Sunday, September 22, 2024

අයිස් ගසා මළ බව පොලිසිය කී තරුණ මළ සිරුරේ තුවාල

Must read

පොලිස් අත්අඩංගුවේදී සියදිවි හානි කරගත් බව පොලිසිය පවසන තරුණයකුගේ සිරුරේ තුවාල තිහකට වැඩි ප්‍රමාණයක් තිබු බව මරණය සිදු වී පස් මසකට පසුව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

මඩකලපුවේ ඉරුදයපුරම්හිදී ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුව පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් විසි එක් හැවිරිදි චන්ද්‍රන් විධූෂන් ජුනි 3 බ්‍රහස්පතින්දා අළුයම පොලීසිය තුලදීම මියගොස් තිබුනි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් 22 වැනි සඳුදා මඩකලපුව අධිකරණයේදී විභාගයට ගත් අතර මඩකලපුව ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් මහේස්ත්‍රාත් උසාවියට ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් නීතිඥ කනගරත්නම් සුගාෂ් මාධ්‍යවේදීන් සමග පවසා සිටියේ මිය ගිය තරුණයාගේ සිරුරේ තුවාල 31ක් තිබු බව අධිකරණය හමුවේ අනාවරණය වු බවයි.

එම වාර්තාව අනුව තරුණයාගේ මරණයට හේතුව පොලිසිය දක්වා ඇති පරිදි සියදිවි නසාගැනීමක් නොවන බව පැහැදිලියැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කනගරත්නම් සුගාෂ් මාධ්‍යවේදීන් සමග සදහන් කළේය.

Batti 1

“පොලිසිය කිව්වට වෙනස් දෙයක් අත් අඩංගුවේ සිද්ධ වුනු බව පැහැදිලියි. ඔහු සියදිවි හානිකරගත්තාය කියලා බොරුවක් පොලිසිය අධිකරණයට කියලා තියෙනවා. ඒ කිව්වේ බොරුවක් කියන එකයි, විදුෂන්ගේ පවුලේ අය ඉස්සරහ එයාට ගැහුවා කියන එකයි අපි දිගින් දිගටම අධිකරණයට පෙන්වා දී තිබෙනවා. ඒක අද ඇත්තක් වෙලා තියෙනවා.”

අධිකරණ වෛද්‍ය නිලධාරී අරසරත්නම් ඉලන්ගෝවන් ඉදිරිපත් කළ පළමු වාර්තාවට අනුව, විදූෂන්ගේ මරණයට හේතුව ලෙස තීරණය කෙරුනේ “ප්‍රබල උත්තේජක ඖෂධයක් වන මෙතම්ෆෙටමින් හි එක් ආකාරයක් වන ‘අයිස්’ අඩංගු පැකට් ගිල දැමීම” බවයි.

“අයිස් අඩංගු පැකට් හතරක් ගිල දැමීමෙන් පසුව, පපුව ප්‍රදේශයේදී ඒවා පුපුරා යාම නිසා, පෙනහලු වලට සිදුවූ බලපෑම හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බව මරණ පරීක්ෂණයේදී හෙලි වුනා” යි මෘත දේහය භූමදානය සඳහා බලධාරීන් විසින් ඔහුගේ පවුල වෙත භාර දීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් පවසනු ලැබීය.

 “සීරීම් තැලීම් වැනි ඉතා සුළු තුවාල සිරුරේ තිබුනත් ඒවා මාරාන්තික නොවේ,” යි වාර්තාවේ සඳහන් වෙයි.

 කෙසේ වෙතත්, ‘මත්ද්‍රව්‍ය ගිලීම’ හේතුවෙන් ඔහු මියගිය බවට කරන මේ ප්‍රකාශය ඉතා සැක සහිත බව පවුලේ ඥාතීන් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුනි.

 පොලිස් අත්අඩංගුවේ මරුමුවට පත් චන්ද්‍රන් විධූෂන් දෙමළ තරුණයකුගේ මළ සිරුර විශේෂඥ අධීක්ෂණයෙන් සඳහා ගොඩගැනීමෙන් අනතුරුව වැඩි දුර පරීක්ෂණ සඳහා මේ වන විට පේරාදෙණියට ගෙන ගොස් තිබේ.

 ඒ ජුනි 21 සඳුදා දහවල් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී රිස්වාන්, වෛද්‍ය නිලධාරි එච්.පෙරේරා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා අධ්‍යාපන අංශයේ ප්‍රධානී මහාචාර්ය සරච්චන්ද්‍ර කොඩිකාර ඉදිරියේ මළ සිරුර ගොඩගෙන ගැනීමෙන් පසුවයි.

 පේරාදෙනියේ දී සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අධිකරණයට ලැබී නොමැති අතර නීතිඥ කනගරත්නම් සුගාෂ් විශ්වාසය පළ කළේ එම වාර්තාව ඉදිරියේදී කඩිනමින් ලැබෙනු ඇති බවයි.


පොලිස් පම්පෝරි  


Batti

සිය පුතුගේ මරණයට හේතුව පොලිස් පහරදීම් බව දිගින් දිගටම සපත කරන කේ. චන්ද්‍රන් පියාත්, ලිලී චන්ද්‍රන්  මාතාවත් අධිකරණ කටයුතු හමාර වීමෙන් පසු මාධ්‍යවේදීන් හා කියා සිටියේ  තමන්ට යුක්තිය ඉටුවනු ඇති බවට  අපේක්ෂා කරන බවයි.

 “අපිට යුක්තිය ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා,” යි කේ. චන්ද්‍රන් පියා පවසද්දි ලිලී චන්ද්‍රන් මාතාව කියා සිටියේ සිය පුතුගේ ඝාතනයට සැක කරන පොලිස් නිලධාරියා පුද්ගල ඝාතන 9 ක් සිදු කළේ යයි ඔහුම පුරසාරම් දොඩන බවයි.

 “ගහපු එකාට කොහොම හරි දඬුවම් දෙන්න ඕනේ. රිමාන්ඩ් කරන්න ඕනේ. මේ වගේ නම දෙනෙක් මරලා තියෙනවා කියා කියා මිනිහා ගම පුරාම ඇවිදිනවා. මගේ පුතාට ගහලා මැරුවේ එයයි “

 “මේ මරපු නම වැනියාලු. මට මොනවා කරන්නද කියලා මිනිහා ගමේ කියා කියා ඇවිදිනවා. එයා තමයි අපේ ඇස් ඉස්සරහම පුතාට ගැහුවේ. ඒ එස් අයි කරදරයක් නැතිව නිදහසේ රවුම් ගගහ ඉන්නවා. අපි හදා වදාපු දරුවා නැතිව දුක් විඳිනවා,” කේ. චන්ද්‍රන් පියා වැඩි දුරටත් මාධ්‍යවේදීන් සමග සදහන් කළේය.

නඩු විභාගය දෙසැම්බර් 15 වැනිදා යළි කැදවීමට නියමිතය.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)