Sunday, September 22, 2024

විදෙස් සංචාරකයන්ට පොදු ප්‍රවාහනය තහනම් කෙරේ ?

Must read

විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර එසේ පැමිණෙන අයට පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඉඩ නොලැබෙන බවත්, පී.සී.ආර් පරීක්‍ෂණ කිහිපයකට ලක්වීමට සිදුවන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

ඒ අනුව කිසිදු විදෙස් සංචාරකයෙකුට බස්, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට ඉඩ නොලැබෙන අතර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම විශේෂ මාර්ගෝපදේශ යටතේ සිදුකරන බව ඇය කීවාය.

කොවිට් 19 වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර, මෙම මාර්ගෝපදේශ සකස් කළ බව ද ඇය සඳහන් කළාය.

ඇය මේ බව පැවසුවේ ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාර්ගෝපදේශ අනුව ලියාපදිංචි හෝටල් සඳහා වෙන්කර ගැනීම් කළ හැකි අතර සංචාරකයින් මෙරටට පැමිණීමට පැය 72කට පෙරත්, පැමිණි පසුත් පී.සී.ආර් පරීක්‍ෂණ කරගත යුතු බවද ඇය පැවසුවාය.

මෙරටට පැමිණි පසු සිදුකරන පරීක්‍ෂණයෙන් ඔවුන් කොවිඞ් ආසාදිතයින් නොවන බව තහවුරු වුවහොත් පමණක් කොවිඩ් සහතිකලත් නවාතැන් ස්ථානයකට යාමට අවසර හිමිවන බව ඇය කීවාය.

ඉන්පසු ඔවුන් රැඳී සිටින කාලයේදී දවස් 5-7 අතර මෙන්ම  දවස් 10-12 අතර වශයෙන් පී.සී.ආර් පරීක්ෂණ කරන බවත් ජංගම ඒකකයක් හරහා පහසු ආකාරයෙන් මෙම පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වන බවත් කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මෙරටට පැමිණ වීසා ලබාගැනීමේ ක්‍රමවේදය නතර කර ඇති අතර සංචාරකයින් ඔන්ලයින් වීසා අයදුම් කළ යුතු බවත්, ඊට අදාළ අයදුම්පතෙහි සංචාරකයාගේ ගමන් විස්තර, සැලස්ම, වෙන්කළ ස්ථාන ආදී අලුත් ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර ඇතැයි ද සභාපතිනිය පැවසුවාය.

ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු නවාතැන් ගන්නා හෝටලයෙන් සංවිධානය කළ යුතු අතර සහතිකලත් හෝටල් සහ සංචාරක නියෝජිතයින් පිළිබඳ විස්තර වීසා අයදුම්පතෙහි ඇතුළත් කරන බව ද ඇය කීවාය.

පිටු 90කින් පමණ යුතු මාර්ගෝපදේශ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් වෙත ලබා දී ඇතැයි සභාපතිනිය පැවසුවාය.

මෙරටට පැමිණෙන සංචාරකයින් නවාතැන් ගන්නා තරු පංතියේ හෝටල් ඇතුළු ලියාපදිංචි නවාතැන් පහසුකම් සපයන්නන්ට මේ සඳහා සහතිකයක් ලබාදෙන බවත්, ඔවුන් කොවිඞ් වසංගතයෙන් ආරක්‍ෂාවීමට අදාළ නියාමනයන් පිළිපදින්නේද යන්න සොයාබලන බවත් ඇය කීවාය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)