Saturday, September 21, 2024

සබ්රිගේ ලක්ෂයට අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් පා පහරක්

Must read

බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ දසදහස් සංඛ්‍යාත ජනකාය පිළිබඳ සත්‍යය හෙළි කරන ලෙස දහතුන් අවුරුද්දක් තිස්සේ කෙරෙන ඉල්ලීම නොතකා හරිමින් පවුලකට ලක්ෂයක් බැගින් ගෙවා දැමීමට රජය කරන යෝජනාව දෙමළ මව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
අතුරුදහන් වූ පුද්ගලයන් ‘දක්නට නොමැති බවට’ සහතිකයක් ලබාගන්නා එක් අයකු වෙනුවෙන් එක්වරක් පමණක් රුපියල් 100,000 ක් ගෙවනු පිණිස අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවකට මේ සතියේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

යුද හමුදාවට බාරදීමෙන් පසු අතුරුදහන් කර සිටින එක් සමීපතමයකුගේ ඉරණම හෙළිදරව් කරන්නේ නම් ලක්ෂයට ලක්ෂ විස්සක් දීමට සුදානම් බව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ සංගමය පවසයි.

“අපේ නෑදෑයන් ගේ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයක් කියලා තීන්දු කරපු මේ මිනිස්සු කවුද?” යි බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ සංගමයේ මුලතිව් දිස්ත්‍රික් නායිකා මරියසුරේෂ් ඊශ්වරී, එම සංගමයේ ලේකම් ප්‍රභාකරන් රංජනා සමග මුලතිව්හිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කළාය.

“මරණ සාහතික හරි දක්නට නොමැති බවට වූ හරි සහතිකයක් අරගෙන රුපියල් ලක්ෂයකට අපේ සටන පාවා දෙන්න අපි ලෑස්ති නෑ. අපේ නෑදෑයන්ට හරියාකාර යුක්තිය ඉෂ්ඨ වෙනතුරු අපි අරගලය  අතාරින්නෙ නෑ.”

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරකට ආසන්න වෙමින් පවති.

ආණ්ඩුව නිවේදනය කර ඇති පරිදි මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චි යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන OMP ප්‍රදේශිය කාර්යාල වෙත අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 14988 කි.

එකී පැමිණිලි විමර්ශනය කර අවසන් කිරීම සදහා විමර්ශන මණ්ඩල 25 ක් පත්කර කඩිනම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මාර්තු 7 වැනි සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජය පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් OMP සභාපති ධුරය උසුලන සමයේ ප්‍රකාශ කර ඇති පරිදි යුද සමයේ අතුරුදහන් වූ පිරිස විසිදහසකට ආසන්නය.

ඉන් වැඩි පිරිස යුද්ධයේ අවසාන දින කීපයේ රජය විසින් කරන ලද කැඳවීම අදහා ආරක්ෂක හමුදා වෙත භාර වුවන්ය.

අපරාධ චූදිතයන්ට දණ්ඩ මුක්තිය සලසා දෙන ශ්‍රී ලංකාවේ නීති පද්ධතියෙන් සරණක් නැති බව සාක්ෂාත් කරගෙන සිටින දෙමළ යුද පීඩිතයන් ඉල්ලා සිටින්නේ  ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයකි.

යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ඇතුළු සාහසික මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ පිළිබඳ සාක්ෂි එක් රැස් කිරීම අරඹා තිබේ.

වසරකටත් අඩු කාලයකදී සාක්ෂි 120,000 කට වැඩි ප්‍රමාණයක් රැස් කොටගෙන තිබෙන මානව හිමිකම් පිළිබඳ එජා මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ වගඋත්තර දායකත්වය පිළිබඳ ව්‍යාපෘතිය, අපරාධ චූදිතයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණවලදී නඩු පැවරීමට එම තොරතුරු උපයෝගී කරගත හැකි වෙතැයි විශ්වාස කරයි.  
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)