Saturday, September 21, 2024

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන් ලද සුවිශේෂ ජයග්‍රහණයක් – කරු ජයසුරිය

Must read

අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (21) දිනයේ 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ පවසයි.

එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාරණය සඳහන් කර ඇත.

ඒකාධිපති පාලනයකට රට යොමු කරන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, මහා පරිමාණ දූෂණ රටින් බැහැර කිරීමටත්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදීත් පෙරමුණ ගන්න බව කරු ජයසුරිය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

හිටපු කතානායකවරයාගේ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

 අපගේ බලවත් ස්තුතිය… 

”මෙම ජයග්‍රහණය සඳහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම ඒ උදෙසා අඛණ්ඩව නොසැලී පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේගයන් වෙත සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අපගේ බලවත් ස්තුතිය ප්‍රථමයෙන්ම පුද කරනු කැමැත්තෙමු.

හිටපු ජනාධිපතිවරයාගේ අභිලාශයයන් ඉටුකරනු පිණිස 20 වැනි සංශෝධනය ගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේදී මෙන්ම එය සම්මත කරගැනීමෙන් පසුව ද ඊට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි සංවිධානයක් වශයෙන් මෙම අවස්ථාවේදී අපි නැවතත් අවධාරණය කරන්නේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් ජනතාවගේ ගරුත්වය හා අපේක්ෂා තහවුරු කරනු පිණිස 22 වැනි සංශෝධනය ප්‍රමාණවත් හා අවසන් තීරණාත්මක පියවර ලෙස විශ්වාස නොකරන බවය.

අද දවසේ පාර්ලිමේන්තුව ගත් මෙම තීන්දුව අප සලකන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් තහවුරු කර ගතයුතුව තිබූ ඉතා වැදගත් අන්තර්කාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවක් ලෙසය. මෙය සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස අප සලකන්නේ ඒ අනුවය.

‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ ලෙස අප සෑම විටම නොසැලී අඛණ්ඩවම පෙනී සිටින්නේ සමස්ථ ජනතාවගේ ගරුත්වයට හා රටේ යහපතට හේතුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙනි. ජාතික ඒකාග්‍රතාවය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් ඒ සදහා  වූ සුවිශේෂී වගකීමක්  පුරවැසියන් ලෙස අප සියල්ලන් වෙතම පැවරී තිබේ.

අද දවසේ ලත් මෙම ජයග්‍රහණය ශක්තියක් බවට යොදා ගනිමින් ඒ සදහා පෙරමුණ ගන්නා ලෙස මේ රටේ සියළුම දේශපාලන බලවේගයන් වෙතින් මේ මොහොතේ අපි ඉල්ලා සිටින්නෙමු.”

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)