Sunday, September 22, 2024

ක්‍රීඩා ඇමැති නිසා උතුරේ ජාත්‍යන්තර සැණකෙළියකට බාධා

Must read

යුද පීඩිත දෙමළ ජනතාවගේ විරෝධය නොතකා ආණ්ඩුවේ ඇමැතිවරයකුට ඇරයුම් කිරීම නිසා උතුරේ පැවත්වෙන ජාත්‍යන්තර සැණකෙළියක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


දෙමළ ජාතික දේශපාලඥයන්ගේ හා විදෙස්ගත යුද පීඩිතයන්ගේ විරෝධය එල්ලවීමට හේතුවුයේ වැල්වැටිතුරේ විග්නේශ්වරා සමාජ සේවා මධ්‍යස්ථානය හා එක්ව වල්වෙයි `නැගෙන හිරු`  ක්‍රීඩා සමාජය ජනවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂට ඇරයුම් කිරීමය.

කෝවිඩ් රෝගය පැතිර යාමත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සමග සරුංගල් සැණකෙළිය පැවැත්වීම ගැන එල්ල වූ ජනතා විරෝධයත් සැලකිල්ලට ගනිමින් එය තාවකාලිකව නවතා දැමීමට සංවිධායකයන් තීරණය කර තිබේ.

”දෙමළ ජනයාට එරෙහිව සංහාරයක් දියත් කොට, එක්ව කටයුතු කළ නොහැකි අයුරින් දෙමළ හා සිංහල ජනයා අතර විරසකයක් ගොඩ නැගු මේ ආණ්ඩුවේ නියෝජිතයන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සරුංගල් සැණකෙළියට ඇරයුම් කිරීම අපි හෙළා දකිනවා,“යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් නිවේදනයක් මගින් සිය විරෝධය පළ කර තිබුණි.

දෙමළ ජන සංස්කෘතිය පිළිබිඹු කරන වැල්වැටිතුරේ සරුංගල් සැණකෙළිය කාලයක් පුරා සාර්ථකව පවත්වා ගෙන පැමිණිය ද මෙවර සංවිධායකයන් රජයේ හවුල්කාර පාර්ශවයක ගැටයකට හසුවී ඇති බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙන්වා දුන්නේය. ඔවුන් සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවේ නියෝජිතයන්ට හා හවුල්කරුවන්ට මේ සඳහා ඇරයුම් කිරීමට ගත් තීන්දුව යළි සළකා බලන ලෙසයි.

වැල්වැටිතුරේ පිහිටි දෙමළ ජනතා පක්ෂ කාර්යාලයට උතුරේ මාධ්‍යවේදීන් කැඳවූ එහි ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඉල්ලා  සිටියේ කෝවිඩ් 19 හා ඔමික්රෝන් වයිරසය ව්‍යාප්ත වන බැවින් සරුංගල් සැණකෙළිය දින නියමයක් නොමැතිව කල් දමන ලෙසයි.

”පවතින වාතාවරණය යටතේ සරුංගල් සැණකෙළිය පවත්වනවා නම්, වී. වී. ටී. නගර සභාව ඒ ගැන සුදුසු  පියවරක් ගන්න ඕනෑ,” යැයි සිවාජිලිංගම් එහිදී පැවසීය.

වැල්වැටිතුරේ නිජබිම කරගත්, යුද්ධය හේතුවෙන් දිවි ගලවා ගැනීමට විදේශයන්ට පළාගිය දෙමළ ජනයාගේ සංවිධාන වන ජර්මනියේ වල්වෙයි සමාජය, ප්‍රංශයේ වල්වෙයි සුභ සාධක සංගමය, ඕස්ට්‍රේලියාවේ වල්වෙයි සමාජය, කැනඩාවේ මොන්ට්‍රියෙල් වල්වෙයි ජනතා සංගමය,  බ්‍රිතානයේ වල්වෙයි `ශයිනින්` ක්‍රීඩා සමාජය සහ කැනඩාවේ `බ්ලුස්` ක්‍රීඩා සමාජය සරුංගල් සැණකෙළියට ඇමැති නාමල් රාජපක්‍ෂට ඇරයුම් කිරීමට විරෝධය දක්වා තිබිණි.

වැල්වැටිතුරේ හැඳින්වීම සඳහා වල්වෙයි නම භාවිතා කෙරේ.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)