Tuesday, September 24, 2024
Home Blog Page 34

පාඨලී CID එකට යයි !

0

විපක්ෂය නියෝජනය කරන පාඨලී චම්පික රණවක හිටපු කැබිනට් අමාත්‍යවරයා ව අද CID වෙත කැඳවා ඇත. පසුගිය පාලන සමයේ අමාත්‍යාංශයේ සිදු වූ කරුණු සම්බන්ධයෙන් විමසීමක් කිරීමට මෙලෙස කැඳවා ඇත. පාඨලී චම්පික මන්ත්‍රිවරයා සමගින් සමගි ජනබලවේගයේ ප්‍රධාන නායකයන් කිප දෙනකුද මේ අවස්ථාවට පැමිණ සිටියහ.

ගුවන් බෝම්බයෙන් මරා දැමූ උතුරේ සිසු දරුවන් සැමරේ

0

   

2 Shares facebook sharing button Share

 විසි හය  වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනයේ රජයේ විදුහලකට ගැසූ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පාසල් දරුවන් ඇතුලු පිරිසක් උතුරේදී  දී අනුස්මරණය කර තිබේ.  

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සිවාජිලිංගම් සැප්තැම්බර් 22 වැනි බදාදා සිය නිවසේදී එම අනුස්මරණය සිදු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.  

1995 සැප්තැම්බර් 22 වැනිදා යාපනයේ නාගර්කෝවිල් විදුහලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුකාරා ප්‍රහාරක යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසැල් සිසු-සිසුවියන් 26 ක් ඇතුළු 41 දෙනෙක් විදුහල් පරිශ්‍රය තුළ සහ ආසන්න මාර්ගයේදී මරණයට පත්ව තිබුනි.   චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පළමු  පාලන සමයේ යාපනයේ නාගර්කෝවිල්  විදුහලට ගුවන් බෝම්බ   ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් මාර්ෂල් ඔලිවර් මැතීව් රණසිංහ විසිනි.   2007 ඔක්තෝම්බර් මස 01 වන දින ඔහු එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලද්දේ ගුවන් හමුදවටත් රටටත් කළ සේවය අගයමින් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.   ගුවන් හමුදා ප්‍රහාරයෙන් මිය ගිය සිසු-සිසුවියන්ගේ නම් වයස සමග  පහත පරිදිය.  

ධර්මලිංගම් උෂාන්ති (13), මර්කන්ඩු නාගලෝගිනී (10), තාමෝදරම් සකුන්තලා (12), ආර්. රෙජීනා (11), ලෝගරාජා තුෂාන්තිනී (14), රවීන්ද්‍රන් අමීර්තා (10), බාලචන්ද්‍රන් රජිතා (10), නවරත්නසාමි උමාදේවී (12), සුන්දරලිංගම් පලනි (15), සුන්දරලිංගම් තර්සිනී (14), කුගසරවනමලෛ තර්සිනී (13), රාජීවන් ගාන්ධි වේනු (11), ක්‍රිස්ණගෝපාල් තවසීලන් (13), රාජරත්නම් කවීතා (10), නාගමුත්තු සෙන්තිවේල් (15), අල්ෆොන්ස් අමලවිජී (14), මහාලිංගම් සන්මුගවඩිවේලන් (16), ආර්. සුමිත්‍රා (10), කේ. මේදිනී (14), නවමනී මිදුරා (14), සෙල්වම් (15), රාඝවන් (16), තංගරාසා වසන්තකුමාර් (6), මයිල්වාගනම් ඥාණරදන් (14) හා රන්ජිත්කුමාර් රාජිතා (11).  
theleader.lk

101
102
103

තිලිපන් සැමරුමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රි අත්අඩංගුවට !

0

දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන යාපනය පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇතැයි යාපනේ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
නල්ලූර් කන්දස්වාමි කෝවිල අසල පැවති තිලිපන් සැමරුමකට සහභාගිව සිටියදි යාපනය පොලිසිය විසින් මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගෙන යාපනය පොලිසිය වෙත රැගෙන ගොස් තිබුණි.
ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන මෙන්ම ජාතින් අතර සමගිය ගැනද ශ්‍රිලංකා ජනාධිපතිවරයා ඊයේ එක්සත් ජාතින් ගේ සමුළුව අමතින් කරනු දක්වා ඇත.

https://twitter.com/visitharan2/status/1440977834848268293



රටපුරා හමුදා කැඳවු ජනපති ප්‍රචණ්ඩත්වයකට යළි ඉඩ නැතැයි කියයි !

0

සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.

කතාවරයාවරයා සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.

මේ අතර ඊයේ දිනයේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව තුළ නැවත කිසි දිනක ත්‍රස්තවාදී ප්‍රචන්ඩත්වයක් සිදු නොවන බවට ස්ථිර පොරොන්දුවක් ලෝකයට දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කථාව

සභාපතිතුමනි, මහලේකම්තුමනි,
රාජ්‍ය නායකවරුනි, ගෞරවනීය නියෝජිතයිනි,
නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්

අද පැවැත්වෙන මෙම උත්කෘෂ්ට රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට ගෞරවයකි.

76 වන මහා මණ්ඩල සැසිවාරයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතිගරු අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මැතිතුමන්ට මම පළමුවෙන් සුභපතමි.

සභාපතිතුමනි, ඔබ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකි. ඉදිරි වසරේ දී ඔබ සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

මීට පෙර පැවති මහා සභා සැසිවාරයේ දී අතිගරු Volkan Bozkir (වොල්කන් බොස්කීර්) මැතිතුමන් දරන ලද භාරකාරත්වය අගය කිරීමට සහ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමන් මෙම දුෂ්කර අවස්ථාවේදී ලබාදෙන නායකත්වය අගය කොට සැලකීම සඳහා මෙය අවස්ථාවක් කර ගනිමි.

සභාපතිතුමනි, කොවිඩ් – 19 වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ තම සමීපතමයන් අහිමි වූ සියලු දෙනා වෙත මාගේ සාතිශය සංවේගය පිරිනමමි.

ලොව පුරා සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය සේවකයින්ගේ කැපවීම ගැන මම ස්තූති කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ප්‍රශංසා කරමි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ වඩා ප්‍රශස්ත ලෙස නැවත රටවල් යථා තත්ත්වයට ගොඩනැගීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව, කලාපීය දැනුම් කේන්ද්‍රයක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.

වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමේදී විද්‍යාත්මක පර්යේෂකයින් හා වෛද්‍ය ප්‍රජාවන් විසින් සිදුකරන ලද වේගවත් නිර්මාණාත්මක කාර්යභාරය මම ඉතා ඉහළින් අගය කරමි.

ඒ අතරම, භයානක නව වෛරස් ප්‍රභේද පැතිරවීම වැළැක්වීම සඳහා එන්නත් නිෂ්පාදනය, බෙදාහැරීම, ලබාදීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් වන අභියෝග වහාම ජයගත යුතු බව හඳුනා ගත යුතුව ඇත.

සෑම තැනකම සෑම කෙනෙකුටම එන්නත ලබාදී ඇති බවට සහතික වීම වසංගතයෙන් මිදීමේ හොඳම ක්‍රමවේදයයි.

තවමත් සංවර්ධනය වෙමින් පවතින ජාතියක් වුවද, ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ ඉතා සාර්ථක වී ඇත. වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයින් සියලු දෙනාටම පාහේ මේ වන විටත් පූර්ණ වශයෙන් එන්නත් ලබාදීමට අපි කටයුතු කර ඇත්තෙමු. ඔක්තෝම්බර් මස අවසානය වන විට වයස අවුරුදු 20ට වැඩි සෑම දෙනාටම පූර්ණ වශයෙන් එන්නත ලබාදෙනු ඇත. නුදුරු අනාගතයේදීම අපි අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන්නෙමු.

එන්නත්කරණ ක්‍රියාවලියේ වේගවත්භාවයට පාදක වූයේ සෞඛ්‍ය සේවකයින්, හමුදාව සහ පොලිස් නිලධාරීන්, රජයේ සේවකයින් සහ තෝරා පත් වූ ජනතා නියෝජිතයින් අතර වූ සම්බන්ධීකරණයයි.

වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් සපයන ලද මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර වලින් ද ශ්‍රී ලංකාව විශාල ප්‍රතිලාභයක් ලැබීය. මෙම ජාතීන්ට සහ ආයතනවලට ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය පිළීබඳ මම ස්තූතිවන්ත වෙමි. මෙම පවතින අර්බුදකාරී කාලය තුළ ගෝලීය වශයෙන් දක්නට ලැබෙන ඉමහත් සහයෝගීතාවය බෙහෙවින් දිරිගන්වන සුළුයි. කෙසේ වෙතත්, කළ යුතු තවත් බොහෝ දේ ඇත.

සභාපතිතුමනි, වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇත. මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම අවධානමකට ලක්කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණය තුළින් සංවර්ධන මූල්‍යකරණය සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ඛේදජනක ජීවිත හානි වලට අමතරව අපේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අගුලු දැමීම් සහ සාමාන්‍ය සංචරණ සීමා පැනවීම්, ජාත්‍යන්තර සංචාරකයින් පැමිණීම පහළ වැටීම සහ මන්දගාමී ගෝලීය වර්ධනය අප ආර්ථිකයේ සෑම අංශයකටම බලපා ඇත.

ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන මාර්ගයක් වන හා ජනගහණයෙන් 14%කට ආසන්න ප්‍රමාණයක් යැපෙන සංචාරක ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටී ඇත. මෙම කර්මාන්තය සහ අනෙක් බොහෝ අංශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, පොලී සහන සහ වෙනත් මූල්‍ය ආධාර ලබාදීම වැනි රජයේ ආධාර ක්‍රම මගින් සහන ලබාදුනි. දෛනික වැටුප් ලබන්නන් සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා මුදල් ප්‍රදානයන් සහ වියළි සලාක ලබාදීම, අගුලු දැමීම කරන කාලසීමාවේදී ක්‍රියාත්මක කරලීම තුළින් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස වැඩිවිය.

වසංගතයේ ක්ෂණික බලපෑම්වලට අමතරව මෙම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාකයන් අපගේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තිබූ මූල්‍ය අවකාශය සීමා කර ඇත.

සභාපතිතුමනි, වසංගතයේ ප්‍රතිවිපාකයන් මනුෂ්‍යත්වයට බෙහෙවින් විනාශකාරී වූ අතර, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඊටත් වඩා විශාල අභියෝගයන්ට ලෝකයට මුහුණ දීමට සිදුවේ.

දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ මෑතකාලීන වාර්තාවේ අවධාරණය කර ඇති පරිදි පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරූ බලපෑම් දැඩි කනස්සල්ලට කරුණකි. දේශගුණික විපර්යාසයන්ගෙන් හා ජෛව විවිධත්වය නැතිවීමෙන් සිදුවන බරපතළ තර්ජනයන්ට පිළියම් යෙදීම සඳහා තීරණාත්මක හා ක්ෂණික බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත ශ්‍රී ලංකාවේ දාර්ශනික උරුමයන් මුල් බැස ඇති අතර පාරිසරික අගය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල නීල ප්‍රඥප්තියේ පතාක යෝධයෙකු වන අතර මෙරට කඩොලාන ප්‍රතිසංස්කරණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ මෙම සන්දර්භය තුළය. වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට බලාපොරොත්තු වන, ‘තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රඥාප්තිය’ සම්මත කර ගැනීමෙන් පරිසර දූෂණය අවම කිරීමේ ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව ද දායක වී තිබේ.

අප්‍රේල් මාසයේදී පැවති පූර්ව-සමුළුවට මාර්ගගත ක්‍රමයට (virtually) සහභාගී වීම තුළින්, මෙම මස අගදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව ගෝලීය වශයෙන් සෞඛ්‍යය සම්පන්න, තිරසර හා සාධාරණතාත්මකතාවයකින් යුතු ආහාර පද්ධති ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකාරී ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි. එවැනි ප්‍රතිඵල මානව සෞඛ්‍යයට මෙන්ම අපගේ පෘථිවියේ සෞඛ්‍යයට ද ඉතා වැදගත් වනු ඇත.

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අංගයකි. පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මගේ රජය විසින් මේ වසර මුලදී රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක භාවිතය තහනම් කළේය

කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝඡන දිරි ගැන්වමින් පවතී. ශ්‍රී ලංකාවේ වඩාත් තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් ගෝලීය ආයතන සහ රාජ්‍යයන් බොහෝමයකගෙන් ලැබුණු දිරිගැන්වීම මම අගය කරමි.

අපේ පරිසරය සුරැකීම අපේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවයකි. ඉදිරි දශක කිහිපය තුළ දී වනාන්තර ආවරණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම අපගේ අරමුණයි. රට පුරා පිහිටි ගංගා 100 කට අධික ප්‍රමාණයක් පිරිසිදු කර ප්‍රකෘතිමත් කිරීමට සහ ගංගා හා සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීමට ද අපි කටයුතු කරමින් සිටිමු. පාරිසරික සංරක්‍ෂණයට සහාය දීමක් වශයෙන් තනි භාවිතය සඳහා වූ ප්ලාස්ටික් ද අපි තහනම් කර ඇත්තෙමු.

පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. අපගේ බලශක්ති ප්‍රතිපත්තිය මඟින් වසර 2030 වනවිට අපගේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් දක්වා සූර්‍යබල, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාදෙන දායකත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

සභාපතිතුමනි, සිය ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. ආයෝඡන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට, අප රටේ භූ උපායමාර්ගික පිහිටීම සහ අපගේ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණු ශ්‍රම බලකාය උපරිම ප්‍රයෝජනයට ගැනීමට අපි අදහස් කරන්නෙමු.

මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම අපගේ සියලුම ජනතාව සමෘද්ධිමත් කිරීම සඳහා නීතී, නියාමන, පරිපාලන හා අධ්‍යාපන යන ක්ෂේත්‍රයන් හි පුළුල් වූ ප්‍රතිසංස්කරණ ඇතිකිරීම කෙරෙහි මගේ රජය අවධානය යොමු කර ඇත.

නිදහස ලැබීමට පෙර සිටම ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය භුක්ති විඳ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපේ ජීවන රටාවේ ඉතා වැදගත් අංගයකි. වසර 2019 දී මාව තෝරා පත්කරගැනීම සහ 2020 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණය තුළින් පිළිබිඹු වුයේ සමෘද්ධිමත් සහ ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සහ ජාතික ආරක්‍ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් විසින් මාගේ රජයට ලබාදුන් ප්‍රබල ජනවරමයි.

වසර 2019 දී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී, අන්තවාදී ආගමික ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද විනාශය ශ්‍රී ලංකාව අත්වින්දේය. එයට පෙර, වසර 2009 වන තෙක් ශ්‍රී ලංකාව වසර 30 ක බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයකින් පීඩා වින්දේය. ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර එය ජය ගැනීමට නම්, විශේෂයෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍ය වේ.

පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමිකර ඇත. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී. එම නිසා, ඒ පිටුපස ඇති මූලික ගැටලු විසඳීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.

කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන තුළින් වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සඳහා සාධාරණත්වයෙන් යුතු සහභාගීත්වය සහතික කිරීම ද එසේම විය යුතුය.

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්‍ෂිත අනාගතයක් ගොඩනැගීම මාගේ රජයේ දැඩි අරමුණයි.

මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට අප සූදානම්.

කෙසේ වෙතත්, ස්ථිරසාර ප්‍රතිඵල ලබා ගත හැක්කේ ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන දේශීය ආයතන තුළින් පමණක් බව ඉතිහාසය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතන වලට තම කාර්යයන් හා වගකීම් ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතුය.

ගරු සභාපතිතුමනි, ගරු නියෝජිතවරුනි,අද අපගේ මහා සමුළු විවාදයේ තේමාවට අනුකූලව අප බලාපොරොත්තුසහගත බව තුළින් සැබැවින්ම ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනඟා ගැනීමට නම්, අප සැම දෙනාම පොදු යහපත සඳහා කටයුතු කළ යුතුයි.

සියළුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීමෙන් සහ ඔවුන්ගේ යාන්ත්‍රණයන් හා උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකීමෙන් මේ සඳහා පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයයි.

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස මම එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමි.

සියලු මනුෂ්‍ය වර්ගයාට යහපත් හා තිරසර අනාගතයක් ඇති කිරීම සඳහා සැබෑ සහයෝගීතාවයෙන්, ත්‍යාගගශීලීව හොඳ හිත පෙරදැරිව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එකට වැඩ කරන ලෙස මෙම උත්තරීතර සභාවේ සාමාජික රටවලින් මම ඉල්ලා සිටිමි.

ඔබට ස්තුතියි!

කසීගේ ලෝකය (1): හැරියට් තුබ්මාන්, පාපන්දු සහ ත්‍රෛයි-ජාතිවත්වය

0

ඡායාරූපය: හැරියට තුබ්මාන් (පොතක කරවරයකිනි)

සුනන්ද දේශප්‍රිය විසිනි.

පෙරේදා රෑ  අප දෙදෙනා ප්‍රෑන්ක් 10ක් ගෙවා ප්‍රංශයේ පැරි සන් ෂෙර්මා  paris saint germain සහ බෙල්ජියමේ බ්‍ර්ෂ Bruges කණ්ඩායම අතර පැවැති පාපන්දු තරඟය නැරඹුවෙමු.  ඒ ලොව දක්ෂකම පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙකු වන බ්‍රසීලියේ නෙර්මා, ආරජින්ටීනායේ මෙර්සි සහ ප්‍රංශයේ එම්බපේ ප්‍රථම වතාවට එක් කණිඩායමකට ක්‍රීඩා කරනු දැකීමටය. ඒ පරසිදු පැරි සන් ෂෙර්මා කණ්ඩායමයි.

එම්බපේ, මෙරිසි සහ නේමාර්

මාස ගණනාවකට පෙර ලියා තිබූ මෙම ලිපිය මට මතක් වූයේ එ තරඟය අවස්ථාවේය.

දිනක මම වෙබ් අඩවියට පින්තූරයක් සොයමින් ඒවා බාගත කරමින් සිටියෙමි. එවිට මගේ ඇදට වී සිය ජංගම දුරකථන තිරය මත පීපා පාපන්දු තරඟ ක්‍රීඩා කරමින් සිටි මගේ කුඩා මිතුරා, “සුනන්ද ඔබට එහෙම පින්තූර බා ගත කර ගන්න අයිතියක් නෑ නේද” කියා ඇසුවේය.

එවිට මම “ඔව් කොපි රයිට් නැති පින්තූර  ගන්න පුලුවන් වෙබ් අඩවි තියෙනවා” යැයි කියා එවැන්නක් පෙන්වන්නට යන විට “නෑ නෑ මේ බලන්න” කියා ගූගල් හි උඩ තීරුවේ තැනක් ක්ලික්කර එවැනි පින්තූර ඇති බව පෙන්නුවේය. මා එය දැන ගත්තේ එදාය. අනෙක් සැබැදිය මට ලකුණු කර දුන්නේ මට අංකල් යැයි කියන සංජය එක්නැළිගොඩය.

ඔහු වසර තුනෙහි දී ස්ක්‍රී ක්‍රීඩාව පටන් ගක්කේය.

මගේ කුඩා මිතුරා උපත ලද්දේ මා මෙහි පැමිණ වසරක් තරම් යද්දීය. දැන් ඔහු 11වන වියට පා තබමින් සිටී. දරුවන්ගෙන් ඉගෙන ගැනීම වැඩිහිටියකුට මහත් සතුටකි.

ලෝකය ඉස්සරහට යන බව දැනෙන්නේ එවිටය.

දවසක් හැම ඉරිදාකම මෙන් තවත් ඉරිදාවක උදේ අප පැයක් පමණ උදේ කෑමට ගත කරත්දී ඔහු අපට පා පන්දු ප්‍රශ්ණ විචාරාත්මක වැඩ  සටහනක් ඉදිරිපත් කළේය. කවානී දැන් ගහන්නේ කොහේද? එම්බපේ සෙල්ලම් කරන ස්ථානය මොකක්ද? නේමාර් කුමන කණ්ඩායමටද ගහන්නේ? යනාදී වශයෙනි. මියුනික් හි බයාන් කණ්ඩායමට ගහන ලෙවන්ඩොස්කි මොන රටේද? යුරෝපා ලීගයට ගහන ක්‍රිඩකයින්ගේ නම් ඔහුට කඩ පාඩම්ය.

මම පාසැල් අවධියේ බටහිර ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ නම් ගම් අකුරක් නෑර දැන සිටි පරිදිය.

එක් සති දිනක ඔහු පාසැල අවසන්ව පැමිණ මෙසේ කීවේය. “අපට සඟරාවකට ලියන්න මාතෘකා තෝර ගන්න කිව්වා. මම හැරියට් තුබ්මැන් තෝර ගත්ත”

ඔවුන්ගේ සඟරාවේ මුල්පිට

ඇයගේ නම ඔහුගේ ගුරුවරිය වන බ්‍රිජෙට් දැන සිටි නැත. ගුරුවරිය වහාම ගූගල් කර නම සොයා ගෙන ඊට අනුමැතිය දුන්නාය.

එහි අවසාන පිටුවේ මැන්ඩෙලාගේ මේ කියමන එයි: “ නිදහස යනු යදමින් තොරව දිවි ගෙවීම පමණක් නොවේ; අනෙකාගේ නිදහසට ගරුකරමින් එය ශක්තිමත් කරමින් දිවි ගෙවීමය.”

හැරියට් තුබ්මාන් යනු ඇමෙරිකාවේ කලු ජාතික වහලියකව සිට බේරි පැන අවුත් ඉන්පසු එම රහසිගත මඟ දිගේම වහලුන් සහ වහලියන් සියයක් පමණ වහල් හිමිකම නීත්‍යනුකූල වූ දකුණේ සිට ඇමෙරිකානු උතුරට ගෙන ආ වීරවරියකි.  ඇමෙරිකානු නිදහස් අරගලයෙහි දී ඇය විවිධ සේවාවන් ඉටු කළ අතර පසුව තුවක්කුවක් අතට ගෙන ඍජුවම නිදහස් යුද්ධට ද දායක වූවාය.

මා මෙහි ආ දා සිට මට සෙවනක් ලබා දෙන මගේ මිතුරාගේ මව පවා හැරියට් තුබ්මාන් ගැන දැන සිටියේ නැත. විමතියට පත් අය “ කොහෙන්ද ඇය ගැන දැන ගත්තේ” ඇසුවාය. “පොත් වලින්” කෙටි පිළිතුරකි.

2016 දී තුබ්මාන් රෑපය ඇමෙරිකානු ඩොලර් 20 නෝට්ටුවට ඇතුළත් කිරීමට තීරණය ලද්දේ එහි සිටි කලින් වහල් හිමියකු වූ පසුව ඇමෙරිකාවෙහි 07වන ජනාධිපති වූ ඇන්ඩ්‍ර ජැක්සන් වෙනුවටය. ඔබාමා සමයෙහි ගනු ලැබූ ඒම තීරණය ඩොනල්ට් ට්‍රම්ප් විසින් එය නතර කළ බව අද හවස මට කීවේද ඔහුය. දැන් ජෝ බයිඩන් පාලනය එම තීරණය ක්‍රියාත්මක කිරීමට යයි.

සෑම වාරයක ඔවුන්ට ගුරුවරිය ව්‍යපෘතියක් බාර දෙයි. මුල් වාරයේ ඔහු කලේ ක්‍රිකට් ගැනය. පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමක් මගින් ක්‍රිකට් ගැන කතා කරන අතර ඔහු, තමා සතු ක්‍රිකට් උපකරණ පෙන්වූවේය. හැබැයි බොල් ගාඩ් එක නම් අරං ගියේ නැත. ඔහුගේ හොදම මිතුරා පවර් පොයින්ට් ඉදිරිපත් කිරීම කළේ උතුරු කොරියාව ගැනය.  එකල ඔහු තමා හදුන්වා ගත්තේ කැපිටෝ සෝෂලිස්ට් කියාය.

දෙවන වාරයේ මගේ කුඩා මිතුරා තෝරා ගත්තේ අයන්ස්ටයින්ය. ඔහුගේ පන්තියේ අනෙක්  ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගාන්දි, ජොර්ජ් වොෂින්ටන්, නීල් අම්ස්ට්‍රොං, ඈන් ප්‍රෑන්ක්, ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් යනාදී මාතෘකා තොරා ගත්හ.

මේ ලංකාවේ දරුවන් පහේ ශිෂ්‍යත්වයට මැරී මැරී පාඩම් කරන වයසය.

හැරියට් තුබ්මාන්  ගැන ලිවීමට   ඔහු ගූගල් ගවේෂනයන්හි නිරත විය.

පසුගිය සතියේ දිනක පාසළ ද පසු-පාසළ ද අවසන්ව සතුටින් ඉපිල යමින් ආවේය. “සුනන්ද මෙන්න අපේ සඟරාව” යැයි කෑ ගැසුවෙිය. එහි මුල්  පිටුවෙහි දේදුනු වර්ණ සහ පරවියකුද පසුබිමෙහි නිදහස, අනුන් ඉවසීම, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, යන වචන විවිධ අකුරුවලින් ලියා තිබුණි. පරවියා ඇන්දෙත් අපේ පන්තියේ ළමයෙක්” යැයි ඔහු ආඩම්බරයෙන් කීවේය. එම පොදු මාතෘකා ඔවුන්ට දුන් ගුරුවරිය ඒ්වාට ගැලපෙන සේ ලිපි මාතෘකා තෝරා ගැනීමට දරුවන්ට අවසර දුන්නේය.

පිටු 16කින් සමන්විත වූ එම සගරාවෙහි මේ අප රටෙහි නම් පස්වන වසරෙහි සිටින දරුවන් ලියා තිබූ මාතෘකා මෙසේය:

චර්නොබිල් ඛේදවාදකය, සමානාත්මතාවය, මැන්ඩෙලා, ජොර්ජ් ප්ලොඩ්, ස්ත්‍රීවාදය, මියන්මාරය, චාලි චැප්ලින් යනාදියයි.

සඟරාවේ මැද පිටුව ලුෂියෝ සහ නීනා ලියූ ජොර්ජ් ප්ලොයිඩ් සහ ස්ත්‍රී වාදය ගැනය

එහි අවසාන පිටුවේ මැන්ඩෙලාගේ මේ කියමන එයි, “ නිදහස යනු යදමින් තොරව දිවි ගෙවීම පමණක් නොවේ; අනෙකාගේ නිදහසට ගරුකරමින් එය ශක්තිමක් කරමින් දිවි ගෙවීමය.”

මා පරිගණකයේ නැති අවස්ථාවල මගේ ටිව්ටර් පිටුවට යන ඔහු ෆීපා පාපන්දු ක්‍රීඩකයින්ගේ ටිවීට් ගිනුම් ඊට එක් කරයි. රොනල්ඩො, මෙර්සි,  එම්බපේ මෙන්ම ෆීපා ටිවීට්ද දැන් මගේ පිටුව පුරවා ඇත.

තමන්ට ජාතිකත්ව තුනක් ඇතැයි ඔහු කියන්නේ ආඩම්බරයෙනි. ඔහු ඉපදී හැදි වැඩෙන ස්විස්ටර්ලන්තයයි. ඔහුගේ මවගේ පවුලේ රට වන ඕස්ට්‍රියාවයි. ඔහුගේ පියාගේ රට වන කොන්ගෝවයි.

ඔහුගේ මිතුරන් මිතුරියන් ද විවිධ ජාතීන්ට අයත්ය. ඔව්හු නිවාඩුවට බ්‍රසීලයට, ප්‍රංශයට, කොළොම්පියාවට, මොරෙක්කෝවට, ඉතාලියට, ස්පාඥයට යන්නේ නෑදයන් සමඟ තුටු වීමටය.

සංගීතය, පිහිනීම, හොකී, ඇඹීම, ගෙදර වැඩ වැනි පාසල් වෙලාවෙන් පසු අමතර බෝහෝ දේ ඔහුගේ දින චරියාවට අයත්ය.

ඔහු සෑම දිනකම රාත්‍රී 8.00ට ඔහු ජරමානු රෑපවාහිනියක එන ළමා පුවත් නරඹයි. ලෝකයේ කොතැනක හෝ සිදුවන වැදගත් පුවතක් ඇතොත් සමහර විට  මටත් කලින් ඔහු එය දනී.

මා මේ සටහන ලියන්නේ අප ජීවත්වන ලෝකය දරුවන් සදහා කොතරම් ලස්සන තැනක් කළ හැකිදැයි ඔහුගේ ජීවිතය ගැන සිතන මට දැනෙන නිසාය.

ඉරිදා සවස් වරුවක අප දෙදනා විල්තෙරේ තන නිල්ලක පාපන්දු ක්‍රීඩා කරමු. අපේ ගොල් කනු දාර ගස් දෙකකි. ගිම්හානයේ නම් අපි පිහිනීමට යමු. ඔහු විල මැද සිට ඉවුරට පිහිනීමට ආසා කරයි. මේ වසරේ සිට ඔහු පා පැදියෙන් කදු තරණය ඉගෙන ගැනීමේ සතියක පුහුණූ කඳවුරකට ගියේය. ටිරෝල් ප්‍රාන්තයේ ඔස්ට්‍රියානුවන්ට  කදු  නැති නම් ජීවිතයක් නැත.

පාපන්දු ක්‍රීඩාවෙිහිදී ඔහු ගෝලිය. මට තියෙන්නේ හැකි තරම් වැරෙන් ෂූට් කිරීමය. සාමාන්‍යයෙන් අපි පැයක් ක්‍රීඩා කරමු. මට මහන්සි දැනී “යමුද” ඇසු විට “ගොල් පහක් ගන්න පුලුවන් නම්. එතකොට යමු” කියා කියයි. මම සිනහ සී ඔට්ටුව බාර ගමි.

මට වයස 70ට ඔන්න මෙන්නය. ඔහුට 11කි. අපි එකිනෙකාට නමින්ම අමතමු.  අකුරු අතර සෙනහස පිරී තිබේ.

ඉදහිට ඔහුට පාලුවක් දැනුන දවසක මටත් නොකියාම ඔහු මගේ ඇඳට පැමිණ ටින් ටින්ගේ වික්‍රම ජරමානු බසින් කියවමින් නින්දට වැටෙයි. එවැනි දවසක් එන තුරු මා බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි.

ජීවිතයක් ලස්සන වෙන්නේ එහෙමය. අනෙකෙුගේ දරුවකු යැයි කියා දරුවකු නැත.!
srilankabrief.org

රට විවෘත කරනවාද? තීරණය හෙට?

0

රට ලබන 13 වැනිදා නැවත විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් රට පුරා නිරෝධායන ඇදිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය මස 20 වැනිදාය.

එදින පැනවූ ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව තිබුණේ පසුගිය මස 31 වැනිදාය . එහෙත් එදින රට විවෘත නොකෙරුණු අතර නිරෝධායන කාල සීමාව තවත් සති දෙකකට දීර්ඝ කෙරිණ.මේ අනුව රට නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 13 වැනිදා සඳුදාය.

රජය කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මෙසේ පැණවූයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේද සෞඛ්‍ය අංශ විශේෂඥයන්ගේද ආණ්ඩුවේ ඇතැම් හවුල්කාර දේශපාලන පක්ෂ නායකයන්ගේද ඉල්ලීමක් අනුවය.
srilankamirror.com

කබ්රාල්ගෙන් හිස්වන මන්ත්‍රීධූරය කැටගොඩටද? යෝෂිතටද ?

0

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වුවහොත් හිස්වන මන්ත්‍රී ධූරය ජයන්ත කැටගොඩ මහතාට ලබාදීමට මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහාය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙලෙස සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ යළි මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා ලෙස රජය විසින් කළ ආරාධනය පිළිගැනීම නිසා බව පැවසෙන බවද වැඩි දුරටත් එම පුවතේ සදහන්ය.

මේ වන විට මහ බැංකු අධිපති ධූරය දරන මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්කෙරෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කැටගොඩ මහතාට මීට පෙර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය මෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය සඳහාද ඇරයුම් ලැබුණු බව පැවසෙන අතර ඔහු අදාළ තනතුරු දෙකම ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර ඇතැම් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතර පසුගිය දිනවල කථා බහට ලක්ව තිබුනේ මෙසේ පුරප්පාඩු යන මන්ත්‍රිධුරය යෝෂිත හටදැයි ප්‍රශ්ණ කරමිනි.

මන්ත්‍රිලා කොරෝනා බළකායේ මහාචාර්ය මම එළියේ

0

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණට වඩා මහාචාර්ය තිස්ස විතාරණ ගැන අපි දැනගන්න කැමතියි. ඔබ වයිරස‍වේදය පිළිබඳ විශේෂඥයෙක් වෙන්නේ කොහොමද?

මම 1960 දී විතර වෛද්‍යවරයෙක් විදියට පත්වුණා. ඉන් පසුව වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනය සමග එකතුවෙලා වයිරස් රෝග පිළිබඳ වැඩ කළා. මම ශිෂ්‍යත්වයක් යටතේ වැඩිදුර පුහුණුවක් ලැබීමට බ්‍රිතාන්‍යයට ගියා. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් කරලා පී.එච්.ඩී. එකක් කළා. පී.එච්.ඩී. එක එසේ නැතිනම් ආචාර්ය උපාධියටත් කළේ වයිරස් සම්බන්ධයෙන්.

ඔබට බ්‍රිතාන්‍යයේ රැඳී සිටින්න කියලා ආරාධනා ලැබුණේ නැද්ද?

මට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙන්න කියලා ආරාධනා ලැබුණා. ඒත් මට වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනය සමග වැඩ කරන්න ඕන නිසා මම ලංකාවට ආවා. 1994 දක්වා මම බොරැල්ලේ වෛද්‍ය පර්ෙය්ෂණායතනයේ කටයුතු කළා. වයිරස අංශයේ ප‍්‍රධානියා ලෙසත්, වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයේ ප‍්‍රධානියා ලෙසත් මම රාජකාරි කර තිබෙනවා.

මට විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට ඕනෑතරම් සල්ලි හම්බ කිරීමට තිබුණා. ඒත් මම ඒවා අතරහැරලා වයිරස්වලින් බෝවන ලෙඩ සම්බන්ධයෙන් වැඩ කළා. මම වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයට එන විටත් දිවා රෑ දෙකේ වසූරිය මර්දනය කිරීමට කැපවෙලා වැඩ කළා. ඒ වගේම හැමෝටම පෝලියෝ එන්නත දීලා අපි ඒක රටින් තුරන් කළා. ජපන් එන්සපලයිට් රෝගයත් ඒ විදියට රටින් තුරන් කළා.

ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් සමීපව වැඩ කර තිබුණා නේද?

ඔව්, ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දෙන කමිටුවක් තියෙනවා. මම ඒකට පත් කරලා තිබුණා. හැම අවුරුද්දකම ජිනීවාවල සම්මන්ත‍්‍රණයක් තියනවා. ඒ වගේම වෙන වෙන රටවල තියෙන සෞඛ්‍ය ප්‍රශ්නවලටත් උදව් කළා. ඒ නිසා මට තිබෙන අත්දැකීම් ඒ රටවල් සමග බෙදා ගැනීමට හැකි වුණා.

ඔබ එසේ සාර්ථක වූ අවස්ථාවන් මොනවාද?

මට මතකයි, මාලදිවයිනේ ඩෙංගු වසංගතය මර්දනය කිරීමට නොහැකිව සිටින විට මට එහේට යන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිව්වා. ඒ අනුව මම මාලදිවයිනට ගොස් එහි ඩෙංගු ව්‍යාප්තිය නතර කිරීමට කටයුතු කළා.

ඔච්චර සුදුසුකම් තිබිලත් ඇයි ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුර ප‍්‍රතික්ෂේප කළේ?

මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙල්බර්න් නුවර තියෙන පර්ෙය්ෂණාගාරයේ ප‍්‍රධානී තනතුර දුන්නා. ඇත්තටම මට එම තනතුර දෙමින් පත්වීමත් දුන්නා. ඒත් මට ලංකාවෙන් නිවාඩු තියෙන්නේ වසර දෙකක් විතරයි, ඒ නිසා නැවත ලංකාවට යන්න ඕන කියලා මම ලංකාවට ආවා.

ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කටයුතු කළේ මොන කාලයේද?

වෛද්‍ය පර්ෙය්ෂණ ආයතනයෙන් විශ‍්‍රාම ගියාට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. ඒ කාලේ මගේ දෙවැනියා විදියට වැඩ කළේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු. ඇය තවමත් ඉන්නවා. ඒත් ඇයගෙන් දැන් කිසිම වැඩක් ගන්නේ නෑ.

ඔබේ හොඳම ගෝලයා වන සිරිමලී ප‍්‍රනාන්දුගෙන් ඇයි වැඩක් ගත්තේ නැත්තෙ?

දැන් ඉන්න නිලීකා මලවිගේ වයිරසය පිළිබඳව කටයුතු කරන්න නෙමෙයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවේ. ඇය ආවේ ප‍්‍රතිශක්තිය වැඩි කිරීම ගැන අවධානය යොමු කිරීමටයි. දැන් ලංකාවෙ ඉන්න හොඳම වයිරස විශේෂඥවරිය වන්නේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දුයි. ඇය වත්මන් කොරෝනා මර්දන කමිටුවට කැඳවලා නැහැ.

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? ඉදිරියට ව්‍යාප්තවීම පිළිබඳ ඔබට මොන ආකාරයේ තක්සේරුවක්ද තියෙන්නේ?

දැනට පවතින්නේ දරුණු තත්ත්වයක්. මේ වන විට මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. අපිට ඉදිරිපත් වෙන සංඛ්‍යාලේඛනවල දැක්වෙන මරණ සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යාව ඉහළ බව තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි රෝගීන් සංඛ්‍යාවත්.

කොරෝනා රෝගීන් ප‍්‍රතිකාර ලබන රෝහල්වල දැඩිසත්කාගාර ඒකක පිරිලා. ඇඳවල් පිරිලා. ඇඳන් යටත් පැදුරු දාලා නිදාගන්න රෝගීන්ට සිදුවෙලා තියෙනවා. වසංගතය වැඩිවෙමින් යන බව අපිට පිළිගන්න වෙනවා. මේ සැබෑ තත්ත්වය තේරුම්ගෙන කොරෝනා පාලනයට අපි කටයුතු කළ යුතු වෙනවා.

ඒක පාලනය කරන්නද රට ලොක්ඩවුන් කරන්න කියලා ඔබලා ඉල්ලුවේ?

ඔව්. රට ලොක්ඩවුන් කිරීමෙන් මිනිසුන් තමන්ගේ නිවසට සීමාවෙනවා. කොරෝනා වයිරසය බෝවෙන්න පුළුවන් ආශ්වාස ප‍්‍රශ්වාස මාර්ගයේ වර්ධනය වෙලා තවත් අයෙක්ට යාම මගිනුයි. ඒ නිසා තමයි අවම වශයෙන් සති දෙකක්වත් ලොක් ඩවුන් කරන්න කියලා ඉල්ලුවේ.

දැන් රට ලොක්ඩවුන් කරල තියෙනවා. දැන් වයිරසය පාලනය වෙයිද?

රට ලොක්ඩවුන් කරන බව දවස් තුනකටවත් කලින් කියන්න තිබුණා. එහෙම වුණානම් ජනතාව තමන්ට අවශ්‍ය ආහාර එකතු කරලා තියාගන්නවානේ. දැන් මොකක්ද කළේ, එකපාරම රට වහනවා කියලා කිව්වා. මිනිස්සු කලබල වෙලා, එක්රොක් වෙන්න ගත්තා. ඒකෙන් තවත් ශීඝ්‍රයෙන් වයිරසය පැතිර යන්න ගත්තා. දරුණු ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ තියෙනවා කියලා හිතලා කටයුතු නොකිරීම වැරදියි. ලොක්ඩවුන් එකේ අදහස වෙන්නේ මිනිස්සු ගෙදර ඉඳලා වෙන කොහේවත් යන්නේ නැතිව ඉන්නවා කියන එකයි.

වයිරස් පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා කියලා අමතක කරලා ඉන්නේ ඇයි?

මම මේ මොන කමිටුවකවත් නෑ. වෙන මන්ත‍්‍රීවරු නම් ඉන්නවා. ඒ අය වයිරස් ගැන අවබෝධයක් තියෙන අයද? මම මේකට කැඳවන්නේ නැහැ කියලා මම මොනවා කරන්නද?

දැන් අලුතින් සෞඛ්‍ය ඇමැතිවරයෙක් පත් වෙලා ඉන්නවා. ඔහුවත් කොරෝනා මර්දනය ගැන ඔබෙන් උපදෙස් ගත්තේ නැද්ද?

එතුමාට අලුත් ඇමැතිකම ලැබුණම මම සුබ පැතුවා. ඒ වෙලාවේ එතුමා මා දෙසට හැරිලා මට සහාය දෙන්න වෙයි කියලා කිව්වා. එච්චරයි. එතැනින් එහාට මොනම දෙයක් වෙලා නැහැ. කලින් සෞඛ්‍ය ඇමැතිවරියට එක් වරක් පමණක් මගේ අදහස් ඉදිරිපත් කළා.

මොනවාද ඔබ ඇයට කිව්වේ?

මම එදා කිව්ව දේ එවකට සිටි සෞඛ්‍ය ඇමැතිවරිය පිළිගත්තේ නෑ. කොරෝනා පොකුරු ගැන අවධානය යොමු කරන ගමන් සමාජය ඇතුළේ කොරෝනා ව්‍යාප්ත වෙමින් තිබෙන බව මම පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොවිඩ් කමිටුවක් පත් කිරීමට මම යෝජනා කළා. එවිට ඇමැතිවරියට කමිටුවේ අදහස් ගැනීමට කටයුතු කරන්න කියලා කිව්වා.

එතැන සිට ගම් මට්ටම දක්වා කොවිඩ් කමිටු පිහිටුවන්න කියලා මම යෝජනා කළා. එතකොට එක ගමක කොරෝනා මර්දනය කිරීමට හතර පස් දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න පුළුවන්නේ.

ඒත් මේවා හිටපු ඇමැතිවරිය පිළිගත්තේ නෑ. ඒකට මම මොනවා කරන්නද? වයිරසය සමාජගතවෙලා තියෙනවා, සමාජය පදනම් කරගෙන විසඳුම් ගේන්න ඕන කියලා කිව්වත් ඒ අවස්ථාවේ වයිරසය සමාජ ගතවෙලා නැහැ කියන ස්ථාවරයේ තමයි ඇමැතිතුමිය සිටියේ.

මේ ආණ්ඩුවේ සිටින ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් තමයි රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ. ඇය සමග සාකච්ඡා කළේ නැද්ද?

ඇයට රාජ්‍ය ඇමැති ධුරය ලැබුණු අවස්ථාවේදී මට කතා කරලා මා හමුවීමට අවශ්‍ය බව කිව්වා. ඒ අවස්ථාවේදී මම එන්නම් කියලා එතුමියගේ කාර්යාලයටම ගියා. පැය එකහමාරක් විතර මම ඇයත් එක්ක සාකච්ඡා කරලා ආවා. ඇයට අවශ්‍ය ආකාරයට වැඩ කටයුතු කරන්න දෙනවාද කියන එක මට ප‍්‍රශ්නයක්.

දැන් කොරෝනා මර්දන කමිටුවේ ප‍්‍රධානියා වන්නේ යුද හමුදාපතිවරයා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

හමුදාවට හොඳ විනයක් තියෙනවා. දෙයක් කරන්න අවශ්‍ය වුණාම හොඳට ක‍්‍රියා කරනවා. පළමු වටයේදී ඔවුන් හොඳට වැඩ කළා. නමුත් ඔවුන්ට වෛද්‍ය පසුබිමක් නෑ. හමුදාපති වුණාට එතුමාට වයිරසය ගැන පුහුණුවක් ලැබිලා නෑනේ. ඒත් මේ ගැන දැනුම තියෙන අය ඉන්නවා.

ආණ්ඩුව එන්නත්තරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බව පේනවා. ඒ අතරේම ඔබ තුන්වැනි මාත‍්‍රාවක් දෙන්න ඕන කියලා කියනවා. ඇත්තටම අපිට තුන්වැනි මාත‍්‍රාවක් දෙන්න වෙනවාද?

වැඩිහිටි අයට, හදවත් රෝග, වෙනත් නිදන්ගත රෝග තියෙන අයට තමයි වැඩි අවදානමක් තිබෙන කාණ්ඩය වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් සියයට විස්සකට එන්නත නොමිලේ දෙනවා කියලා කිව්වා. ඒ වෙලාවේ අවුරුදු හැටට වැඩි අයගේ නම් ලැයිස්තුවක් සූදානම් කරන්න කියලා මම කිව්වා. මුල් අදියරේදී ඒ අයට තමයි එන්නත දෙන්න තිබුණේ. එහෙම ඒ අයට මුලින්ම එන්නත දුන්නා නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා.

සමහර රටවල් තුන්වැනි මාත‍්‍රාව දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එන්නතෙන් අවුරුද්දක් ආරක්ෂාව ලැබෙතැයි අපේක්ෂා කළා. ඒත් ඇමරිකාවෙන් එන වාර්තාවල සඳහන් වෙන්නේ එන්නතෙන් මාස හයක කාලයකට ආරක්ෂාවක් තියෙනවා කියලයි කියන්නේ. එහෙම වුණොත් තවත් මාත‍්‍රාවක් දෙන්න වෙනවා. ඒ අනුව අඩුම තරමේ මාස නමයෙන් නමයටවත් එන්නත් දීමට සිදුවෙනවා.

සාර්ස් වයිරසය සොයා ගැනීමේ ප‍්‍රධානියාව සිටි මහාචාර්ය මලික් පීරිස් ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් කටයුතු කළා. එහි වැදගත්කමක් තියෙනවාද?

මලික් පීරිස් හොංකොං විශ්වවිද්‍යාලයේ වැඩකරන ගමන් සාර්ස් වයිරස සොයා ගැනීමේ කටයුතුවල සම්බන්ධ වුණා. කොරෝනා වයිරසයට කලින් ආපු එක තමයි සාර්ස්. වූහාන්වලින් සාර්ස් මතුවන විට පර් යේෂණ කිරීමට මුල් තැන ගත් කෙනෙක් තමයි මලික් පීරිස්. අපි දෙන්නම වයිරස් විශේෂඥයන් වුණා, මම ඩෙංගු කාර්ය සාධක බලකායේ වැඩ කළා. එතුමාට කොවිඩ් වයිරසය ගැන වැඩිම දැනුමක් තියෙන පුද්ගලයෙක්.

අපේ රටේ වෙන දේ දකිනවිට අපි වගේ අයට බරපතළ කනගාටුවක් ඇතිවෙනවා.

ඔබ මුලින් කී පරිදි පෝලියෝ ලංකාවෙන් තුරන් කළා වගේ කොරෝනා වයිරසය කවදා වන විට තුරන් කිරීමට හැකියාව ලැබේවිද?

ඒක එහෙම කියන්න බෑ. මේක වයිරස් එකක් නේ. මේකේ ජාන මොන විදියට වෙනස් වේවිද කියලා කියන්න බෑ. ඒ නිසා කවදා මේක නතරවේද කියන්න බෑ. උදාහරණයක් විදියට ඉන්ෆ්ලුවන්සා වයිරසය 1918 -20 කාලයේදි වසංගතයක් ලෙසින් මේක පැතිර ගියා. ලෝකයේ ජනගහනයෙන් තුනෙන් එකකට මේ වයිරසය බෝවුණා. මරණ සංඛ්‍යාව මිලියන 30ක් විතර සිදුවුණා කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ ලෝකයේ මිලියන 30ක් මැරුණා. දැන් ඒ වයිරසය අපේ සමාජයේ තියෙනවා.

මේ වයිරසයට එරෙහිව හොඳ එන්නතක් දියුණු කරලා තියෙනවා. තවම සීතල රටවල අවුරුදු පතා එන්නත ලබාදෙනවා. ඉන්ෆ්ලුවන්සා වයිරසයේ අලුත් ප‍්‍රභේද මතුවෙනවාද කියලා බලන්න මාස් පතා ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හැදුණ අයගේ සාම්පල් එකතු කරලා, ශීත කරලා තියාගෙන අවුරුද්ද අවසානයේදී ලන්ඩන්වලට ඒවා යවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆ්ලුවන්සා මධ්‍යස්ථානයට ඒවා යවනවා. එතැනදී පර්ෙය්ෂණ කරලා අලුත් ප‍්‍රභේද මතුවෙලා තියෙනවාද කියලා බලනවා. ලෝකයේ හැමතැනින්ම සාම්පල් ලැබෙනවානේ. ඒවා බලලා, එන්නත වෙනස් කරන්න ඕනද? අලුත් ප‍්‍රභේද මතුවෙලා තියෙනවානම් ඒවට ආරක්ෂාව ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරනවා.

ඒ නිසා කොරෝනා වයිරසයට මොනවා වේද කියන්න බෑ. ඒ නිසා අපි නිවැරදිව කටයුතු කළ යුතුයි. වයිරසයේ තත්ත්වය අනුව අපි පර්ෙය්ෂණ කරමින්, වයිරසයේ හැසිරීම් පදනම් කරගෙන ඕන විසඳුම්වලට එන්න ඕන. සමහර ඒවාට ඉක්මනින් විසඳුම් සොයන්න පුළුවන්. තවත් සමහර ඒවාට විසඳුම් දෙන්න කාලයක් යාවි. කොරෝනා වයිරසය අවසන් වෙන්නේ කවදා, කො‍ෙහාමද කියලා කියන්න මම සාත්තරකාරයෙක්වත්, නක්ෂත‍්‍රකරුවෙක්වත් නෙමෙයි.

මේ වන විට කොරෝනා මරණ අටදහසේ සීමාව පසුකරගෙන ගිහින් තියෙනවා. ලංකාවේ කොරෝනා මරණ කීයක් විය හැකි බවට තක්සේරුවක් තියෙනවාද?

එහෙම තක්සේරු කරන්න බෑ. මේ වයිරසයේ තවත් ජාන වෙනස්විය හැකියි. අලුත් ප‍්‍රභේද මතුවිය හැකියි. මේවා අපි දන්නේ නෑ. මේක වර්ධනය වන ආකාරයට අපි කටයුතු කළ යුතුයි. ඒ අනුව අපි පියවර ගත යුතුයි. ඒකට නම්‍යශීලීව කටයුතු කළ යුතුයි. එක මතයකට හිරවෙලා ඉඳලා හරියන්නේ නෑ.
(අරුණ වෙබ් අඩවිය )

සුනිල් පෙරේරා ගැන ඩබ්.ජයසිරි තැබු හදට වැදුන සටහන …

0

සැප්තැම්බර් පලමුවෙනිදා
,ඒ කියන්නෙ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා
පාන්දර 6.30ට විතර මට ෆෝන්කෝල් එකක් ආවා සුනිල් පෙරේරගෙන්.
“මචං,මට email කරල උඹේ account number එක එවපං.
මගේ email එක මතක තියාගන්න හරිම ලේසියි.
no problem perera@gmail.com”.
මම ඇහුව මොකද මේ හදිසියේම”.
“මගේ birthday එක ළඟ යි නේ”.
සුනිල්,හැම අවුරුද්දෙම එයා ගෙ උපන්දිනය දාට,
සැප්තැම්බර් 14දා, “ලොරෙන්සෝ ද අල්මේදා,කොලොම්තොටට යහපත් නාවිකයා….”ගීතය ලියූ මටත් එහි සංගීතය නිර්මාණය කල කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25,000 ගානෙ රුපියල් 50,000ක් ගෙවනව.
කාලෝ විජේසිරි මියගියත් ඔහුගේ බිරිඳට ඒ මුදල තැපැල් මගින් යවනව.
අපි ඉල්ලල නෙමෙයි, සුනිල්ම හිතල ස්වකැමැත්තෙන් සිදුවන දෙයක්.
2016 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දෙම සුනිල් ගෙ උපන්දිනය දවසට ඒ වැඩේ වෙනව.
මේ අවුරුද්දෙත් ඒ කටයුත්ත වෙනදට වඩා කලින් සැප්තැම්බර් පලමුවෙනිදාම කරන්න සුනිල් ඇයි තීරණය කලේ කියල මම ඇහුවෙ නෑ.
සුනිල්ට කොරෝනා වැළඳිල, සුවපත් වෙල ආපු බව මම දන්නව.
මම ඒ ගැන ඇහුවෙත් නෑ.
සුපුරුදු ලෙස උපන්දිනය දාටම සුනිල් මුණ ගැහිල ආ ගිය තොරතුරු සැපදුක විමසන්න මම හිතාගෙන උන්නෙ.
අනේ සුනිල්,ඇයි මෙහෙම උනේ….?
සුනිල් පෙරේරා කාටවත් බයත් නැති ණයත් නැති සුන්දර මිණිහෙක්.
සුනිල්,ඔබ දෙව්මව්තුරුලේ සුබ සිහිණ දකින්න.
ඌන පූරණයක්
=මම සුනිල්ගෙන් ඇහුව ඇයි මෙහෙම අපිට මේ වගේ ගෙවන්නෙ කියල.
එතකොට සුනිල් කිවුව උඹ ලියපු සිංදුව හරිම ජනප්‍රිය යි.
ඒ සිංදුව මම තාම මගේ ෂෝස්වල ගයල මම හම්භ කරනව.
ඉතිං උඹටත් ඒ සල්ලිවලින් ගාණක් අයිතියි.

ඩබ්.ජයසිරි

ගුවන් හමුදාපති සහ අජිත් රෝහණටත් කොරෝනා !

0

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි .ඒ මහතා දැනට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයිඅජිත් රෝහණ මහතාගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .
මේ අතර ගුවන් හමුදාපති ඒයාර් මාෂල් සුදර්ශණ පතිරණටත් කොරෝනා ආසාදනය වි ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබෙ.