Friday, November 29, 2024
Home Blog Page 46

එන්නත්කරණය වසංගතයක් නොකළ කලමුල්ලේ ආදර්ශයට මල් මිටක්.

0

ඊයේ (16) සිනෆෝම් එන්නත කළමුල්ල උතුර හා කළමුල්ල දකුණ ග්‍රාම සේවා වසම් දෙකේ ජනතාවට ලබා දීම සිදු වුණා.

පසුගිය දිනවල ගම් වල දිගු පෝලිම්වල පැය ගනණ් මහජනයා රස්තියාදු කරමින් නිරෝධායන නීති කඩමින්, රෝගය තවත් ව්‍යාප්තවීමට හේතුවන පරිදි හා ප්‍රාදේශීය දේශපාලකයින්ගේ මැදිහත්වීම් වලින් ජනතාව ප්‍රකෝප කරමින් ගැටුම් ඇති කරමින් සිදු කළ එන්නත්කරණය අපේ සමාජ අවුල ප්‍රදර්ශනය කළා.

ප්‍රචාරකවාදි දේශපාලනය හා අනුග්‍රහක දේශපාලනය ප්‍රදර්ශනය කළා.

නමුත් කළමුල්ලේ සිදුවූ එන්නත්කරනය 99% ක් ම ඒ දුබලතා මඟ හරවාගත් එකක් වුණා.

එහි ගෞරවය පාර්ශව තුනකට හිමිවිය යුතුයි. පළමු පිරිස තමයි වසමට යම් පමණකට හෝ ප්‍රමාණවත් එන්නත් සංඛ්‍යාවක් සම්පාදනය කරගෙන ආ මහජන සෞඛ්‍ය පරීක්ෂක තාරක මහතාත් ජනතාවට නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කළ වෛද්‍ය ප්‍රදීප් ඇතුළු කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය.

දෙවැනි පිරිස තමයි එන්නත්කරණය සිදුවූ සාන්ත මරියා දෙව් මැදුර අවට දේශපාලනයෙන් තොර ව ප්‍රජා නායකත්වයක් අරගෙන තුන්ඩු නිකුත් කර ක්‍රමවේදයක් සැකසු පිරිස. ඔවුන් මුළු කාර්යයම හොඳින් මෙහෙයවීමට උපකාර කළා.

තුන්වෙනි පිරිස සුළු අඩුපාඩු තිබුනත් සමස්තයක් ලෙස ඒ වැඩි පිලිවෙලට අනුගත වු ජනතාව.

අපේ සෞඛ්‍ය සේවාව එන්නත්කරනය අතින් ආසියාවේ දියුණු සෞඛ්‍ය සේවාවක් කෝවිඩ් තුළ එය අවුලක් ලෙස පේන්නේම දේශපාලන අයුතු බලපෑම් නිසා.

කෝවිඩ් එන්නත් ප්‍රමාණවත්ව සපයා ගන්නට වැඩි පිළිවෙලක් රජයට තිබුණා නම්, ඉතා පහුසවෙන් ඡන්ද හිමි නාම ලේඛනය අනුව ජනතාවට වේලාවක් දී කිසිදු තද බදයක් නැතිව හරිම විනයවත්ව මේ වැඩේ කරන්න පුළුවන්. පාක්ෂික මනස් ඇති දේශපාලකයින්ට ඒ වැඩේ බැරිවුනාට ඔවුන් හැකි තරම් ඉවත් වුනාම ගමේ ප්‍රජාවගෙන් එවැනි වැඩක් හොඳින් සංවිධානය කරගන්න දේශපාලන වාසි නොබලන ඕනෑ තරම් ප්‍රජා නායකයින් ඉන්නවා.

මේ සා පල්ලි, පන්සල්, කෝවිල් පද්ධතියක් තියෙන තරඟයට වගේ ශබ්ද පූජා පවත්වන, ලවුඩ්ස්පීකර් ඒවායේ තිබෙන රටක ඒ සියලු සම්පත් යොදාගෙන මිනිස්සු පැය ගණන් හිටවගෙන වැස්සේ අව්වේ තියන්නේ නැතිව මේ වැඩේ කරන්න පුළුවන්.

ගැටළුව තියෙන්නේ ප්‍රමාණවත් එන්නත් සපයා නොගැනිමේ. අනික තමයි කවදත් තමන්ගේ පහසුව ආරක්ෂාව හොයන වසම් සීමා ඉක්මවා යමින් තමන්ට එන්නත් ලබා ගන්නා මිනිස්සු හා හිතවතුන්ට සලකන වැරදි දේශපාලනයෝ.

මාර්ග ව්‍යාපෘති වැනි වසරක් කල් දැම්මා කියලා මුකුත් වෙන්නේ නැති වයාපෘති ටිකක මුදල් යොදවලා, ධනපතිගෙන් වහාම සෘජු බද්දක් අය කරලා, දූෂණය කොමිස් කෝවිඩ කාලයටවත් නැවැත්තුවා නම් අවුරුදු 30-60 ත් අතර ලක්ෂ 100 කට අඩු ජනයාට එන්නත් කිරීම මහ ලොකු දෙයක් නොවේ.

දෙවැනි මාත්‍රාව ඊයේ දීපු අංක පිලිවලටම ඒ ඒ විදිහට වෙලාව දීලා එන්න කියන දැන්වීම විතරක් කළාම ඊයෙටත් වඩා හොඳට එදාට මේ දේ කළ හැකියි.

‍සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු ගමේ නායකත්වය ගත් සැමටයි මේ මල් මිට.

මහින්ද නාමල්

දෙමළ මළවුන් සමරන ගල් පුවරුවත් අතුරුදහන් කළ අධම හොරකමක්

0

යුද්ධයේදී ජීවිත අහිමිවූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහිවීම පිණිස අලුතින් සවි කිරීමට නියමිතව තිබූ ගලින් කළ සමරු පුවරුවක් ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කිරීම උතුරේ පොලීසිය සහ ආරක්ෂක හමුදාව විසින් සිදු කළ “අධම හොරකමක්” ලෙස  දෙමළ ජනතා නියෝජිතයන් සහ නීතිවේදීහු චෝදනා කරති.    ශෛලමය සමරු ඵලකය අතුරුදහන් වී ඇති අතර වසර දහයක් පුරා නිරුපද්‍රිතව පැවැති මුල්ලිවයික්කාල්  ස්මාරකය කඩා බිඳ දමා විනාශ කර ඇත්තේ වාර්ෂිකව පවත්වනු ලබන මුල්ලිවයික්කාල් අනුස්මරණයට අවහිර කරනු පිණිස ඒ අවට හමුදාවේ විශාල පිරිසක් රැකවල් ලා සිටියදීය.    

අතුරුදහන් ඵලකය පොලිසිය විසින් මේතාක් සොයාගෙන නැතත් මේ අතර මුල්ලිවයික්කාල් සමරුව පැවැත්වීමට බාධා පැමිණවීම සඳහා මුලතිව් පොලීසිය විසින්, හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එස් . රවිකරන්, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායක ඊෂ්වරී මරියදාසන්, දෙමළ ජාතික සන්ධානයේ තරුණ අංශයේ නායක පී. ඉලන්චෙලියන් සහ වසන්තන් පියතුමා ඇතුළු පස්දෙනකුට එරෙහිව, අධිකරණ වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව පළාත්බද මාධ්‍යවේදීහු වාර්තා කරති.  

  මැයි 13 බ්‍රහස්පතින්දා අලුයම එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු  මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන්  විසින්, සමරු ඵලකය අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබේ.  

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කොළඹ මාධ්‍යවේදීන්ට පවසා තිබුනේ යුද හමුදාව සිද්ධියට “කොහෙත්ම සම්බන්ධ නැති” නිසා සොරකම සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකරන බවයි.   

උතුරු නැගෙනහිර මුල්ලිවයික්කාල් සමරු සංසදය විසින් ශෛලමය සමරු ඵලකය සවස දොඹකර ආධාරයෙන් මුල්ලිවයික්කාල්  අනුස්මරණ භූමියට ගෙන විත් තිබුනේ පසුගිය මැයි 12 බදාදා ය.   ස්මාරකය බිමට බෑමට කටයුතු කරන මොහොත වන විටත් එහි පැමිණ සිටි රජයේ ආරක්ෂක නිලධාරීන් හා කතෝලික පූජකයන් අතර වාද විවාද පැන නැගී  තිබුනි.  

Mulathuv Army

දොඹකර ආධාරයෙන් මුල්ලිවයික්කාල්  අනුස්මරණ භූමියට    

ආරක්ෂක අංශ වල සාමාජිකයන්  එම අනුස්මරණ භූමියේ රැදී සිටීම පිළිබඳව මෙන්ම සමරු ඵලකය රැගෙන ආ වාහනයෙන් බිමට බෑමට ඉඩ නොදීමට ඔවුන් ගත් තීරණයට ද විරෝධය පළ කරමින්, කතෝලික පූජකවරුන් විසින් ඔවුන් ප්‍රශ්න කරනු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.  

 යුද්ධ හමුදාව  උත්කර්ෂයට නංවන  සැමරුම් සහ ඒවා ආශ්‍රිත අනුස්මරණ සඳහා රජයේ අනුග්‍රහයෙන් ඉඩ සලසා දී තිබිය දී, යුද්ධයෙන් මිය ගිය සිය ආදරණීයයන් අනුස්මරණය කිරීමෙන් හා ඔවුනට ගෞරව දැක්වීමෙන් දෙමළ ජනයා වලක්වනු ලැබීම සම්බන්ධයෙන්, කතෝලික පූජකයන් විසින් පොලීසිය හා හමුදාවෙන් ප්‍රශ්න කරන ආකාරය එම වීඩියෝවේ සටහන්ව තිබේ.

   කොරෝනා වසංගතය වැළැක්වීමේ නීති උපුටා දක්වමින්, මෙවැනි උත්සවයක් පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවට පොලිසිය තර්ක කළ අතර, තම නීතිඥයන් ඔවුන් සමඟ කතා කරනු ඇති බවට පූජකවරු පොලිසියට පවසන ආකාරයද එම වීඩියෝව තුළ දක්නට ලැබේ.      

  මුල්ලිවයිකාල් ස්මාරකය කඩා බිඳ දමයි :    

කෙසේ නමුත් දැවැන්ත කළුගල් පුවරුව එක රැයක් තුලදී අතුරුදහන් කර තිබෙන අතර, මුල්ලිවයිකාල් ස්මාරකය  කඩා බිඳ දමා තිබේ.    “ත්‍රස්තවාදීන්ගෙන් භූමිය මුදා ගැනීමේ ජයග්‍රහණයක්” ලෙස ආණ්ඩුව විසින් හදුන්වනු ලැබූ ලේ වැකුණු  සිවිල් යුද්ධය අවසානයේ, මීට වසර දොළහකට පෙර මිනිස් සිරුරු වල කොටස් තැන තැන විසිරී තිබූ අයුරු සිහිගන්වමින් පැරණි සමරුවේ කැඩී බිඳී ගිය කොටස් වැලිතලාව මත විසිරී තිබුණි.  

dfgdf

  “පොලීසියේ සහ හමුදාවේ ඇස නොගැටී, මෙතරම් විශාල කළුගලක් අතුරුදහන් වුනාය කියන එකෙන් තේරෙන්නේ, එය සොරකම් කර ඇත්තේ ඔවුන් ම බවයි. එය ඔවුන් විසින් කරන ලද පැහැදිලි සොරකමක් මිසක් වෙන කිසිවක් නෙමෙයි. ආරක්ෂාව සැපයිය යුතු පුද්ගලයන්ම සොරකම් කරලා” යි  නීතිඥ කනගරත්නම් සුගාෂ් යාපනයේදී  ප්‍රදේශීය මාධ්‍යවේදීන්ට පැවසීය.  

යුද්ධයෙන් මියගිය දෙමළ  ජාතිකයන් වෙනුවෙන්, ඔවුන්ගේ ඥාතීන් සහ හිත මිතුරන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන උපහාරයේ අංගයක් ලෙස, මෙම සමරු ඵලකය එකමුතුකමේ සංකේතයක් ලෙසින්, මැයි මස 18 වැනිදා පොදු ස්ථානයක පිහිටුවා තැබීමට සැලසුම් කර තිබුණි.   මෙවන් දුක්මුසු, සංවේගාත්මක උත්සව පැවැත්වීම, ලොව පුරා දමිළ ජනයා විසින්, යුද්ධයේ දී ජීවිත අහිමිවූවන්ට සිදු කරන උපහාර දැක්වීමක් ලෙස සලකනු ලැබේ.  

      බුද්ධාගමට වැඩි සැලකිලි:  

කෝවිඩ්-19 සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් නොතකා, තිහකට ආසන්න බෞද්ධ භික්ෂූ සමූහයකට, බෞද්ධ නටබුන් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි මුවාවෙන්, දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජබිමක් වන කුරුන්තුර්මලෙයි වෙත යාමට පසුගියදා  අවසර දී තිබුනි.    එහිදී හමුදාව සහ පොලිසියේ සහභාගීත්වයෙන් සර්වරාත්‍රික පිරිත්  සජ්ජායනාවක් ද පවත්වා තිබේ.    බෞද්ධ භික්ෂූන්ට සහ යුද හමුදාවට වන්දනාමාන කිරීමට අවස්ථාව ලබා දෙමින්, දෙමළ  ජනයාට එම අයිතීන් ප්‍රතික්ෂේප කිරීමේ පක්ෂග්‍රාහී ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් පොදු ජනතාව සහ දෙමළ ජනතා නියෝජිතයෝ ප්‍රශ්න කර සිටිති. 

khl

යාපනය සරසවි භුමියේ ඉදිකර තිබු ‘මළවුන්ගේ ස්මාරකය’ ඩෝසර් කිරීමට පෙර      යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාපිත කර තිබු මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකයද  මේ වසර මුලදී  රාජ්‍ය අනුග්‍රහයෙන් එක රැයකින් කඩා බිඳ දමන ලදී.  

 ස්මාරකය කඩා දැමීම  සරසවි සිසුන් හා දෙමළ  ප්‍රජාව අතර විශාල කෝපයක් ඇති  කිරීමට හේතු වු අතර, අනතුරුව විශ්වවිද්‍යාලය තුළ තවත් එවැනි විශාල ප්‍රමාණයේ ස්මාරකයක් අළුතින් ඉදිකිරීමට බලධාරීන්ට සිදුවිය.  

යුද්ධය අවසන් වූ දා සිට, දෙමළ ජනයා වාර්ෂිකව සමරනු ලබන  මුල්ලිවයික්කාල් සැමරුම දකුණේ සිංහල ආණ්ඩුවලට ‘ඇහැට කටු අනින්නාක් මෙන්’ වූ අතර, මෙම උත්සවය කඩාකප්පල් කිරීමට ඔවුන් විවිධ අවස්ථාවල උපරිම ලෙස උත්සාහ දරා තිබේ.   

 කෙසේවෙතත්, ධෛර්ය සම්පන්නව දෙමළ යුද පීඩිතයෝ තම සමීපතමයන් සිහි කිරීමේ වාර්ෂික උළෙල ඉදිරියට ගෙන ආහ.    පසුගිය වසරේදී පවා, කෝවිඩ්-19 හේතු ලෙස දක්වමින් හමුදාව විසින් කළ අනතුරු ඇඟවීම් නොතකා, පනවා තිබූ වසංගත නීති වලට අනුගත වෙමින් ජනතාව විසින් මෙම උත්සවය පවත්වනු ලැබීය.    එහිදී අත් සේදීමට සහ සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර  තිබූ අතර, සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් සිය ගෞරවය දැක්වීමට එක්රැස් වූ ජනතාව කටයුතු කළේය.    යුද්ධයේ අවසන් අදියරේ දී, අහිංසක දෙමළ  ජනයා දහස් ගණනක් ඝාතනය කෙරුණු මුල්ලිවයික්කාල්හි නව   සමරු ඵලකය ස්ථාපිත කිරීමට, කතෝලික පූජකවරුන්, මහජනතාව සහ යුද්ධයෙන් මියගිය අයගේ පවුල්වලින් සමන්විත පොදු එකමුතුවක් විසින් මේ වසරේදී සැලසුම් කර තිබුණි.

  මේ අතර, පෙර නොවූ විරූ ලෙසින් උතුරු හා නැගෙනහිර කතෝලික රදගුරුවරුන් සිව්දෙනා විසින්, යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවයික්කාල්හි සිදු වූ ඝාතනය  ‘වර්ග සංහාරයක්’ ලෙස නම් කිරීමට කටයුතු කර තිබේ.    

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් යාපනය, මන්නාරම, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ රදගුරුවරුන් විසින් එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මුල්ලිවයික්කාල්  වර්ග සංහාරයේ 12 වන සංවත්සරය සැමරීමට එක්වන ලෙසයි.  

 “2021 වසරේ මැයි මස 18 වැනි දින, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ජනයාට, මුල්ලිවයික්කාල්  වර්ග  සංහාරයේ දොළොස්වැනි සංවත්සරය එළඹේ. යුද්ධයේ අවසාන අදියරේ හා ඊට පෙර දශකවල දිවි ගලවා ගත්තා වූ සහ ඒවා අත්වින්දා වූ මිනිසුනි! අවසන් ගෞරව නොදක්වා හදිසි භූමදානයන්ට ලක්කළ සිය ආදරණීයයන් වෙනුවෙන් වැළපෙන්න. ඒ වෙනුවෙන් වෙන් කළ දවසක් පෙන්වා දෙන්නේ, අනුස්මරණය කිරීමේ අයිතිය වින්දිතයන් හටත් ඇති බවයි. වින්දිතයන් යනු තවදුරටත් අකර්මන්‍ය පීඩිතයන් ලෙස නොසිටී. ප්‍රතිකර්ම  සෙවීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වන අය වේ.”මැයි 18 අනුස්මරණය කිරීමේ හා යාඥා  කිරීමේ දිනයක් :

  සිදු වූ අපරාධවලට සාධාරණය ඉටු කිරීම සඳහා තමන් දෙමළ ජනතාව සමඟ එක්වී ඇති බවත්, මැයි 18 අනුස්මරණය කිරීමේ හා යාඥා  කිරීමේ දිනයක් ලෙස සලකුණු කරන බවත් රදගුරුවරු පවසති.    මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවයක් පවත්වා, විශේෂ පහනක් හෝ ඉටිපන්දමක් දල්වා, යුද්ධයෙන් ජීවිත අහිමිවූ දෙමළ ජනයා සිහි කිරීම සඳහා පූජා කරන ලෙස ඔවුන් සියලු පූජකවරුන්, ආගමික ප්‍රජාවන් සහ ආගමික ආයතන භාරව සිටින සියලු දෙනාගෙන් ඉල්ලා ඇත.  

theleader.lk

“ඉටුකම ගිනුමෙන් ලක්ෂ 194කට ගන්න යන ඇම්බියුලන්ස් මොනවද?”

0

කොවිඩ් -19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් පසුගිය මැයි 10 වැනිදා ඉදිරිපත් කළ වාර්තාව හා ඊට පෙර පසුගිය වසරේ නොවැම්බර් 01 වැනිදා ඉදිරිපත් කළ වාර්තාව අතර පරස්පරතා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ වාර්තාවේ නිරෝධායන ක්‍රියාවලියේ උපදේශන වැඩසටහන් සඳහා මිලියන 24ක් වැය වූ බව දක්වා ඇතත් පසුගිය 10 වැනිදා ඉදිරිපත් කළ වාර්තා වේ එම ශීර්ෂය ඇතුළත්ව නැති බවයි. 
එසේම 10 වැනිදා වාර්තාවට අනුව එහි දෙවැනියට වැඩියෙන්ම වැයකර ඇති මුදල වන රුපියල් 67,543,967.00 ක (මිලියන 67කට වැඩි මුදලක්) මුදල වැයකර ඇත්තේ දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් බවද පවසන නාගමුව මහතා එතරම් මුදලක් වැයකර සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන් මොනවාදැයි විමසා සිටියි.

එහි දැක්වෙන පරිදි ගිලන් රථ 10ක් ගැනීමට රුපියල් 194,000,000.00 (මිලියන 194කි.) ක් වැය කිරීමට නියමිත බවත්, ඒ අනුව එක් ගිලන් රථයක් වෙනුවෙන් ලක්ෂ 194 ක් වියදම් කිරීමට නියමිතව ඇතැයි ද එතරම් මුදලක් වැයකර ගන්නා ගිලන් රථ මොනවාදැයි ද යනුවෙන්ද ඔහු විමසා සිටී.

නාගමුව මහතා පවසන්නේ සාමාන්‍යයෙන් ටොයොටා වර්ගයට අයත් ගිලන් රථයක ආරම්භක මිලවන්නේ ඇමරිකානු ඩොලර් 40,000ක් බවයි. සාමාන්‍යයෙන් ඒ අනුව එය ලක්ෂ 80ක් බවයි.  

බෙන්ස් වර්ගයේ ගිලන් රථයක් ගෙන්නුවද ගිලන් රථයකට වැයවන්නේ රුපියල් ලක්ෂ 130ක් බව ද නාගමුව මහතා පෙන්වාදෙයි.ජනපති මාධ්‍ය අංශය ඉටුකම ගිනුමෙන් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන දෙක පහත දැක්වේ.

srilankamirror.com

“තම භූමිය අහිමි වූ පලස්තීනයේ ඛේදවාචකය”

0

“තම භූමිය අහිමි වූ පලස්තීනයේ ඛේදවාචකය”පලස්තීනය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන පිළිගත් ස්වෛරී රාජ්‍යයක්.මේ වන විට පලස්තීන රාජ්‍යයට අදාල ප්‍රධාන භූමි කොටස් දෙකක් තියෙනවා.

ඒ තමයි ඊශ්‍රායලයේ බටහිර මායිමේ තියෙන ගාසා තීරය (Gaza Strip) සහ ඊශ්‍රායලයේ නැගෙනහිර මායිමේ තියෙන බටහිර ඉවුර (West Bank).මේ ගාසා තීරයත්, බටහිර ඉවුරත් කිසිම අයුරකින් ගොඩබිමින් සම්බන්ධ වීමක් නැහැ.පලස්තීනයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 6,020 ක් වෙනවා.

එයින් බටහිර ඉවුර වර්ග කිලෝමීටර 5,655 ක් වන අතර, ගාසා තීරය වර්ග කිලෝමීටර 365 ක් වෙනවා.පලස්තීනයේ අගනුවර ජෙරුසෙලම ලෙස හැඳින්වූවත්, මේ වන විට ප්‍රධාන නගරය ලෙස කාර්යභාරය සිදු කරන්නේ රමල්ලාහ් (Ramallah) නගරයයි.

පලස්තීනයේ මිලියන 5 කට ආසන්න ජනතාවක් වාසය කරනවා. වර්ග කිලෝමීටරයකට පුද්ගලන් 730 ක් පමණ වූ ජන ඝනත්වයක් පලස්තීනයේ තියෙනවා.පලවන ලෝක යුද්ධයේදී “යුදෙව් ජාතිකයන්ගේ නිවහන” ලෙස පලස්තීනය හඳුනාගත් විශාල පිරිසක් පලස්තීනය වෙත ඇදී ආවා.1922 දී බ්‍රිතාන්‍ය විසින් පලස්තීනයේ බලය ඔටෝමාන්වරුන්ගෙන් අත්පත් කරගන්නවා.

1947 දී ‍බ්‍රිතාන්‍ය විසින් පලස්තීනය නැවත නිදහස් කිරීමෙන් අනතුරුව එය කොටස් දෙකකට වෙන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළා. එක කොටසක් අරාබි ජාතිකයන්ට ද අනෙක් කොටස යුදෙව් ජාතිකයන්ට ද වශයෙන්. අරාබි ජාතිකයන් එම තීරණයට තදබල ලෙස විරුද්ධ වුණාට, එම තීරණය පිළිගන්න යුදෙව් ජාතිකයන් කැමති වුණා.

අරාබි ජාතිකයන් සහ යුදෙව් ජාතිකයන් අතර පැවති මාස පහක සිවිල් යුද්ධයකින් පසුව 1948 දී යුදෙව් ජාතිකයන්ට වැඩි බලයක් හිමි ඊශ්‍රායලය පිහිටුවා ගන්නවා.මේ සිවිල් යුද්ධය අතරතුරේදී 700,000 ක් (80%) ක් පමණ පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් පලා යාමට සිදුවුණා විතරක් නෙමෙයි 850,000 ක් පමණ යුදෙව් ජාතිකයන් අසල්වැසි අරාබි රටවල් වලින් ඊශ්‍රායලයට සංක්‍රමණය වුණා.

මේ සිවිල් යුද්ධයෙන් පසුව අරාබි ජාතිකයන්ගේ පාලනයට අයත් පලස්තීන කොටස් දෙකක් පමණයි ඉතිරි වුණේ. ඒ ගාසා තීරයයි, බටහිර ඉවුරයි (නැගෙනහිර ජෙරුසලම හැර). ඊශ්‍රායලයෙන් වෙන්වූ වෙනම නිදහස් රාජ්‍යයක් හැටියට පලස්තීනය නම් කළේ 1988 දී. ඒ එවකට නායක යසර් අර්ෆත් විසින්.1993 සිට පලස්තීන ජාතික අධිකාරිය (Palestinian National Authority) විසින් පලස්තීනයේ බටහිර ඉවුර පාලනය කරන අතර, 2007 සිට හමාස් සංවිධානය විසින් ගාසා තීරය පාලනය කරනු ලබනවා.තම උපන් බිම ක්‍රමයෙන් අහිමි වූ ‍පලස්තීනුවන් ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 6,020 බේරා ගැනීම සඳහා දැඩි අරගලයක මේ වනවිටත් නිරත වෙනවා.-

විකුම් හර්ෂණ –

මළවුන්ට ගැරහීම දිගටම…

0

මළවුන් සිහිකිරිම ඕනෑම ආගමික සංස්කෘතියක අය ප්‍රධානතම අංගයකි.යමෙකු ඊට එරෙහිව බාධා කරන්නේ නම් එය සැබැවින්ම ම්ලේඡ්තවයක් මිස අන් කිසිවක් නොවේ.
දකුණට මෙන්ම උතුරටද මළවුන් සැමරිම ඔවුන්ගේ ආගමික සංස්කෘතික අයිතියකි.
මේ නිසාම මේ සතිය මැද මුල්ලිවයිකාල් අනුස්මරණය වෙනුවෙන් උතුරු ජනයා සුදානම් වෙමින් සිටියහ.


මේ අතර මේ වෙනුවෙන් සකසන ලද නව ස්මාරකයක්ද මේ සදහා සුදානම් කොට තිබුණ බව උතුරේ මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.
එය අඩි 6.5 ක් උස සහ අඩි 3 ක් පළලය.
ඒ පොදු ස්මාරකය ද අතුරුදහන් වී ඇත උතුරේ ආරංචි මාර්ග දක්වා සිටි.

එපමනක් නොව මුල්ලිවයික්කල් හි පිහිටි ස්මාරකය කඩා බිද දමා තිබුණි.

මේ පිළිබදව අදහස් දක්වමින් මඩකලපුවේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සානෙක්කයින් රාජපුතිරන් පවසා තිබුනේ මෙවන් අදහසකි

ස්මාරක කඩා දැමීමෙන් දෙමළ ජනයාගේ හැඟීම් විනාශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ (TNA)  මඩකලපුවේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සානෙක්කයින් රාජපුතිරන්  ප්‍රකාශ කර තිබේ. (12) වනදා රාත්‍රියේදී   මුල්ලිවයික්කල් හි පිහිටුවා තිබූ  යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීමේ  සොහොනට  නාඳුනන පුද්ගලයින් විසින්  සිදුකර ඇති හානිය සම්බන්ධයෙන්  විරෝධය පළකළ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
” මුල්ලිවයික්කාල්  හි පිහිටුවා තිබූ  ස්මාරකය  විනාශ කර ඇති අතර එය එතැනින් ඉවත් කර ඇති බවයි  වාර්තා වන්නේ.  එය එදින ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකළ බවට අපි සැක කරනවා.  මෙම රජය දෙමළ ජනයාට ඔවුන්ගේ ඉතිහාසය සිහිපත් කිරීමේ අවස්ථාව අඛණ්ඩව අහිමි කරන රජයකි.

මීට මාස කිහිපයකට පෙර යාපනයේ විශ්ව විද්‍යාලයේද එවැනිම සිදුවීමක් සිදුවිය.  විශ්වවිද්‍යාල උපකුලපතිවරයා නැවත ගොඩනඟා ඇත.

එවැනි ස්මාරක කඩා දැමීමෙන් ඔබට දෙමළ ජනයාගේ හැඟීම් සැබවින්ම විනාශ කළ නොහැකිය. ඔබ කඩා බිඳ දමන සෑම ස්මාරකයක්ම ද්‍රවිඩයන්ගේ මනසෙහි නව හැඟීමක් ඇති කරන සිදුවීමක් ලෙස මම දකිමි. ඔබ අපගේ හැඟීම් පාලනය කිරීමට උත්සාහ කළත්, සිදු වූ කිසිවක් අපට කිසිදා අමතක නොවේ. මේ රටේ දෙමළ ජනයාට සිදු වූ අසාධාරණයක් අපට කිසිදා අමතක නොවේ.

විශේෂයෙන් 2009 වර්ෂයේ මෙවැනි කාලයක අපට බොහෝ දෙනෙකු අහිමි විය. එම ආදරණීයයන්ගේ මරණය සිදු වූ දිනය හෝ ස්ථානය අප නොදැන සිටියද, වසර ගණනාවක් තිස්සේ අපි ස්මාරකය සෑම කෙනෙකුටම මතක තබා ගත හැකි ස්ථානයක් ලෙස භාවිතා කර ඇත්තෙමු.දෙමළ ජනයාගේ හැඟීම් විනාශ කිරීම සඳහා ඔබ වෙනත් නව ක්‍රම සොයා බැලිය යුතුය. ඒ ඔබට අපගේ හැඟීම් විනාශ කළ නොහැකි බැවිනි.

මම මෙඑම ක්‍රියාව තරයේ හෙළා දකිමි. එසේම, රජය සමඟ අනුබද්ධිත අපගේ දෙමළ නියෝජිතයින් ද මේ සම්බන්ධයෙන් ඔබේ හෙලාදැකීම ප්‍රකාශ කළ යුතුය. ඔබ අද රජය සමඟ සිටියත් ඔබව තෝරා පත්කර ගත්තේ දෙමළ ජනතාවයි. ඔබටත් වගකීමක් ඇත. ඒවා සැමරීම සඳහා ස්මාරක කඩා බිඳ දැමීමෙන් ආරක්ෂා කිරීම සඳහා පූර්ණ වගකීමක් ඇත. මේ අවස්ථාවේ දී මම කියන්න කැමතියි මේ රජය සිය අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට පටන් ගෙන ඇති බව. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත රජය සිය අවමංගල්‍යයට යන ගමන ආරම්භ කර තිබුණි.”

කොරෝනා ආසාදනය වු තවත් ගැබිණි මාතාවක් මියයයි …

0

කොරෝනා ආසාදිතව සිටි 28 හැවිරිදි ගර්භනී මවකට කුරුණැගල ශික්ෂණ රෝහලේ දි සිසේරියන් සැත්කමකින් පසු මිය ගොස් ඇතැයි වාර්තාවේ.
වෛද්‍යවරුන්ට කළ හැකි වූයේ ළදරුවාගේ ජීවිතය බේරා ගැනීමට පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය මව කොබෙයිගනේ බොරලුගොඩ පදිංචි අයෙකි.කොරොනා ආසාදනය විම හේතුවෙන් ජිවිතයට සමුදෙන්න වු තෙවන ගැබ. මෙය ශ්‍රී ලංකාවේ ගර්භනී මව්වරුන්ගේ තුන්වන කොරෝනා මරණය බවද සෞඛ්‍ය අංශ සදහන් කර සිටි

පමා වි මොළය පෑදුන පොලිස්පති…!කුඳලාගෙන යෑමට තිත …

0

මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මූලස්ථාන ආරංචි මාර්ග පවසන ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

මේ ආකාරයෙන්ම පුද්ගලයන් ඔසවාගෙන යාමේදී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙන් සඳහන් වෙයි.

මින් ඉදිරියට මුව ආවරණ නොමැතිව තැන තැන රැඳී සිටින පුද්ගලයන් ඔසවා ගෙන නොයන ලෙසටත්, අත්අඩංගුවට ගන්නා පිරිස් එකම රථයක එක්රැස් නොකරන ලෙසටත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

අර මුහුණ දෙන අර්බුදයේ ප්‍රමාණයට එය කළමණාකරණය කිරිමට මුලික බැදි සිටින ආයතනවල ඇති වෘත්තියභාවය සැබැවින්ම පවතින්නේ ඉතාමත් පහල මට්ටමක බව පොලිස්පතිතුමාගේ කුදලාගෙන යෑම තහනම් කරන ලෙසින් පමා වි කරන ලද මේ නිවේදනය තුලද ඉතා පැහැදිලිය.
නිරෝධායනය කඩනඋන්ව කුදලාගෙන යන්නැයි කියු එකෙකු සිටිය යුතුය. පොලිස් පොඩ්ඩන් එය ක්‍රියාත්මක කලේ ඒ නිසා විය යුතුය.
රටට විහිළු සපයන ක්‍රම නවතා දැන්වත් සිරියස්විමට පොලිසිය තින්දු කිරිම අගේ කළයුතුය

අහනාෆ්ගේ කවිය සහ අපගේ මිලිටරි මනස: රාමසාන් රචනාවක් – ලියනගේ අමරකීර්ති

0

 දෙමළ බසින් ලියන ශ්‍රී ලාංකික කවියෙකු වන අහනාෆ් ජසීම් තවමත් ඉන්නේ අත්අඩංගුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2020 මැයි 17 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. මේ කවියාට විඳින්නට සිදු වී ඇති වධ බන්ධනය පිටුපස ඇති දේශපාලනය ඉතා පැහැදිලි එකකි. 

එහෙත් ඔහු උසාවියට ඉදිරිපත් කළ විට දිගටම රඳවා තබා ගන්නට කෙරුණු නියෝගය පිටුපස අප කාගේත් සැලකිල්ලට ලක් විය යුතු කරුණු රැසක් තිබේ. කවිය යනු බහුවිධ අර්ථ ඇත්තකි. කවිය යනු අනිශ්චිතාර්ථවත්භාවය සම්පතක් සේ සලකන භාෂා භාවිතයකි. කවිය යනු වක්මගින් කීමක් බව සිංහල අප කවදත් දැන සිටි දෙයකි. අහ්නාෆ්ගේ අත්අඩංගුවත්, ඔහු දිගටම රඳවා තබා ගැනීමත් පදනම් වන්නේ ඔහුගේ කවිය පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ රාජ්‍යයෙහි අනුමැතිය ලද පරිවර්තකයන් විසින් කරන ලද ඉතා වාච්‍යාර්ථවත් පරිවර්තන මත බව තතු දත්තෝ කියති. 

   අප කාගේත් අවධානයට ලක් විය යුතු කරුණක් මෙහි තිබේ. රාජ්‍යයට අවශ්‍ය ආකාරයට සාහිත්යික රචනා අර්ථකථනය කොට ඒවා ලියූ පුද්ගලයන් දඟගෙයි ලෑම නිර්ප්‍රභූ මුස්ලිම් තරුණයෙකු වෙත පමණක් එල්ල වන තර්ජනයක් නොවීමට ඉඩ තිබේ. දවසෙන් දවස අවුලෙන් අවුලට යන රාජ්‍ය යාන්ත්‍රණයක නීතිය මෙලෙස ක්‍රියා කිරීම ගැන අප වඩාත් සාවධාන විය යුතුය.

  මේ මුස්ලිම් තරුණයා සිරගත කරනු ලැබ තිබීමට විරෝධය පෑම පළමු ක්‍රියාවය. ඔහු මුස්ලිම් නිසා එසේ විරෝධය පෑමට තරම් කැක්කුමක් නැති අය ඔහු සිරගත කිරීම සඳහා භාවිත කර ඇති ක්‍රමවේදයට හෝ විරෝධය පළ කළ යුතුය. ඒ ක්‍රමවේදය වෙත රාජ්‍ය බලය ලැබී ඇත්තේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඒ ක්‍රමවේදය සුජාත වී ඇත්තේ හුදෙකලා මුස්ලිම් තරුණයෙකු දඟගෙයි ලෑමෙන් නවතින්නට යැයි සිතීම දරුණු මුලාවකි.

                                                               විකාර අර්ථ කථන

    ඊටත් වඩා හාස්‍යජනක කාරණය වන්නේ අහනාෆ්ගේ කවි නිසා යෞවන පාඨකයන් මත ඇති කළ හැකි මනෝවිද්‍යාත්මක බලපෑම ගැනද ඊනියා මනෝ විශ්ලේෂකයෙකුගේ විවරණයක්ද රාජ්‍යය විසින් භාවිත කරනු ලැබීමය. අහනාෆ්ගේ කවි තරුණ පිරිසගේ මනස විවිධ ආකාරවලින් දූෂණය කරන්නට ඉඩ ඇතැයි “මනෝවිද්‍යාඥයෙකු” කියා ඇත.

       සාහිත්‍ය කෘතියක මනෝමය බලපෑම ගැන එසේ ඒකරේඛීය විවරණයක් දිය හැකිද? ඔතෙලෝ නාට්‍ය කියවන සහ නරඹන සියලු පිරිමින් තම බිරින්දෑවරුන් ඝාතනය කරන්නට ඉඩ තිබෙන බැවින් ශේක්ෂ්පියර් සිරගත කළ යුතු යැයි එකල නියම වී නම්? මඩොල් දූවේ එන පුංචි පුංචි කොලුකම් නිසා යෞවන මනස් දූෂණය වේ යැයි මාර්ටින් වික්‍රමසිංහ දඟගෙයි ලූවේ නම්? පුරුෂ ලිංගයක් සේ නැගෙන්නට ඉඩ දියෝ කී පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිය සියලු පුරුෂ ලිංගවල කැරලිකාරී නැගීමට තුඩු දෙන්නේ යැයි සිතා ඒ කවියා හිරේ දැම්මේ නම්?

අහනාෆ්ගේ කවි හිංසනය ප්‍රවර්ධනය කරන බව කියවුණද ඒ කවි හොඳින් දන්නා අය පවසන්නේ ඔහුගේ කවි සැබැවින්ම හිංසනයට විරුද්ධ බවය. මා මිතුරු මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් විසින් දෙන ලද දිවුරුම් ප්‍රකාශයකින් කියවෙන්නේද අහනාෆ්ගේ කවි හිංසනය ප්‍රවර්ධනය කරන නොකරන බවය. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර සිටින ජ්‍යෙෂ්ඨම කවියෙකුද ප්‍රගතිශීලියෙකුද වන ඔහුගේ දිවුරුම් ප්‍රකාශය පමණක් වුවද ඉතා හොඳ විනිශ්චයකි. 

ඔහුගේ ඇතැම් ඉතා අහිංසක උපදේශ කවි වැනිය. ඒවා දෙමළ බසින් පවා කලාත්මක වශයෙන් උසස් කවි නොවන බව ඒ ගැන දන්නා අය කියති.

මේ එක කවියක එන කොටසකි.

මත කුමටද 

හානියකි එය අපට

දුරාචාරය කුමට

හානියකි එය අපට

නුඹේ ඉන්ද්‍රියන් පාලනය කරනු

නුඹේ ගර්වය පාලනය කරනු

නුඹේ අහංකාරය පාලනය කරනු

නුඹේ නැමෙන දිව පාලනය කරනු

ගැටුම් ඇත්නම්

ප්‍රමාද කරනු

අවි ගත්තා අවියෙන්ම නැසේ

දැවෙන අපට යුද්දයක් ඇත

අවි නැත

අක්ෂරය අපේ අවියයි

  මේවා උසස් කවි යැයි මම නොසිතමි. මේ රචනය ලියන මේ රාමසාන් දවසේත් මගේ පසෙකින් හිස් වෙමින් පවත්නා බ්‍රැන්ඩි වීදුරුවක් තිබේ. එහෙත් මේ කවියා දෙන සදූපදේශවලට සවන් දීමට මා සූදානම්ය. එසේම ඒ කවියෙහි අවසන් කොටස සමග මමද එකඟ වෙමි. සැබෑ වශයෙන්ම නිදහස් ලංකාවක් පතන අපට යුද්දයක් ඇත. ඒ දූෂිත, අමනෝඥ පාලකයන් සමගය. ඔවුන්ගේ නායකයන් වන අධිරාජ්‍යවාදී බලවේග සමගය. එහෙත් අපට ඇති ආයුධය අක්ෂරයයි. මමද අක්ෂරය නමැති අවිය භාවිත කරන්නෙක් වෙමි. ඒ නිසා අහනාෆ් සිරගත වී ඇත් නම් මාද සිටිය යුත්තේ එහිය.

මේ ඔහුගේ තවත් කවියකින් කොටසකි.

ලේ ගැලීම්

ජල ගැලීම්

ගං ගැලීම් ආදියෙන් පීඩා විඳින

මිනිසාට දන්පින්දී අසල්වැසියන් සමග

සහයෝගයෙන් ජීවත් වන්නට පුරුදු වව්

මේවා උසස් කවි නොවේ. උසස් අදහස්ය. මේ අදහස් ප්‍රකාශ වී ඇති දෙමළ කවිතාවද කිවයුතු තරම් උසස් නැතැයි දෙමළ විශේෂඥයෝ කියති. එහෙත් උසස් නැති කවි ලියන ආධුනික කවීන් සිරගේ ලන්නේ නම් සිංහල බසින් සාහිත්‍යකරණයෙහි යෙදෙන මාද ගෙයි සිටින්නට ඉඩ තිබේ. මටත් කලින් සිරගෙදර යා යුතු අය සිටිති.

 මේ සියලු දේ අදහස් ප්‍රකාශනයෙහි නිදහස ඇති සිවිල් මහජන අවකාශයෙහි සංවාද කළ යුතු දේය. අහනාෆ් සිය සාහිත්යික රචනා තුළ හිංසනය අගය කරන්නේ නම්, එය පවා නිදහස් මහජන අවකාශයෙහි සංවාද කළ යුතු දෙයකි. අවි ගෙන නැගීම අගය කරමින් සිංහලයෙන් කවි ලියන අය සිටිති. 

                                           දෘෂ්ටිවාදී සීමා

    අහ්නාෆ් මෙසේ සිරගත කර සිටීමත්, එහිලා රාජ්‍ය භාවිත කරන ක්‍රමවේදත් පිළිබඳ මගේ විරෝධය පළ කරන අතරම ඔහුගේ කවියෙහි එන ඇතැම් දෘෂ්ටිවාද අතින් මා ඔහු මිතුරකු සේ සලකන්නේ නැත. දෙමළ භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දන්නා මගේ ඉතා උගත් මිතුරන් හා කළ සංවාදයෙන් මා දැනගත් හැටියට අහනාෆ්ගේ ඇතැම් කවිවල , ස්ත්‍රීවිරෝධී අදහස් පිරී ඇත. ඒ අතින් ඔහු ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සහ මුස්ලිම් පිරිමියා තුළ ප්‍රගතිශීලි අදහස් ඇති කරන්නට දායක වන්නෙක් නොවේ. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ආගම්වාදී ගතානුගතික ඉගැන්වීම් පමණක් පැවතීම ප්‍රමාණවත් නැත. මානව විමුක්තිය සම්බන්ධයෙන් පහළ වී තවත් නොයෙක් දැනුම් පද්ධති තිබේ. ඒ නිසා ඔහු වැනි පුරුෂෝත්තමවාදී සහ පුරුෂ කේන්ද්‍රීය චින්තකයන් සමග මා සිංහල සමාජයේ දී පවා පවත්වන්නේ ඉතා දුරස්ථ සම්බන්ධයකි. 

       එසේම ලංකාවේ රාජ්‍යය යනු ස්ත්‍රී විරෝධීන් අත්අඩංගුවට ගන්නා හෝ ස්ත්‍රී විරෝධීන්ට එරෙහිව නඩු පවරන හෝ රාජ්‍යයක් නොවේ. එසේ වූයේ නම් සිංහල ලේඛකයන් බොහෝ දෙනෙකුද සිටිය යුත්තේ හිරගෙදරය.  අනෙක, පුරුෂෝත්තමවාදය සමග කොයි සමාජයේත් පැවතිය යුත්තේ මතවාදී අරගලයක් මිස දඟගෙයි ලෑමක් නොවේ. එය රාජ්‍යයෙහි කාර්යක් නොව සිවිල් බුද්ධිමය අවකාශවල සිදු විය යුත්තකි. 

   එහෙයින් අහනාෆ්ට අත්වී ඇති ඉරණම මගේ විරෝධය මෙවැන්නකි. ඉතා ගතානුගතික අදහස් ඇති කවියෙකු පවා කවිය නමැති අඩවියෙහි පළ කරන අදහස් අතිසරල ලෙස නිර්වචනය කොට කවියා සිරගෙයි ලෑම වැරදිය. ඒ ක්‍රමයට කවීන් අත්අඩංගුවට ගැනීමෙන් ඇති වන පූර්වාදර්ශ ඉතා භයානකය.     ත්‍රස්තවාදය සමග කිසිදු සෘජු සම්බන්ධයක් නැති තරුණයෙකු ඔහුගේ කවියක එන වක්‍රෝක්තිමය ප්‍රකාශයකින් හිංසනයට දිරි දෙන්නේ යැයි මොහොතකට සලකමු. එවිට පවා ඔහු සිරගත කිරීම, රාජ්‍යයෙහි දණ්ඩනයට ලක්වීම ශිෂ්ට සමාජයක සිදු විය යුතු නොවේ.   කවරාකාර හෝ හිංසනයකට ඔහු සෘජුව සම්බන්ධ නම් විනිවිදභාවයෙන් යුතු නීතිමය ක්‍රියාවලියක ඔහුට මුහුණ දෙන්නට සැලැස්වීම වෙනම කාරණයකි
ලියනගේ අමරකීර්ති

තෙවන කොවිඩ් රැල්ල: අසාදිත සේවිකාවන් චමරිතුලම නිරෝධායනය කැරෙන නිදහස් වෙළඳ කලාප සේවකාවන්ගේ ඛේදවාචකය

0

වර්තමානයේ දී වෛරසය ආසාදිතයැයි හඳුනා ගන්නා සේවක-සේවිකාවන් තමන්ගේ නේවාසිකාගාර තුළ අනිවාර්ය නිරෝධායනයට යටත්විය යුතුය. විවිධ කර්මාන්තශාලාවල රැකියාවේ නියුතු කම්කරුවන් මෑන්පවර් සහ දෛනික වැටුප් ලබන සේවක-සේවිකාවන් සමඟ හවුල් නේවාසිකාගාරයක ජීවත්වන නිසා, දෛනික වැටුප් ලබන සේවකයින්ට රැකියාවක් සොයාගැනීමේ අපහසුතාවය තිබේ. එසේම, මේ අවස්ථාවේ දී ආණ්ඩුව විසින් මෙවැනි සේවක-සේවිකාවන් සඳහා සුබසාධනය සළසාදීමක් ක්‍රියාවට නංවා නොමැති නිසා, ඔවුන් විශේෂයෙන්ම අනතුරට නිරාවරණය වී සිටියි.

එසේම, සේවක-සේවිකාවන්ට නිරෝධායනය වීමට සිදු වී ඇති දරුවන් සහ ගර්භනී මව්වරුන්ද සිටින ඇතැම් නේවාසිකාගාරවල දී මෙම සේවකයින් පිළිබඳව කිසිදු බලධාරියෙකු වගකියනු නොලබන බැවින් ඔවුන්ට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබේ.

එසේම, වසංගතය තුළ දී සෞඛ්‍ය සහ ආරක්ෂක ක්‍රියාමාර්ග භාවිතයට ගැනීම සේවක- සේවිකාවන් විසින් උල්ලංඝනය කිරීම ද සිදු වේ. මෙය ඉතාම බරපතල ලෙස සැළකිල්ලට ගතයුතු ගැටලුවකි.

කටුනායක ඇවරිවත්තේ සහ අමන්දොලුව ප්‍රදේශයේ නේවාසිකාගාර තුළ සේවකයින් 65 දෙනකු පමණ ආසාදිත බව පරීක්ෂණ මගින් නිරාවරණය වී තිබේ.

සියලුම නිරෝධායන මධ්‍යස්ථාන පිරී ඇති බවත්, නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ ලැබුණු වහාම ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යන බවත් පවසා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනා තවමත් නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙනගොස් නැත. එමනිසා, වෛරසය ආසාදිත වූ බවට පරීක්ෂණ මගින් නිරාවරණය වූ සේවක-සේවිකාවන්ට තමන්ගේම නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක්වීමට සිදු වී තිබේ. ඒවායේ තවමත් රැකියාවට යන සේවක -සේවිකාවන් සමඟ එකම නවාතැන තුළ ඔවුන් ජීවත් වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස නේවාසිකාගාර තුළ අනියතභාවයක් ඇති වී ඇති අතර, මෙම කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය සම්බන්ධයෙන් කිසිදු අධිකාරියක් වගකීම භාර නොගන්නා හෙයින්, ඔවුන්ගේ ජීවිත විශාල අවදානමකට ලක් වී තිබේ.

ඇතැම් අවස්ථාවල දී ආසාදිත යැයි පරීක්ෂණ මගින් නිරාවරණය වී දින පහකට පසුවවත්, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙනගොස් නැති අතර ආසාදිත කම්කරුවා ජීවත් වූ හවුල් නේවාසිකාරය කිසිදු ජීවානුහරණයකට ද ලක්කර නැත. පැහැදිළි සැළසුමක් නොමැති බවත්, ඉහළින් පැහැදිළි උපදෙස් ලැබෙන තුරු ඔවුන්ට කිසිවක් කළ නොහැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සේවක-සේවිකාවන්ට පවසා තිබේ.

කටුනායක පිහිටි එක්තරා නේවාසිකාගාරයක, එක් සේවකාවක නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනගොස් තිබුණේ වෛරසය ආසාදිත බව පරීක්ෂණ මගින් අනාවරණය වීමෙන් දින 3 කට පසුවය. දින හතකින් පසුව ඔහුව නැවතත් නේවාසිකාගාරය වෙත රැගෙන එන බව ඔවුන්ට පවසා තිබේ. නමුත් නිරෝධායනය වීමේ දින 10 අවසන් කිරීමකින් තොරව ඔහුව නැවතත් වේලාසනින්ම නේවාසිකාගාරය වෙත ගෙනවිත් තිබුණේ නේවාසිකාගාරයේ සිටින ඔහුගේ ගර්භනී බිරිඳ මෙන්ම ‍අනෙකුත් සේවකයින් ද විශාල අවදානමකට හෙළමිනි.

තවත් සේවකයින් ද එහි නිරෝධායනය වෙමින් සිටියි. එහි නිරොධායනයට ලක්වන කාමර 21 ක ජීවත්වන විවිධ කර්මාන්තශාලාවලට අයත් කම්කරුවන් 44 දෙනෙකු සඳහා (සේවකයින් දෙදෙනෙකු හැරෙන්නට) දින 5 ක් දක්වා කිසිදු සහන සලාක ද්‍රව්‍යයක් ලබාදී නොතිබුණි. විශේෂයෙන්ම මෑන්පවර් සේවකයින් බරපතල ලෙස පීඩාවට ලක් වී සිටින අතර ඔවුන්ගේ යහපැවැත්ම සඳහා කිසිවකු වගකීම භාරනොගන්නා බැවින් ඒ බොහොමයක් දෙනා නිරාහාරව සිටිති.
සේවකයින් 75 දෙනෙකු වාසය කරන කටුනායක ඇවරිවත්තේ නේවාසිකාගාරයක සඳුදා (මැයි 10වන දා) සේවකයින් දෙදෙනෙකු ආසාදනය වී තිබෙන නමුත්, තවමත් ඔවුන් රෝහලකට/නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනගොස් නැත.

ආසාදිත කම්කරුවන් දෙදෙනාගේ සේවා යෝජකයින් විසින් ඔවුන්ගේ කර්මාන්තශාලාවේ රැකියාවේ නියුතු සේවක-සේවිකාවන් සඳහා වැසිකිලියක් හා නානකාමරයක් සදා තිබේ. නමුත්, මේ සේවකයින් දෙදෙනා තමන්ගේ සියලුම වැඩකටයුතු තමන් විසින්ම සිදුකරගන්නා නිසා, ඇත්ත වශයෙන්ම අනතුරුදායකත්වය අඩුවේදැයි ගැටලුවක් තිබේ. එසේම එහි විවිධ කර්මාන්තශාලාවල සේවකයින් සිටියි. එසේම මෙම නේවාසිකාගාරයේ තවමත් රැකියාවට යන මෑන්පවර් සේවක-සේවිකාාවි ද පදිංචි වී සිටිති. මෙම තත්වය ඉතාම භයානක වන අතර, වෛරසය වේගයෙන් පැතිරීයාමේ ඉහළ අනතුරුදායී බවක් තිබේ. නේවාසිකාගාර හිමිකරුවාට තම වියදම සඳහා ග්‍රාම නිලාධාරීවරයා විසින් රු. 10,000 ක් ලබා දී තිබුණද අන් අය ඡන්ද දායක ලයිස්තුවේ නොමැති නිසා එය ලබා දී නැත.

*තුන් නිවුන් පවුලක එක් අයෙකු කම්හලක කම්කරුවකු ලෙස සේවය කරන අතර, ඇයගේ සහෝදරියක් පිළිකා රෝගයෙන් පෙළෙන මව සමඟ ජීවත් වේ. ඇයගේ තුන්වන සහෝදරිය ද ඇගේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටී. ඇයගේ මව සමඟ ජීවත්වන සහෝදරියට මෑතක දී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා, ඔවුන් හා ස්පර්ෂයෙන් වෛරසය වැළඳීමට ඉඩ ඇතැයි පවසා නේවාසිකාගාර හිමිකරුවා විසින් ඇයටත් ඇයගේ පවුලටත් නේවාසිකාගාරයෙන් ඉවත්ව යන ලෙස පවසා තිබේ. එබැවින්, දැන් ඇගේ ස්වාමිපුරුෂයාට, දරුවාට, සහෝදරියට සහ ඇයට තමන්වම අනතුරේ හෙළමින් තම මව සමඟ ජීවත්වීමට යාම හැර වෙනත් විකල්පයක් නැත. ඊයේ මැයි 9 දා මධ්‍යම රාත්‍රියේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ ඇයගේ සහෝදරිය හෝටලයකට රැගෙන ගොස් තිබේ(ආසාදිත බව නිරාවරණය වීමෙන් දින 5 කට පසුව).

ඇයව පළමුවෙන්ම මැයි 9 වන දින භාරයට ගැනීමෙන් පසුව වෙන කොතැනකට ගෙනයනු ලබන්නේ දැයි ඇයට කිසිදු අදහසක් තිබී නැත. පළමු රාත්‍රිය සඳහා ඇයට ආහාර ලැබී නොතිබුණ නමුත්, ඇයගේ රැකියා ස්ථානයෙන් ඇයට විස්කෝතු කිහිපයක් ලබා දී තිබුණි. ඇය විසින් ඒවා ආහාරයට ගෙන තිබුණි. එය කිසිදු සුවිශේෂී සැළැස්මක් බව පෙනෙන්නට නොතිබුණ අතර, ඇයගේ සහෝදරියට අපහසුතාවයන් ඇති වී පුපුවේ වේදනාවන් ඇති වී තිබුණි. ඇයට විටමින් සී ලබා දී ඇත.*

ඉහත සියලු තොරතුරු සැලකිල්ලට ගැනීමේ දී, නිදහස් වෙළඳ කලාපීය ප්‍රදේශය තුළ තවදුරටත් කෝවිඩ් -19 පැතිරීම කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට රජය විසින් හදිසි සැලැස්මක් සකස් කළ යුතුව ඇති බව ඉතාම පැහැදිලිය.

අහඹු PCR පරීක්ෂණ සිදුකෙරෙනු ලැබූව ද, කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සියලුම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෑතක දී කෝවිඩ් වෛරසය ආසාදිත යැයි සොයා ගන්නා සේවකයින්ගේ සංඛ්‍යාවේ තියුණු ඉහළ නැගීමක් පවතී.

ජේ. කේ ගාමන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ලියනගේමුල්ල, කටුනායක

ඔවුන්ට මුල දී කෝවිඩ් වෛරසය ආසාදිත සේවකයින් 12 දෙනකු පමණක් හමු වූවද, එය සතියකින් සේවකයින් 55 දක්වා ඉහළ නැගුණි.

ඇන්සල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, බියගම

වෛරසය ආසාදිතැයැයි වාර්තා වූ සේවකයින් සංඛ්‍යාවේ නිල සංඛ්‍යාලේඛන නොමැති වූවද, නිල නොවන සංඛ්‍යාලේඛනවලට අනුව මේ අවස්ථාවේ දී වෛරසය ආසාදිත වූ සේවකයින් 100 කට වඩා සිටියි.

කෝටොල්ඩ්ස් ක්ලෝතින් ලංකා (සීසීඑල්) ප්‍රයිවට් ලිමිටඩ් කටුවැල්ලේගම, මීගමුව

කර්මාන්ත ශාලාව තුළ සිදුකල අහඹු PCR පරීක්ෂණයකින් කෝවිඩ් – 19 වෛරසය සඳහා සේවකයින් 50 දෙනෙකු ආසාදිත බව දැනගන්නට ලැබුණි. ඉන්පසු, මැයි මස 07වන දින කර්මාන්තශාලාව වසා දැමුණු අතර සියලුම සේවකයින් PCR පරීක්ෂණවලට ලක්කරනු ලැබීය. පරීක්ෂණ ප්‍රතිඵල මැයි 10 වන දා නිකුත් විය. ආසාදිත සේවකයින් සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැගුණු අතර, කම්කරුවන් 150ක් දෙනා තවදුරටත් සේවයේ යෙදෙමින් කර්මාන්තශාලාව 10 වන දින විවෘතව තැබුණි.

සිරියෝ ලිමිටඩ්, බඩල්ගම

අහඹු ලෙස PCR පරීක්ෂණයකදී ආසාදිතයැයි හඳුනාගෙන ඇති බැවින්, සියලුම කම්කරුවන් මැයි 07 වන දින පරීක්ෂාවට ලක් කරන ලදී.

නෙක්ස්ට් මැනුෆැක්චරින් (පුද්) සමාගම, කටුනායක

පළමුව කම්කරුවන් හත්දෙනෙකු ආසාදිත බව හඳුනාගනු ලැබූවද, ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 100 කට වඩා වර්ධනය වී තිබේ. අද දිනයේ (මැයි 10) දී සේවකයින් 40 කට වඩා ආසාදිත යැයි පරීක්ෂා වී ඇති අතර සවස්භාගයේ දී තවත් PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතය. අනෙකුත් සේවකයින්ට ආසාදනය වී තිබීම හෝ ආසාදිත අයව සමීපව ඇසුරු කිරීම නිසා, කර්මාන්ත ශාලාවේ පේලි දොලහකින් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පේලි හතරක් පමණි. කම්කරුවන් ඔවුන්ගේ නේවාසිකාගාරවල ස්වයං නිරෝධායනයට ලක්කොට තිබේ. ඇතැම් සම සේවකයින් තුළ ඇස් රතුවීම, උණ තිබීම, කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, රැකියාවෙහි යෙදී සිටියදී ක්ලාන්තවීම ද සිදු වීම නිසා සේවකයින් බියට පත් වී සිටියි. මානව සම්පත් අංශයේ නිලධාරීන් නිවසේ සිට රැකියාවේ කටයුතු සිදු කරන බැවින් කම්කරුවන් වෙනුවෙන් වගකීම භාර ගැනීමට බලධාරීන් කිසිදු අයෙකු නොමැති බැවින් තත්වය විශේෂයෙන් භයානක ය.

ඊට අමතරව, සඳුදා (මැයි 10 වන දින) ආසාදිත බවට නිරාවරණය වූ කම්කරුවන් තවමත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙනගොස් නැත. පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නේවාසිකාගාරය තුළට වී සිටින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් පවසා තිබේ. මැයි 10 වන දින ආසාදිත යැයි නිරාවරණය වූ එක් සේවිකාවක් මේවන විට ඇයගේ නේවාසිකාගාරයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියි. එම නේවාසිකාගාරයේ තවත් සේවිකාවන් නව දෙනෙකු වාසය කරයි. කෙසේ වෙතත් එම ස්ථානය ස්වයං නිරෝධායනය සිදුවෙමින් පවතින ස්ථානයක් බව දැක්වෙන දැන්වීමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ඔවුන්ගේ නේවාසිකාගාරයේ අලවා නැත.

යුනයිටඩ් ටුබැකෝ ප්‍රොසෙසින් (යූටීපී) (පුද්) සමාගම සහ හයිඩ්‍රාමනී ගාමන්ට්ස් කටුනායක (පුද්) සමාගම ආදී වෙනත් සමාගම්වල සේවකයින් ද මෙම නේවාසිකාකාරයේ ජීවත්වන නමුත්, රැකියාවට නොපැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී නැත. ඔවුන්ගේ නේවාසිකාගාරය පිටත ස්වයං නිරෝධායන ස්ථානයක් ලෙස දැන්වීමක් අලවා නැති නිසා, ඔවුන්ගේ නිවාඩු කපා දමනු ඇතැයි සේවකයින් බියට පත් වී සිටියි. සේවකයින් නව දෙනාම එක් වැසිකිලියක් භාවිතාකරන අතර, රෝගය ආසාදිත සේවිකාව එය උදෑසන 5.00 ට භාවිතා කරන අතර, අන් අය ඉන්පසුව භාවිතා කරයි. ඔවුන්ට සුදුසු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමැතිවීම නිසා වෛරසය ව්‍යපාත්වීමේ ඉහළ අනතුරුදායකත්වයක් තිබේ.

ස්මාර්ට් ෂර්ට්ස් (ලංකා) ලිමිටඩ්, ඒටීජී ග්ලව්ස් නිටින් (පුද්) සමාගම, ස්ටාර් ගාමන්ට්ස් (පුද්) සමාගම, නෙක්ස්ට්, ස්ක්‍රීන්ලයින් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, ස්කයි ස්පෝර්ට් ලංකා පුද්ගලික සමාගම, ඊසි සේල්, එල්ස්ටීල් සහ බ්‍රැන්ඩික්ස් යන කර්මාන්තශාලාවල සේවකයින් විශාල සංඛ්‍යාවක් ආසාදිත බව පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ.

තමන් රැකියාවට නොගියහොත් එම දින ගණන තමන්ගේ නිවාඩු වලින් කපා දමනු ඇතැයි ඇතැම් කර්මාන්තශාලාවල සේවක-සේවිකාවෝ බියට පත් වී සිටිති. ආසාදිත වූ බොහොමයක් දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙනගොස් නැත.

එසේම එන්නත්කරන වැඩසටහනක් පිළිබඳව ද දැනුම් දී නැත. නේවාසිකාගාර තුළ දී කම්කරුවන් නිරෝධායනය වන විට එම ස්ථාන නිරෝධායනය සිදුවන සිථාන ලෙස හැඳින්වෙන දැන්වීම් අලවා නොමැති අතර, තමන්ව සහ අන් අයවද අනාරක්ෂිත තත්වයට පත්කරමින් සේවකයින් නවාතැන්වලින් පිටතට යාම සහ නැවතත් ඒවාට පැමිණීම සිදු කරයි.

මෙය ඉතාම භයානක තත්වයකි. කම්කරුවන් නිවසේ රැඳීසිටිය හොත් ඔවුන්ගේ වැටුප් කපා දැමෙන බැවින් ඔවුන් නිවසේ රැඳී සිටීමට ද පසුබට වේ. එබැවින් ඔවුන්ට නිවසේ රැඳී සිටිමට ද නොහැකි නිසා ඔවුන් රැකියාවට පැමිණීම සිදු වේ. විශේෂයෙන්ම ස්වයං නිරෝධායනයෙහි යෙදී සිටින සේවකයා තමන්ගේ කර්මාන්ත ශාලාවෙන් නොවේ නම්, කම්කරුවන් සුපුරුදු පරිදි දිගටම රැකියාවට යාම සිදුකරයි. කම්කරුවන් ආසාදිත බව පරීක්‍ෂා කර ස්වයං නිරෝධායනයකට හෝ මධ්‍යස්ථාන වෙත යවනු ලබන විට දී, ඔවුන්ගේ සමීප ඇසුරුකරන්නන්/ සම සේවකයින් පිළිබඳව ප්‍රමාණවත් පරීක්ෂණයක් සිදු නොකෙරේ.

කෝවිඩ් 19 වෛරසය සඳහා සේවකයින් 300 දෙනකු ආසාදිත බව හඳුනා ගැනීමත් සමඟම බියගම පිහිටි මාස් ඇක්ටිව් ලිනියා ඉන්ටිමෝ කර්මාන්තශාලාව ද ඉතාම දැඩිලෙස බලපෑමට ලක් වී තිබේ. නමුත් ඉතිරි සේවකයින් අඛණ්ඩව රැකියාවේ යෙදෙමින් සිටියි.

ස්ක්‍රීන්ලයින් වැනි සමහර කර්මාන්ත ශාලාවල දී මූලික සෞඛ්‍ය හා ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කිරීමක් සිදු නොවන අතර, කම්කරුවන්ටතම ආරක්ෂාව පිළිබඳව බියෙන් සිටීමට සිදු වී තිබේ. සියලුම කම්කරුවන් මුවවැසුම් පැළඳ අත් සේදිය යුතු නමුත්, එක් යන්ත්‍රයක වැඩකරන නිසා සේවකයින් 15-20 දෙනෙකුට එකිනෙකාට සමීපව වැඩකිරීමට සිදුවී තිබේ. යන්ත්‍ර ජීවානුහරණය කිරීම සිදු කරන්නේ දින 2-3 කට වරක් පමණි.

මාස් ඇක්ටිව් ලිනියා ඉන්ටිමෝ, සිලුඑටා පුද්ගලික සමාගම, සහ ඇන්සල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සේවකයින් බොහෝ දෙනකු කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති අතර, වෙනත් කර්මාන්ත ශාලාවල සේවකයින් ද නැවතී සිටින පුද්ගලික නේවාසිකාගාර තුළ ස්වයං නිරෝධායනය වන ලෙස ඔවුන්ට පවසා තිබේ. වෙනත් කම්කරුවන් ද මෙම නේවාසිකාගාරවල ජීවත්වන බැවින්, සහ ඔවුන්ගේ නේවාසිකාගාරවල සිට ඔවුන් රැකියාවට යන බැවින් මෙම නේවාසිකාගාර අසල ජීවත්වන්නන්ට ද කෝවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳව අනතුරුදායකත්වයක් තිබෙන අතර, ආරක්ෂක ක්‍රියාමාර්ග ගනු නොලැබුව හොත් වෛරසයේ ඉක්මන් හා වේගවත් ව්‍යාප්තියක් ඇතිවනු ඇත.

බොඩිලයින් ප්‍රයිවට් ලිමිටඩ්, හොරණ

මෙම කර්මාන්තශාලාව තුළ කම්කරුවන් 100ක් පමණ කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ. ඔවුන් සඳහා මුදල් හෝ වියළි ආහාර වශයෙන් කිසිදු සහනයක් ලබා දී නැත.
හොරණ පිහිටි ටයෑන් ලංකා ස්ටීල් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ ලාඕජී සමාගම්වල ද කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ලාඕජී කර්මාන්තශාලාව මේ මොහොතේ දී වසා ඇති නමුත්, අනෙක් කර්මාන්තශාලා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙමින් තිබේ.

ලලන් රබර් (පුද්ගලික) සමාගම, තිහාරිය හොරගස්මංකඩ

පසුගිය රැල්ලටම සමානව මේ අවස්ථාවේ දී ද, කම්කරුවන්ට වෛරසය ආසාදිත බව හදුනාගනු ලැබූව ද, ප්‍රවෘත්තිය පිටතට යනු ඇතැයි බියෙන් කර්මාන්තශාලා හිමිකරුවන් විසින් PCR පරීක්ෂණ සිදුකර නැත.

ඇක්වා ගාමන්ට්, මීගමුව

ඔවුන්ගේ සේවකාවන් 127 දෙනෙකු ආසාදිත බව හඳුනාගනු ලැබූවද, අනෙකුත් සේවකාවන් කර්මාන්ත ශාලාවේ අඛණ්ඩව වැඩකරමින් සිටියි.

මෑන්පවර් කම්කරුවන්

රැකියාවට පැමිණීමට පෙර පරීක්ෂණයක් සිදුකරගත යුතු යැයි ඇතැම් කර්මාන්තශාලා මගින් බලකර සිටින අතර බොහෝ කම්කරුවන්ට ඒ සඳහා වියදම් කිරීමට නොහැකිය. මෑන්පවර් නියෝජිත සමාගම් ද ඒ සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ නිසා ඔවුන් රැකියාවට නොගොස් නේවාසිකාගාරවල රැඳී සිටියි. ඇතැම් කර්මාන්තශාලාවලින් මෑන්පවර් සේවකයින් රැකියාවේ යොදවාගනු ලැබූව ද, ඔවුන්ට එක් කර්මාන්තශාලාවක් තුළ දිගුකාලීන රැකියාවක් ලැබෙන්නේ නැත. එසේම මේ අවස්ථාවේ දී බොහෝ කර්මාන්තශාලා විසින් මෑන් පවර් සේවක-සේවිකාවන් බඳවා නොගන්නා නිසා ඔවුහු රැකියා විරහිතව දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටිති.

(2021 මැයි 13 වන දා/නිදහස් වෙළඳ කලාප සේවකයින් – තත්වය යාවත්කාලීන කිරීම 4)

srilankabrief.org

පෞද්ගලික වාහනයක ගමන් කරනා විට පිළිපැදිය යුතු උපදෙස් ?

0

එකම පවුලේ සාමාජිකයන් පෞද්ගලික වාහනයක එකට ගමන් කරන විට වාහනය තුළ මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau – Sri Lanka) පවසයි.   තම පවුලේ පෞද්ගලික වාහනයක ගමන් කරන එකම පවුලේ සාමාජිකයින් වාහනය තුළ මුහුණු ආවරණ පැළඳිය යුතු බවට පුවත්පතක පළවී ඇති වාර්තාව සම්බන්ධයෙන් ‘නිව්ස්වයර්’ (newswire.lk) වෙබ් අඩවිය කළ විමසීමකදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. ඩී. කොග්ගලගේ එබව සඳහන් කර ඇත.  

පෞද්ගලික වාහනවල ගමන් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් ඔහු පවසා ඇත්තේ, වාහනය තුළ මුහුණු ආවරණ පැළඳිය යුත්තේ විවිධ පවුල්වල සාමාජිකයන් හෝ පෞද්ගලික වාහනයක නොදන්නා මගීන් දෙදෙනෙකු පමණක් ගමන් කරනා විට දී බවයි.   රියදුරු හැර මගීන් දෙදෙනෙකුට පමණක් වාහනයේ ගමන් කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් දී තිබේ.  

tw

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ද පවසන්නේ සිය පවුලේ සාමාජිකයින් සමග පෞද්ගලික වාහනයකින් ගමන් ගන්නා අවස්ථාවකදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවයි.   එහෙත්, පෞද්ගලික වාහනයක පිටස්තර පුද්ගලයින් නංවා ගෙන යන්නේ නම්, එවැනි අවස්ථාවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන බව ඔහු අවධාරණය කර සිටියි.    
theleader.lk