තම සේව්‍යයන් සඳහා පූර්ණ කාලීනව වැඩ කරන බවක් පෙනෙන්නට තිබුණත් සේව්‍යන් විසින් ඔවුන් වර්ගීකරණය කරනු ලබන්නේ නිදහස් සේවකයින් (freelance workers)ලෙසයි.

ඒ අනුව ඔබ නිදහස් සේවකයෙකු වන විට, නිවාඩු ගෙවීම් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් වැනි දේවල් ඔබට සැපයීමට  සේවායෝජකයා බැඳී නැත. එයින් අදහස් වන්නේ ඔබ පහසුවෙන් ඉවත් කළ හැකි බවත්, අතිරික්ත වැටුප් ලබා දීමට අවශ්‍ය නොවන බවත්ය. ඔබ කුඩාම වැරැද්ද කරන්නේ නම් – උදාහරණයක් වශයෙන් කොන්ත්‍රාත් වැඩ ක්‍රමය යටතේ ඔබ විසින් මෙහෙයවිය යුතු කුරියර් පැකේජයක් ප්‍රමාද වී පැමිණීම වැනි වැරදීමකදී – ඔබ එම ස්ථානයේදීම සේවයෙන් පහ කිරීමට ඔබේ සේව්‍යයාට හැකිවේ.

මේ සම්බන්ධයෙන් අදාළ උදාහරණ ප්‍රකට ඇමසන් සමාගමේ සේවා සංවිධාන ක්‍රමය විමසීමෙන් ලබා ගත හැකිය. ඇමසන් සමාගමේ ජනප්‍රියත්වයට මූලික හේතුවක් වන්නේ වෙළඳ සැලකට නොයා පහසු මිලකට ගෙදර සිටම ඔබට කැමැති ඕනෑම බඩුවක් අද අයදුම් කොට හෙට වන විට එය නිවසටම ගෙනවිත් දීමට ඇමසන් සමාගමට ඇති හැකියාවයි. ඇනවුම් කළ භාණ්ඩ අදාළ නිවසට ගෙන ගොස් බාර දීම සඳහා බෙහෝවිට යොදා ගැනෙන්නේ කොන්ත්‍රාත් ක්‍රමය අනුව වැඩ කරන තවත් සමාගමකි. මේ සමාගම් බොහෝවිට මෑන් පවර් සමාගම් වලින් රියැදුරන් සපයා ගනිති. කිසියම් භාණ්ඩයක් ප්‍රමාද වී භාරදීම ඇමසන් සමාගමේ කීර්තියට හානි කර වරදක් ලෙස සැලකෙන බැවින් ප්‍රමාද වීමේ වැරැද්ද මෑන් පවර් සමාගම් වලින් ලබාගත් සේවකයන්ට පවරා ඔවුන් සේවයෙන් ඉවත් කර සිය ගණුදෙනු කරුවන් තෘප්තිමත් කිරීමට ඇමසන් වැනි සමාගම් වලට හැකිය.  ඇමසන් සමාගම පමණක් නොව ගණුදෙනු කරුවන්ගේ පහසුව තකා පාරිභෝගික ද්‍රව්‍ය හා ආහාර ආදිය නිවසටම සපයන බොහෝ සේවා සපයන්නන් කටයුතු කරන්නේ ඒ ආකාරයෙනි.

මේ ක්‍රමයේදී රැකියා නියුක්තිකයින් වැඩිපුරම ඔවුන්ගේ සේවා ස්ථාන සමඟ අන්තර්ජාලය හරහා සන්නිවේදනය කරන හෙයින්, ඔවුන්ට “සැමවිටම ක්‍රියාත්මක වී සිටිමේ” මානසිකත්වයක් ඇත. ඔවුන් සැමවිටම පාහේ සේවා ඇමතුමක යෙදී සිටී. එබැවින් ඔවුන්ගේ ශ්‍රම කාලය සහ නිදහස් කාලය අතර වෙනස අතුරුදහන් වී යයි. පොතක් පතක් කියවීමට, ව්‍යායාමයක් වශයෙන් හෝ ඇවිදීමට, ගීතයක් සංගිතයක් විඳ ගැනීමට, චිත්‍රපටයක් නැරඹීට, හිත මිතුරු සම්භාෂණයක යෙදීමට, බිරිඳ හා දූ දරුවන් සමග ගත කිරීමට ඔවුන්ට ලැබෙන කාලය ඒනිසා අවම කිරීමට හෝ එවැනි සමාජ සම්බන්ධතා මුලුමනින්ම නොතකා හැරීමට එකී මානසිකත්වය සේවකයාට බල කරයි.  

ඒ අතර දිනෙන් දින ඉහළ යන ජීවන වියදම නිසා ගැටළුව උග්‍ර වේ. බොහෝ අයට එක් රැකියාවක් කිරීමෙන් පමණක් තම වියදම පිරිමසා ගැනීමට නොහැකිවේ. අස්ථිර පදනම් මත කෑලි ක්‍රමයට වැඩ කළ හැකි තැන්වල ඇති ඇබෑර්තු සොයමින් වෙහෙස වීමට සේවකයන්ට සිදුවේ.

අපේ සමාජය අවධානය යොමු කර ඇත්තේ අපට අවශ්‍ය දේ වහාම ලබා ගැනීම සහ හැකි තරම් ලාභදායි ලෙස නිවසට ගෙන්වා ගැනීමයි. එයින් අදහස් වන්නේ කොතැනක හෝ කම්කරුවෙකු ඒ සඳහා මිල ගෙවන බවයි. ඇමසන් උදාහරණයේ දී, බොත්තමක් ක්ලික් කිරීමෙන් ඔබේ පැකේජය දිනකින් ඔබට ලබා දීමට බොහෝ කම්කරුවන් රැකියා අනාරක්‍ෂිතතාවයෙන්,  අඩු වැටුපෙන් මෙන්ම විශාල ආතතියකින් ද පීඩා විඳිති.

කෑලි ක්‍රමයට වැඩ කිරීම, මෑන් පවර් ආයතන ඔස්සේ සේවයේ යොදා ගැනීම වැනි තත්වයන් නිසා අද එකල මෙන් සේවා කොන්දේසි වැඩිදියුණු කිරීමට කම්කරු ශ්‍රමය සංවිධාන ගත කරගැනීම අසීරුය.  එකල වෘත්තීය සමිති පිහිටුවීම හෝ සාමූහික වැඩ වර්ජන නිසා කම්කරුවන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුන්කම් දීමට හාම්පුතුන්ට සිදුවිය. එසේ සංවිධානය වීමේ හැකියාව නිසා නිදසුනක් වශයෙන්, එක්සත් රාජධානියේ, දහනව වන ශතවර්ෂයේ අග භාගයේ කම්කරුවන්ට කම්කරු පක්ෂය නමින් දේශපාලන පක්ෂයක්ද පිහිටුවිය හැකි විය. බලය ලබාගත් පසුව එයට වැඩදායක පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා නීති සම්පාදනය කිරීමටද හැකිවිය. මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය, අවම වැටුප සහ අඩු වැටුප් සහිත කම්කරුවන් සඳහා බදු බැර කිරීම් හඳුන්වා දුන්නේ එකී කම්කරු පක්ෂය විසින් පිහිට වූ  ආණ්ඩු යටතේය.

 ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගත් සේවා සැපයුම් මත පදනම් වූ සමාගම් වල ශ්‍රම දායකත්වය සම්ප්‍රදායික සමාගම් වලට වඩා බෙහෙවින් වෙනස්ය. ගූගල්, ෆේස්බුක්, ට්විටර්, ආදී දැවැන්ත සමාගම් වල ව්‍යා. පාර කටයුතු රැදී පවතින්නේ ඒවායේ පාරිභෝගිකයන් විසින් ස්ව කැමැත්තෙන් එකී ජාලගත වේදිකා උපයෝගි කරගන්නා ප්‍රමාණයට අනුවය. උදාහරණයක් ලෙස ඔබ ෆේස්බුක් සඳහා ඇබ්බැහි වන ප්‍රමාණයට අනුව සහ ඔබ එයට ස්වේච්ඡාවෙන් ලබාදෙන දායකත්වය මත ෆේස්බුක් ආයතනයේ වෙළඳ ප්‍රචාර සේවා ව්‍යාපාරික කටයුතු රඳා පවතී. ඔබ විසින් නොමිලේම එකී සමාගම් වලට ලබා දෙන මේ දායකත්වය එක් ආකාරයක ස්වයං සූරාකෑමක් (self-exploitation) වශයෙන්ද හැඳින්විය හැකිය. 

මෙම ආයතනික දැවැන්තයින් බොහෝ දෙනෙකුට ඉතා ඉහළ වැටුප් හා පාරිතෝෂික ලබන ඉහළ විධායකයන් සිටිති. එහෙත් ශ්‍රම කටයුතු සඳහා යොදාගන්නා අවශේෂ සේවකයන් යනු හුදු මෙවලම් පමණි. රැකියාවේ ඩිජිටල් ස්වභාවය නිසා සේවා සැපයීම සඳහා යොදා ගන්නා අවශේෂ සේවකයන් වෙන කවරදාටත් වඩා සුපරීක්‍ෂණයට හා ඇගයීමට ලක් වේ. උදාහරණයකට උබර් සමාගමට තමන් සඳහා ඕනෑම වෙලාවක සේවය සැපයීමට සූදානම් ස්වෙච්ඡා රියැදුරන් දුරස්ථව සුපරීක්ෂණයට ලක් කළ හැකිය. මෙවැනි සමාගම් වලට සමස්ත ශ්‍රම බලකාය වුවද විරුද්ධත්වයක් ඉදිරිපත් කිරීමට පෙර,  වහාම ඉවත් කළ හැකිය. උබර් ක්‍රමයට සේවය සැපයීමේදී අවදානම ගන්නේ උබර් සමාගම නොව රියැදුරාය. බ්‍රිතාන්‍ය තුළ උබර් සමාගම විසින් සේවයට යොදාගන්නා රියැදුරුන්ට අනෙකුත් සේවකයන්ට  ලැබෙන විශ්‍රාම පාරිතෝෂික, නිවාඩු ආදී කම්කරු අයිතීන් ලැබිය යුතුයැයි බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය මෑතදී දුන් තීන්දුව මේ තත්වය කිසියම් දුරකට වෙනස් කිරීමට හේතුවනු ඇතැයි සිතිය හැකිය.

ඉහතකී අවිධිමත් සේවා නියුක්ති ක්‍රම යටතේ සේවකයන් වැඩට යොදා ගැනීම නව වැඩවසම්වාදී ක්‍රමයක ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ ක්‍රමය යටතේ විශේෂයෙන්, අතළොස්සක් පාලකයින් – එනම් ප්‍රධාන විධායක නිලධාරීන්, ආරම්භකයින් සහ ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ කොටස් හිමියන් – ඒ නව වැඩවසම්වාදයේ නව ප්‍රභූ පැලැන්තිය ලෙස සැලකිය හැකිය. අද බොහෝ කම්කරුවන් මුහුණ දෙන වැඩට කාලයක් වේලාවක් නැති අස්ථිර රැකියා ක්‍රමය වෙනුවට හැමට සිව් දින වැඩ සතියකට යටත්ව ගිවිසුම් ගත ස්ථිර රැකියා අයිතිය තහවුරු කිරීම තාක්ෂණික දියුණුවේ ඵලය සේවක තෘප්තිය සහ රැකියා සුරක්‍ෂිතතාව වැඩි කිරීමට යොදාගත යුතුය.

ඇත්ත වශයෙන්ම අප වඩා උනන්දු විය යුත්තේ තාක්ෂණය යොදාගෙන දුරස්ථව වැඩ කරන සේවකයන්ට ද උබර් ක්‍රමයට වැඩකරන සේවකයන්ටද ආයතනිකව වැඩ කරන සේවකයන් හා සමාන සේවා කොන්දේසි මත වැඩ කිරීමට සැලැස්වීමයි. මෙහිදී දිනකට වැඩ කළ යුතු පැය ගනන හා සතියකට සේවය කළ යුතු උපරිම දින ගණන සේවා කොන්දේසි යටතේ අනුල්ලංඝනීය  ලෙස ස්ථාපිත කිරීම සමාජයීය වශයෙන් වැදගත්ය.  සතියකට වැඩ කළ යුතු උපරිම දින ගණන තීරණය කිරීමේ දී දැනට පවතින දින පහක සතිය වෙනුවට දින හතරක සතියක් හඳුන්වා දීම වඩා ඵලදායී වීමට එක් හේතුවක් වන්නේ එයයි. කොටින්ම නිශ්චිත වැඩකරන කාලයක් ගැන එකඟත්වයක් නොමැති නිවාඩු හා විශ්‍රාමික වැටුප් පිළිබඳ සහතිකයක් නොමැති රැකියා ගිවිසුම් මත වැඩට යොදාගැනීම අවලංගු කිරීමට  අප කටයුතු කළ යුතුය. වැඩ කිරීමේ ක්‍රමවේදය දුරස්ථව හෝ ආයතනට පැමිණීම යන දෙකෙන් කිනම් ආකාරයකින් ඉටු කිරීමට සිදු වුණවද එය දිනකට පැය අටේ උපරිමයට හා දින හතරක වැඩ සතියකට සීමා විය යුතුය.  කෘතිම ඥානය දියුණු කර ගැනීමත් සමග මේ ප්‍රමාණය තව තවතචත් අඩු කර ගැනීමට අපට හැකි විය යුතුය.

දැනට පවතින පැය 40 ක වැඩ සහිත දින පහේ සතිය හඳුන්වා දීම ඇරඹුනේ 1938 ෆැන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරයා ගේ පාලන සමයේ ඇමෙරිකාවේ නීති ගත වූ ශ්‍රම ප්‍රමිති පිළිබඳ පනත යටතේය. එකල  පැවති ආර්ථික අවපාතය නිසා රැකියා වියුක්තිය ඉහළ යාම වළක්වා ගැනීම ද එම තීරණයේ එක් අරමුණක් විය. ඊට පෙර 1926 දී දින හයේ වැඩ සතිය වෙනුවට පැය 40ක් සහිත දින පහේ වැඩ සතියක් හෙන්රි ෆෝඩ් සිය ෆෝඩ් මෝටර් රථ කර්මාන්ත ශාලාවට හඳුන්වා දුන්නේය. ඔහුගේ අරමුණ වූයේ අමෙරිකානු පාරිභෝගික සමාජය ඒ මගින් පුළුල් කිරීමයි.  ඒ සම්බන්ධයෙන් වර්ල්ඩ් වර්ක් නමැති සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින්  “වර්ධනය වෙන පාරිභෝගික සමාජයකට විවේක සුවය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මොකද මිනිස්සුන්ට මෝටර් රථ ඇතුළු පාරිභෝගික භාණ්ඩ සොයා බලා මිළට ගැනීමේ කටයුතු කරන්න ප්‍රමාණවත් කාලයක් තියෙන්න ඕනෑ” යනුවෙන් හෙන්රි ෆෝඩ් පැවසීය.   

ඒ වන තෙක්ම ලොව පුරා සම්මුතිය වූයේ ඉරිදා හැර සතියේ අනෙකුත් දින සියල්ල වැඩ කරන දින වශයෙන් සැලකීමයි.  එහෙත් 20 වන සිය වස මුල් බාගයේදී වැඩ සතිය අවම කර ගැනීම සහ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම ගැන ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබුණි. උදාහරණයක් වශයෙන් “ තව ශත වර්ෂයක් තුළ සතියකට වැඩ කළ යුතු කාලය අපට පැය 15කට සීමා කළ හැකිවෙතැ’යි මම විශ්වාස කරමි” යනුවෙන්1930 මැඩ්රිඩ් නගරයේදී දි  ආර්ථික විද්‍යාඥ ජෝන් මේනාඩ් කේන්ස් කළ ප්‍රකාශය උපුටා දැක්විය හැකිය. 1960දී අමෙරිකාවේ කොන්සරවේටිව් චින්තන පර්ෂදයක් ලෙස සැලකෙන  රාන්ඩ් කොපරේෂන් ආයතනය අනාගත ආර්ථිකය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවකට අනුව අමෙරිකානු සමාජයේ අවශ්‍යතා පිරිමැසීමට ඇත්ත වහයෙන්ම අවශ්‍යවන්නේ දැනට ඇති සේවා නියුක්තිකයන් 2%ක් පමණි.  

එහෙත් 1980 වන විට වැඩකිරීමේ පැය ගණන අඩු කිරීම නතරවී තිබුණි. නව ලිබරල්වාදී ආර්ථික වර්ධන වේගය වැඩිකිරීමේ ක්‍රමෝපාය තුළ වැඩි වැඩියෙන් වැඩ කිරීම උත්කර්ෂයට නැංවින. පාරිභෝජනය වැඩි වූ නමුත් වර්ධන වේගය වැඩිවීම නිසා සේවකයන්ගේ විවේක කාලය වැඩි නොවීය. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල වැඩ කරන කාලය නොවෙනස්ව පැවතුන නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩ කරන කාලය ඇත්ත වශයෙන්ම වැඩි වූ බව රට්ගර් බ්‍රෙග්මාන් සිය Utopia for Realists නමැති කෘතියේ සඳහන් කරයි. ඒ අනුව ආර්ථික වර්ධනය වැඩිවීම කේන්ස්ගේ අනාවැකිය සනාථ කිරීමට අසමත් විය.

වඩා මෑතක 2008 ගෝලීය ආර්ථික අර්බුධය හමුවේ ජර්මනිය සිය රටේ සේවකයන් සේවයෙන් පහ කිරීමට හාම්පුත්න්ට ඉඩ දෙනවා වෙනුවට ‘Kuzarbeit’ නමින් හැඳින්වූ වැඩ ක්‍රමයක් හඳුන්වාදෙමින් සතියකට වැඩ කළ යුතු පැය ගණන අඩුකළේය, ඒ අනුව කලින් වැඩ කළ කාලයට වඩා අඩුකාලයක් වැටුප් සහිතව සේවය කිරීමට සේවකයන්ට අවස්ථාව ලැබුනු අතර එසේ වැඩ කාලය අඩු කිරීම නිසා ඔවුන්ට වැටුපෙන් 60% ක් පමණක් හිමිවිය. ඒ අනුව නොයෙකුත් අරමුණු සඳහා වැඩ කරන කාලය අඩුකීරීමේ යෝජනා ක්‍රියාත්මක කර තිබේ. උදාහරණයක් වශයෙන් කොවිඩ්-19 වසංගත සමයේ වැඩ කිරීමේ ක්‍රමය හා කාලය අඩු කිරීමට කටයුතු යොදන ලද්දේ වසංගතය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙසය.

එහෙත් ඇත්තටම දින හතරක වැඩ සතිය හඳුන්වා දිය යුත්තේ ඊට වඩා පුළුල් සමාජ අරමුණක් සහිතවය. තමන්ට සහ තම පවුලට ජීවත් වීමට සරිලන ආදායමක් ලබා ගැනීම පිණිස සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් කැපකිරීමට සිදුවන සේවකයන්ට ජීවිතය විඳ ගැනීමට ලැබෙන කාලය බෙහෙවින් අඩුය. වර්තමානයේ එය බොහෝවිට සතියකට දින දෙකක සති අන්තයකට සීමා වී තිබේ. එහෙත් විවේක ගැනීමට, ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමට, අධ්‍යාපනික හෝ නිර්මාණශීලී කටයුත්තක යෙදීමට හෝ වෙනත් අවශ්‍යතා සහ අභිලාෂයන් ඉටුකර ගැනීමට අමතර දිනයක් සමඟ දින හතරක වැඩ කරන සතියක් මගින් ශ්‍රම බලකායේ. සාමාන්‍ය යහපැවැත්ම සහ රැකියාව පිළිබඳ ආකල්ප බෙහෙවින් වැඩි දියුණු කළ හැකිය. දින තුනක සති අන්තයක් සමග ප්‍රමාණවත් විවේකයක් ලැබෙන, තෘප්තිමත් ශ්‍රම බලකායක් වඩාත් ඵලදායී වේ.

වර්තමාන දින පහේ වැඩ සතියක කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් සලකා බැලුවොත් පැය 8 ක වැඩ දිනයෙන් ඵලදායක වැඩ කොටසක් ඉටුවීම පැය 1.5 සිට 2.5 දක්වා අතර ප්‍රමාණයකට සීමා වන බව කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ සිදු කළ සමීක්ෂණ උපුටා දක්වමින් වරක් එකොනොමිස්ට් සඟරාව වාර්තා කළේය. ඒ නිසා වැඩ කරන දින ගණන අඩු කොට සේවක තෘප්තිය වැඩි කිරීම මගින් කාර්යක්ෂමතා ඵලය වැඩිකිරීමට හැකි විය යුතුය.

ඇත්ත වශයෙන්ම වැඩ කරන කාලය අඩු කරගැනීම බොහෝ සෙවකයන්ගේ අභිප්‍රායයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති සමීක්ෂණයකදී වැඩකරන අය වඩා කැමැති අමතරව දෙසතියක වැටුපක් ලබා ගැනීමටද නැතෙහාත් අමතරව දෙසතියක නිවාඩුවක් ලබා ගැනීමටදැයි විමසු විට දෙගුණයකට වැඩි ප්‍රමාණයක් කැමැත්ත දැක්වූයේ දෙසතියක අමතර නිවාඩුව ලබා ගැනීමටයි.

රැකියාවෙන් පිටත වැඩි කාලයක් ගත කිරීමට සේවකයන්ට ඉඩ ලැබීම ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට හිතකර බලපෑමක් ඇති කරයි. දින හතරක වැඩ සතියක් ඔවුන්ට ව්‍යායාම කිරීමට, කියවීමට, පිසීම, දූ දරුවන් හා හිතමිතුරුන් සමග සාමීචියේ යෙදීමට හෝ ඕනෑම විනෝදාංශයකට හෝ පෞද්ගලික අභිලාෂයන් වෙත ආපසු යාමට වැඩි අවස්ථාවන් සලසනු ඇත. වැඩ කරන කාල සීමා අඩු කිරීම වැඩ පළවල් තුළ ඇතිවිය හැකි අනතුරු අඩුකිරීමේ සිට වැඩ කිරීමේ ආතතිය අඩු කිරීම සහ කාන්තාවන්ගේ විමුක්තියට දායකත්වය වීම දක්වා ප්‍රතිලාභ රැසකට හේතුවනු ඇත. ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පිළිබඳ දර්ශක අනුව ඉහළින් සිටින්නේ වැඩ සතිය අඩු කිරීමට කටයුතු කර ඇති රටවල් බව Utopia for Realists ග්‍රන්රතයේ කතෘ රට්ගර් බ්‍රෙග්මන් පෙන්වා දෙයි. පුරුෂයන් වැඩ පොළේ ගත කරන කාළය අඩුවීම යනු නිවසේදී සිය සහකාරියට සහයවීමට පුරුෂයන්ට ලැබෙන කාලවේලාව වැඩි වීමකි.

මෙසේ වැඩ කරන සතිය අඩු කිරීමේ විකල්පය සේවකයින්ගේ ජීවිත වැඩිදියුණු කරන අතරම, සේවක තෘප්තිය වැඩිවීම ආයතනයේ සේවකයන් අතර සහයෝගය ඉහළ මට්ටටමකින් පවත්වාගෙන යාමටද හේතුවනු ඇත. . දින හතරක ආකෘතිය දෘඩ වැඩ කිරීමේ විධිවිධාන ඇති අයට වඩා ඵලදායී වනු ඇත.

දින හතරක වැඩ සතිය හඳුන්වාදීම නිසා නිශ්පාදන ධාරිතාවය අඩුවිය හැකියැයි මැසිවිලි නැගෙන්නට බැරිකමක් නැත. අපගේ වර්තමාන ධනවාදී ආර්ථික ආකෘතියේ සියලු අඩුපාඩුකම් තිබියදීත්, ව්‍යාපාර හිමියන් සහ සමාගම් තවමත් අතිමහත් බහුතරයකගේ ජීවනෝපාය සඳහා වගකිව යුතුය – අවම වැටුප් ශ්‍රේණියේ සිට කොටස් හිමියන් දක්වා ආදායම් සැපයීමේ සිට සෞඛ්‍ය ආරක්ෂණ, යටිතල පහසුකම්, පාසල් සහ පොදු පහසුකම් පවත්වාගැනීම සඳහාත් සමාජයේ බොහෝ අවශ්‍යතා වලට අරමුදල් සපයන බදු පදනම සැපයීම ඔවුන්ගේ වගකීමයි. ඒ නිසා දින හතරක වැඩ සතිය ව්‍යාපාරයට වාසියක් මිස පාඩුවක් නොවන බව වය්‍යාපාර හිමියන්ට ඒත්තු යායුතුය. 2019 බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී  ලේබර් පක්ෂයේ එක මැතිවරණ පොරොන්දුවක් වූයේ ලේබර් ආණ්ඩුවක් බලයට පත්වුවහොත් දශකයක් තුළ සතියකට වැඩකරන පැය ගණන 32 දක්වා අඩු කොට දින හතරක වැඩ සතියක් හඳුන්වා දී මට කටයුතු කරන බවයි. එහෙත් එම යෝජනාව ආර්ථික සමුර්ධිය කඩාකප්පල් කරන්නක් වන බව කොන්සර්වේටිව් පාක්ෂිකයන් චෝදනා කළේය. 

කෙසේවෙතත් 2020 කෝවිඩ්-19 වසංගතය නිසා උද්ගත වූ ආර්ථික අර්බුධයට මුහුණ දීම සඳහා දින හතරක වැඩ සතිය ප්‍රයෝජනවත් විය හැකි බව ඇතැම් කොන්සර්වේටිව් පාක්ෂිකයන්ද මත පළ කරන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව ද්විපාර්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රීන් කණ්ඩායමක් ද ඇතුලත් විද්වතුන් පිරිසක් 2020 ජුනි මාසයේදී ලිපියක් ලියමින් දින හතරක වැඩ සතිය හඳුන්වාදෙන ලෙස කොන්සර්වේටිව් ආණ්ඩුවේ චාන්සලර්වරයාගෙන් ඉල්ලා සිටියේය. “ආර්ථිකය මූලික වශයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වැඩ කිරීම වඩා සම ලෙස බෙදීයාමට හැකිවන ලෙස දින හතරක වැඩ සතියක් හඳුන්වා දීම ඉතාමත් හොඳ යෝජනාවක් බව අපි සලකමු” යනුවෙන් ඔවුහු සිය ලිපියේ සඳහන් කළහ. ඇතැම් සමීක්ෂණ වලට අනුව බ්‍රිතාන්‍යයේ වැඩ කරන ජනයා අතරින් 75%ක් දින හතරක වැඩ සතියකට කැමැත්ත පළ කරති.

බ්‍රිතාන්‍යයයේ ද වැඩ සතිය අනුක්‍රමයෙන් අඩුවූ එකකි. 1946 සිට 1979 දක්වා බ්‍රිතාන්‍ය සතියකට පැය 46ක් වැඩ කරන රටක් වූ අතරපැය 40ක වැඩ සතියක් හඳුන්වා දෙනු ලැබුවේ 1979 සිටය.  ඒ නිසා නිෂ්පාදන ධාරිතාවය අඩුවු බවට කර්මාන්ත හිමියන්ගෙන් මැසිවිලි නැගුණු බවක් වාර්තා නොවීය. වැඩ හා සැපයුම් දාම ප්‍රතිසංවිධානය, තාක්ෂණය යොදා ගැනීම නිසා ඇතිවෙන වාසිය නිසා වැඩ කරන පැය ගණන පමණක් නොව දින ගණනද අඩු කිරීම නොකළ හැක්කක් නොවේ. 

දින හතරක වැඩ සතිය හඳුන්වාදීම මගින් ඇත්ත වශයෙන්ම ඇතිවිය හැක්කේ ආර්ථිකය මර්ධනය වීමකට වඩා වර්ධනය වීමකි. සති අන්තය දීර්ඝවීම නිසා විනෝදය හා විවේකය සඳහා ලැබෙන අතිරේක කාලය උපයෝගි කරගත හැකි අන්දමට දේශීය සංචාරක කර්මාන්තය හා විනෝදය, විවේකය ආශ්‍රිත ආර්ථික කර්මාන්තවල වැඩිදියුණු වීමක් බලාපොරොත්තුවිය හැකිය. ඒ හැර නිර්මාණාත්මක කටයුත්තක යෙදීමට වැඩිදුර අධ්‍යාපනයක නිරත වීමට වැඩි වැඩියෙන් අවස්ථාවන් ලැබීම මානව සම්පත් වර්ධනයටද උත්තේජනයක් විය හැකිය. දින හතරක වැඩ සතිය අධ්‍යාපනය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමෙන් දැනට වඩා වැඩිකාලයක් පවුලේ සාමාජිකයන් සහ ප්‍රජාමිතුරන් සමග ගත කිරීමටත් ක්‍රීඩාකිරීමටත් ළමයින්ට සහ යෞවනයන්ට ලැබෙන කාලය වැඩිවේ. ්

ඒහැර තවත් වැදගත් පැතිකඩක් වන්නේ නිර්කාබනික ආර්ථිකයක් කරා යොමුවිමේදී අහිතකාරී දේශගුණ විපර්යාස වලට තුඩුදෙන හරිතාගාරවායු විමෝචනය අඩු කිරීම සම්බන්ධයෙන්ද දින හතරක වැඩ සතියක් මගින් ලැබෙන දායකත්වය ඉමහත්වීමයි. ආයතන සහ කාර්යාල කටයුතු සදහා අවශයවන බල ශක්තිය සැලකිය යුතු යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමටද, ගමනා ගමන අවශය්‍යතා සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය අඩුවීම නිසාද පාරිසාරික වත්කම්ද අතුළත්විය යුතු සමස්ත ආර්ථිකයට ලැබෙන වාසිය ඉමහත්ය. නව ආර්ථික දැක්මක් තුළ ධරණීය සංවර්ධනයකට මානවයාට හිතකර පරිසරයක් පවත්වාගෙන යාමට යොදන වැදගත් ආයෝජනයක් වශයෙන් දින හතරක වැඩ සතිය සැලකිය යුතුය.

සුවිශාල නගරයක, දින හතරක සතියක් හඳුන්වා දීමෙන් අදහස් වන්නේ මාර්ගයේ වාහන සංඛ්‍යාව ක්ෂණිකව අඩු කිරීමයි. සති අන්තය දිනකින් වැඩි කිරීම යනු රැකියා වියුක්තියකින් තොරව සේවක සංඛ්‍යාව සියයට 20 කින් අඩු කිරීමකි.  සමීක්ෂණ වලින් ගණන් බලා ඇති පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 29 ක් පමණ උද්ගතවන්නේ ප්‍රවාහනයෙනි. එබැවින් දින හතරක සතිය සම්මත කර ගැනීමෙන් අදහස් වන්නේ වායු විමෝචනය අඩු වීමක් වන අතර එය එක්සත් ජනපදයේ පමණක් මෝටර්රථ මිලියන 10 ක් මාර්ගයෙන් ඉවත් කිරීමට සමාන වේ! යැයි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මානව සම්පත් පිළිබඳ අධ්‍යනය පිළිබඳ ආචාර්ය ඩේවිස් පෙන්වා දෙයි. “රැකියාවට නොපැමිණීම ඔබට තනි සේවකයෙකු ලෙස පාරිසරය සුරැකීම සඳහා කළ හැකි දේවලින් හොඳම එකක් විය හැකියැ’යි ඩේවිස් පවසයි.”

ජීවත්වීම සඳහා ජීවනෝපායක් තිබීම හැම කල්හිම පැවති අවශ්‍යතාවයකි. එම ජීවනෝපායන් වක්‍ර හෝ සෘජු ලෙස භාණ්ඩ හා සේවා සැපයීමේ කටයුත්ත ඉටු කිරීමට අත්‍යවශ්‍ය බවට කෙරෙන තර්කයේ ඇත්තක් තිබිය හැකි නමුත් තාක්ෂණය වැඩි දියුණු වීමත් සමග වැඩ කිරීම සඳහා මිනිස් ශ්‍රමය යොදා ගැනීමට අවශ්‍ය කරන කාලය අවම නොකිරීමට එය හේතුවක් නොවිය යුතුය. රැකියාවක නිරත වීමට යෙදිය යුතු කාලය අවම කිරීම යනු වඩා පරිපූර්ණ ජීවිතයක් විඳ ගැනීමට සේව්‍ය සේවක දෙගොල්ලන්ටම වැඩි කාලයක් ලබා දීමකි. 

විජයානන්ද ජයවීර

2021 මැයි 01

COVID-19 සිද්ධීන් පිළිබඳ වර්තමාන දත්ත රටේ සැබෑ තත්වය නොපෙන්වයි !

0

රසායනාගාරවලින් දැනට නිකුත් කරමින් ඇති PCR පරික්ෂණ ප්‍රථිපල ලබා ගැනීම සඳහා සැලකිය යුතු ප්‍රමාදයක් පවතින බැවින් දැනට වාර්තා වී ඇති සිද්ධීන් සමඟ රටේ සත්‍ය COVID-19 සෑබෑම තත්ත්වය පිළිබිඹු නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කියා සිටි
“දැනට වාර්තා වී ඇති අසාදිතයන් ගණන දළ වශයෙන් දින හතරකට පෙර නිකුත් කරන ලද PCR පරික්ෂණ වල ප්‍රථිපලයන්ය.

COVID-19 අදාලව රටේ ඇත්ත තත්වය පිළිබඳව අපට අදහසක් ලබා ගැනීමට නම්, නිසි යාන්ත්‍රණයක් සැකසීම අත්‍යවශ්‍ය වේ එසේ කළහොත් පමණක් රසායනාගාරවලින් PCR ප්‍රතිපලයන් ල ඉක්මනින් මුදා හැරීමට හැකි වේ ”යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කරන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

“රටේ වර්තමාන වසංගත තත්ත්වය රසායනාගාරවල PCR ප්‍රතිපල මගින් පෙන්වන දෙයට වඩා භයානක ය. එබැවින්, PCR ප්‍රතිපල කඩිනමින් මුදා හැරීම පහසු කරවන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් අදාළ පියවර ගත යුතුය.

තවද, කිසිදු හේතුවක් නොමැතිව පිටත නොයන ලෙසත් විශාල පිරිසක් එක්රැස් නොවන ලෙසත් උපුල් රොහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය

. “ජනතාව ඉතා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. එසේ නොවුවහොත්, තත්වය සීමාවෙන් ඔබ්බට යන තැනකට රට ඇදගෙන යා හැකිය, ”ඔහු අනතුරු ඇඟවීය.

පසුගිය දින තුන තුළ රට තුළ දිනකට COVID-19 රෝගීන් 1,500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ

ඉතාලියේ ඉදන් අගොස්තුවේ ලංකාවට එන්න බලන් හිටපු අපේ හීන උදුරගත්තේ කව්ද ?

අද රට මුහුණ දිල තියෙන ඇත්ත ප්‍රශ්ණය තමයි රට කරවන්න සැලැස්මක් නැතිකම විදේශ විනිමය නැතුව , ඩොලර් නැතුව දැන් එක එක බයිල කියනවා.
නින්දෙන් ඇහැරුනා වගේ එකපාරටම කියනව රසායනික පොහොර එපා . ලෝකේ තියෙන එකම කාබනික රට කරනවලු.



එහෙම කරන්න පුලුවන් නමහොදයි .හැබැයි පොඩි එකෙකුට උනත් තේරෙනවා එහෙම කරන්න බැ කියල.
පොහොර කතාවේ ඉදන් ලංකාවට අද ගෙන්නේ නෑ කියල කියන හුගක් දේවල් එක්ක ගැටගැහිල තියෙන්නේ ලංකාවට විදේශ විනිමය නැතිකම.
පිස්සන්ට හැතැම්ම නෑවගේ තමයි රටේ වැඩත්.

කොහොම හරි කට්ට කාගෙන ඉතාලියේ අවුරුදු ගණන් ඉදල විදේශ විනිමය කෝටි ගණන් එවපු ලංකාවේ අපට විරුද්ධව මතකනේ ලංසලයි එයාගේ චිත්ත සෙට් එකයි ඉල්ලපු ගේම .
ඒ පටන් ගැන්ම.

එදා ඉදන්ම කලේ කෙණහිලි කම් .

කොහොම හරි ගිය අගොස්තුවෙත් ලංකාවට ඒ ගන්න බැරිවුන අය මේ අගොස්තුවේ හරි එන්න ඕන කියල පුදුම ආශාවකින් හිටියත් මේ රටේ පාලකයන්ගේ සැලැස්මක් නැති කම හින්ද වගේ මේ රටේ මිනිස්සුන්ගේ විනයක් නැතිකම හින්දම රට ආයෙමත් ලොකු පඹ ගාලක පටලලා.

ගැලවිමක් පේනතෙක් මානයක නැ.

අපට තියෙන දුක මේ සංගෙකට නැති පාලකයෝයි විනයක් නැති බුවාලයි හින්ද අම්මල තාත්තලව නෑයන්ම පවුල්වල අයව බලන්න එන්න හිටපු අපේ හීන උදුර ගත්තු එක ගැන…

එහෙම කරපු උන්ට හොදක් නම් වෙන්න එපා
තක්ෂිලා ප්‍රනාන්දු – පාදුවා

සති දෙකක් තුල මීගමුවෙන් කොරෝනා රෝගින් 60 ක් !

0

(NEGOMBO) -පසුගිය මස 17 වෙනිදාන් පසුව මේ දක්වා මිගමුවෙන් හමුවි ඇති කොරෝනා රෝගින් ගණන 60 ක් පමණ වන බව වාර්තා වේ .
මේ අයගෙන් 16 දෙනෙකු වාර්තා වන්නේ පිටිපන තලාහේන පේරුවෙනි.
ඉනුත් 12 දෙනෙකු වාර්තා වි ඇත්තේ ප්‍රධාන ලෙල්ලම් කිපය පිහිටා ඇති උතුරු පිටිපන සහ මැදපිටිපන යන කලාපයේය
මේ බව වාර්තා වි තිබුනේ අද මිගමුව මහනගර සභාවේ කොරෝනා පාලනය පිළිබදව පැවැති විශේෂ රැස්විමකදිය.
මිගමුවේ ප්‍රධානතම මාළු ලෙල්ලම් වලින් 3 ක්ම පිහිටා ඇත්තේද මේ තලාහේන පේරුව තුල විමද විශේෂත්වයකි.

ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය සනත්ට !ටීම් ලංකා නායකත්වය දසුන්ට !

0

කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හිටපු නායක සනත් ජයසූරිය මෙහෙයවන අතර ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක මෙහෙයවයි.

මෙම තරගය පල්ලෙකැලේ පිටියේදී එළැඹෙන 04දා රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

අවධානමට පසු සුදානම !…තවත් මාර්ගෝපදේශ මාලාවක් ….

0

ලංකාව තුල අද කොරෝනා වසංගතය හිසඔසවමින් තිබිම ගැන අප බිය යුතු එක් කරුණක් වන්නේ කොරෝනා වෛරසයටය.

අනික් වැදගත්ම සහ තිරාණාත්මකම කරුණ වන්නේ ලංකාව තුල කොරෝනා පාලනය අදාල පාලකයන් සහ බලධාරින් විසින් කටයුතු කරගෙන යන ආකාරය කොයිතරම් නම් වෘත්තියබවකින් යුක්තදැයි යන කරුණයි.



පවතින තත්වය නිසි ලෙසින් විග්‍රහ කරගනිමින් එයට වෘත්තිය පරිචයක් සහිත අයගේ නිසි උපදෙස් මත පිහිටා කටයුතු නොකරන බව දැන් ඉතා පැහැදිලිය.
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් මේ බව දැන් රටටම හෙළිදරව් කර හමාරය.
වෘත්තිය අත්දැකිම් ඇති අයට වඩා යුද්ධ කළ හමුදාවකට කොරෝනා පාලනය කළ හැකි යැයි මේ රට හිතන්නට පටන් ගත් මුල්ම දිනයේ සිට කොරෝනා වසංගත තත්වය නිසි කළමණාකරණයකට යටත් කිරිමේ මුල්ම පියවර ඉතා පැහැදිලි ලෙසින් මගහැරි ගිය බව පැහැදිලිය.
කෙසේ වෙතත් රටේ ජනාධිපතිවරයා හිතන්නේ ඔහු හිටපු ආරක්ෂක ලේකම් නිසා හමුදාවට සියල්ල කළ හැකි බවය.
ගණිඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ කුමක්දැයි අප දැන් වසරකටත් වැඩි කාලයක් පුරාවටම සෑම ක්ෂේත්‍රයක් තුලදිම අත්දකිමින් සිටින්නෙමු.

මේ යථාර්ථය පසුබිමේ එසේම තිබියදි දැන් යළිත් වරක් රට තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම නව මාර්ගෝපදේශ යටතේ තුන්වන මට්ටමේ කොවිඩ් අවදානමට සරිලන පරිදි මහජන ක්‍රියාකාරකම් සඳහා ලබාදී ඇති අවස්ථාව සංශෝධනය විය යුතු බවය.

නව උපදෙස් මාලාවට අනුව මහජන ඒකරාශී වීම් ඇතුළු ක්‍රියාකාරකම් සඳහා ලබාදී තිබූ අවස්ථාවන් දැඩිලෙස සීමා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස්,

  • පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුම්රිය සහ බස් රථවල මගීන් ගමන් කළ හැක්කේ එහි ආසන ගණනට පමණයි.
  • එමෙන්ම කුලී රථ භාවිතයේදී ත්‍රිරෝද රථ සහ මෝටර් රථවල එකවර ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට පමණයි.
  • වෙනත් මාදිලියේ කුලී රථවල එහි ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා හැකි වේ.
  • අපනයනය මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී ජෛව විද්‍යාත්මක ආරක්ෂිත බුබුලක් තුළ එහි කටයුතු පවත්වාගෙන යා යුතුයි.
  • එමෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවත්වාගෙන යා යුතුයි.
  • සුපිරි වෙළෙඳසැල් තුළට එක් අවස්ථාවකදී ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදී ඇත්තේ එම වෙළෙඳසැලේ රැඳී සිටිය හැකි මුළු ධාරිතාවෙන් සියයට 25ක පිරිසක් පමණයි.
  • වෙළෙඳ සංකීර්ණ තුළද මුළු ධාරිතාවෙන් සියයට 25ක පිරිසකට පමණක් ඇතුළුවීමට අවසර හිමිවේ.
  • බන්ධනාගාර රැඳවූවන් හමුවීම සඳහා අමුත්තන්ට අවසර නැත.
  • නැවත දැනුම් දෙනතුරු පාසල්, පෙර පාසල්, උපකාරක පන්ති, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තැබේ.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානද විවෘත වන්නේ නැත.
  • විවාහ මංගල උත්සව මැයි මස 04 වන අඟහරුවාදා සිට මැයි මස 20 වනදා දක්වා පැවැත්වීමට අවසර හිමි නොවේ.
  • කොවිඩ් -19 ආසාදිත මරණ හැර සෙසු අවමංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා එක් අවස්ථාවකදී සහභාගි විය හැකි පිරිස 25 දෙනෙකුට සීමා වේ. දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකළ යුතුයි.
  • මහජන ඒකරාශිවීම් සඳහා අවසර හිමි නොවන අතර එළිමහන් හෝ ගෘහස්ථ උත්සවද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැත.
  • එමෙන්ම ආගමික ස්ථානවලද පුද්ගල ඒකරාශි වීම් හෝ එක්රැස් වී සිදුකරන ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
  • සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක සහ සැණකෙළි තිබෙන ස්ථාන වසා තැබේ.
  • ආපනශාලාවල සේවා සැපයීම් පවත්වාගෙන යා හැකි අතර එකවර ආහාර ගත හැක්කේ එහි ආසන පහසුකම්වලින් සියයට 25කට පමණයි.
  • මත්පැන් අලෙවිසැල් නියමිත කාල සීමාවන් අතර පමණක් විවෘතව පවතින අතර තැබෑරුම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථාන වසා තැබිය යුතුයි.

ඉන්දියාවේ පුද්ගලික රෝහල් කොරෝනා එන්නත ලබාදිම අරඹයි !

0

ඉන්දියාවේ පෞද්ගලික රෝහල් දාමයන් විසින් වයස අවුරුදු 18-44 අතර COVID-19 ප්‍රතිශක්තිකරණ මෙහෙයුම මැයි මස 1 වන දින දිවයිනේ සීමිත මධ්‍යස්ථානවල ආරම්භ කරන ලද බව thehindu.com විසින් වාර්තා කර තිබේ

ඇපලෝ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ හයිද්‍රාබාද් සහ කොල්කටා හි පිහිටි සිය මධ්‍යස්ථානවල මෙම මෙහෙයුම ආරම්භ කළ නමුත් දිල්ලියේ ප්‍රතිශක්තිකරණය සඳුදා හෝ අඟහරුවාදා වන විට ආරම්භ වීමට ඉඩ ඇති බවත්ය.

ෆෝටිස් හෙල්ත්කෙයාර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වයස අවුරුදු 18-44 අතර පුද්ගලයින්ට කෝවාක්සින් ඉන්දිය රුපියල් 1,250 කට ලබා දෙන බවයි. එයට එන්නත් හා පරිපාලන ගාස්තු ඇතුළත්ය