Sunday, September 22, 2024

මන්නාරමේ රක්ෂිතයක ඉස්සන් බෝකිරීමට ජවිපෙ විරෝධය

Must read

messenger sharing button

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි ස්වාභාවික රක්ෂිතයක් ඉස්සන් වගා කරන සමාගම් සඳහා ලබාදීමට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දරන උත්සාහයට විරෝධය පළ වී තිබේ.

වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ඉස්සන් වගා කරන සමාගම් සඳහා ලබාදීමට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය උත්සාහ දරන බවට චෝදනා කරමින් එයට බලවත් විරෝධය සහ කණගාටුව පල කර ඇත්තේ ජනාතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු විසිනි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ජුනි 23 අගහරුවාදා ලිපියක් යොමු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  බිමල් රත්නායක ඉල්ලා ඇත්තේ,  මන්නාරම, වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ඉස්සන් වගාවට ලබාදීම නතර කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද ස්වභාවික පාරිසරික රක්ෂිතයක් :

“මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම විශේෂ පාරිසරික කලාපයක් වන මෙම වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය උතුරු පළාතේ උපායමාර්ගික පාරිසරික ඇගයීම් (Strategic Environment Assessment) ව්‍යාපෘතිය මගින් යෝජනා කර, එම ප්‍රදේශයේ ඇති ජෛව විවිධත්වයේ සුවිශේෂී බව සැලකිල්ලට ගෙන නීත්‍යානුකූලව ගැසට් කර පාර්ලිමේන්තුවේද නිසි පරිදි අනුමත කරන ලද ස්වභාවික පාරිසරික රක්ෂිතයකි.”

ශ්‍රී ලංකාව පුරා  ඇති මෙවන් විශේෂතා සහිත පාරිසරික කලාප, ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණය කළ යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියක් මත මෙම වෙඩිතලතිව් පාරිසරික කලාපයද 2019 දී ගැසට් පත්‍රයකින් ස්ථාපිත කර තිබෙන බව ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වෙඩිතලතිව් රක්ෂිතය ස්ථාපිත කිරීම සඳහා වූ ක්‍රියාවලිය එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභාව, සිවිල් සංවිධාන ආදිය සම්බන්ධ කරගෙන සිදුකරන ලද මහජන සහභාගිත්ව ක්‍රියාවලියක් මඟින් හඳුනා ගන්නා ලද්දක් බව හිටපු මන්ත්‍රීවරයා අගමැතිවරයා වෙත මතක් කර දී තිබේ.

එසේ නිසි පරිදි ස්ථාපිත කරන ලද වෙඩිතලතිව් රක්ෂිතය තුළ ඉස්සන් වගාව සඳහා සමාගම්වලට ඉඩ දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව අගමැතිවරයා  ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට හිටපු මන්ත්‍රී බිමල් රත්නායක චෝදනා කරයි.

‘නිසි පරිදි ස්ථාපිත කරන ලද වෙඩිතලතිව් රක්ෂිතය තුළ ඉස්සන් වගාව සඳහා සමාගම්වලට ඉඩ දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව අගමැතිවරයා  ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට හිටපු මන්ත්‍රී බිමල් රත්නායක චෝදනා කරයි.”

“එමෙන්ම 2019 දී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ගැසට් පත්‍රය අවලංගු කිරීමටද කටයුතු කෙරෙමින් ඇත.එසේ වුවද මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය පිළිබඳ පරිසරවේදීන් පමණක් නොව අදාළ විෂයභාර දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය පාරිසරික ආයතනවල පරිසර නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ මගින්ද යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතිය මගින් සුවිශාල පාරිසරික හානියක් සිදුවන බව හඳුනාගෙන වාර්තා කර තිබේ.”

අනාගත පරම්පරාවටද කරන අති විශාල හානියක්:

පසුගිය වසරේදී  විශාල අධ්‍යයනයකින් පසු ගැසට් කරන ලද රක්ෂිතයක් පාරිසරික වාර්තා මගින් ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඉන් මාස කිහිපයකට පසු, එම ස්වභාවික ප්‍රදේශය රක්ෂිතයක් බවට පත් කරන ලද ගැසට් පත්‍රය පවා අවලංගු කරමින්, මහා පරිමාණ පාරිසරක විනාශයකට පාර කැපීමට අගමැතිවරයා  ඇතුළු කබිනට් මන්ඩලය කටයුතු කරගෙන යෑම මේ රටේ වර්තමාන පරම්පරාවට පමණක් නොව අනාගත පරම්පරාවටද කරන අති විශාල හානියක් බව අගමැතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

එම නිසා පාරිසරික අධ්‍යයන වාර්තාවෙන් ද ප්‍රතික්ෂේප වී ඇති වෙඩිතලතිව් රක්ෂිතයේ ඉස්සන් වගාව හෝ එවන් ව්‍යාපෘති සිදු කිරීම වහාම නතර කරන ලෙසත්, ගැසට් පත්‍රයක් මගින් ස්ථාපිත කර ඇති වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතයේ ගැසට් පත්‍රය අවලංගු නොකරන ලෙසත් බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයා අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)