ලෝකයේ හැටහුටාමාරක් පක්ෂ ඇති එකම රට ලංකාවයි. මේ හැම පක්ෂයකටම ලකුණක්ද ඇත. ලංකාවේ තවත් පක්ෂ සාමාජිකත්වද ඉල්ලා ඇත. ඕනම පක්ෂයක් ඉදිරි මහ මැතිවරණයට තම ඡන්ද ලකුණ වෙනස් කර ගැනීමට හැකිනම් අනිවාර්යයෙන් තෝරා ගනු ඇත්තේ අත හෝදන සින්ක් එක විය යුතුය.
ලංකාවට සින්ක් ගෙන්වන මහා පරිමාණ ආනයනකරුවන් සිටින්නේ කොළඹ 12 ගල්වළ නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. මේ ප්‍රදේශයේ කරක් ගැසූ අපට පැහැදිලිව පෙනී ගියේ හැම හාඩ්වෙයාර් එකක් ඉදිරිපිටම මනාව පෙනෙන්නට සින්ක් ගොඩ ගසා ඇති බවය. අප මුලින්ම ගියේ ඉතාලියෙන් ආනයනය කරන ටැප්, සින්ක්, මලපහ කරන කොමඩ් විකුණන නානා කෙනකුගේ ෂොප් එකකටය. එහි ඒවායේ ගසා ඇති බෝඩ් කෑලි දැක මට නම් හීන් දාඩිය දැම්මේය.
එහි තිබූ අඩුම ටැප් එකේ මිල රු. 25,000 කි. අත හෝදන අඩුම සින්ක් එක තිබුණේ රු. 25,000 ටය. එහි ලක්ෂ 3 ටත් සින්ක් ඇති බව අදහාගත නොහැකි කරුණක් විය.
‘‘බ්‍රදර් මේවා එක්ස්පන්සිටි ලක්ෂරි අයිටම්. හයි ක්ලාස් ෆැමිලිස්, එම්බසි වගේ ඒවා තමයි ගන්නේ.’’
එතැන වූ වතුර නාන ෂවර් එක ලක්ෂ 3 කි. මුළුමනින්ම රන් පැහැයෙන් යුතු මලපහ කරන කොමඩ් එක සාලයක අලංකාරයට තියන්න නම් මරු බඩුවකි. එය දුටු විට මට මතක් වූයේ රත්‍රං කොමඩ් එකක් භාවිත කළ ෂා රජ්ජුරුවන්ය.
‘‘Gold කොමඩ් එක china ප්ලෑන් එකේ ගහපු එක ත්‍රීහන්ඩ්‍රඩ් තව්සන්ඩ් ඔරිජිනල් ඉමලියන්න අඩුම එක බිලෝ වන් මිලියන් ගන්න පුළුවන්.’’
‘‘ඔය ගාණට කොමඩ් ගන්න අය ඉන්නවද?’’
මොනාද බ්‍රදර් කර්ෆිව් අයින් කළාම දැනට තුනක් විකුණුනා.’
අප ඒ ෂෝරූම් එකේ අතහෝදන සින්ක් මිල ගණන් අහන්නට ගියේ නැත්තේ හිත් අමනාපයක් ඇතිකරගන්නේ මක්කටැයි හිතාය.
ගල්වළේ අප සෙවූ භාණ්ඩය තිබුණේ අතවශ්‍ය භාණ්ඩයක් ප්‍රදර්ශනය කරන කරන්නාට ඇතුළුවන තැනමය. ලංකාවේ දැන් ඇති වී ඇති ‘අධික සින්ක්’ ඉල්ලුම සපුරාලීමට තරම් ලංකාවේ සින්ක් තිබුණේ කෙසේ දැයි අපට ප්‍රශ්නයක් පැන නැගුණේ නිරායාසයෙනි.
‘‘දැන් ලංකාවේ අපාට්මන්ට් ගහනවා වැඩියි. කන්ට්‍රැක්ටර්ලා ඔය මොනවා ගෙනාවත් සින්ක්, බාත්රූම් අයිටම් ලෝකල් පර්චෂින් කරන්නේ. ඒ නිසා අසීමිතව මේවා ගේනවා. ඒ හින්දා කිසිම හිඟයක් නෑ. සප්ලයර්ලා ගොඩක් ඉන්නවා. දැන් බලන්න ලංකාවට අවශ්‍ය ෆොටෝකොපි මැෂින් ලක්ෂ 2 ක් නම් මැෂින් ලක්ෂ 10 ක් විතර ඉම්පෝට් කරලා තියෙනවා.’’
බොහෝ වෙළෙන්දන් පැවසුවේ පාසල් නැවත විවෘත කිරීම මෙන්ම මහ ඡන්දයට නම් සින්ක් හිඟයක් ඇතිවිය හැකි බවය. මේ සින්ක්වලට සවිකරන ටැප්, ෆ්ලෙක්සිබල් වයර්, ආදී අඩුම කුඩුම ටික බොහෝ කඩවල පේන තැනක අඩුක්කර තිබුණේ මිල ගණන්ද සමගය.
එදා මේ වැසිකිළි අයිතම නොහොත් ටොයිලට් උපාංග වලට ගල්වළ ප්‍රසිද්ධ වුණත් අද ඒ බිස්නස් එක රජ කරන්නේ නාවලය. මේ බිස්නස් එක නාවලට ගිය හැටි එක් ව්‍යාපාරිකයකු විස්තර කළේ මෙසේ ය.
‘එල්ටීටීඊ කාලේ කොළඹට ලොරි ඇතුළු වෙන්නත් ලයිෂන් ගන්න අමාරු වුණා. අනිත් එක පාකින් ප්‍රශ්නේ. ඒ හින්ද අපේ එක්කෙනෙක් එහේ ෂොප් එකක් දැම්මා. ලෝකල් ටයිල් කොම්පැනි දෙකකුත් නාවල තියෙනවා. අන්තිමට දැන් ගල්වළේ ඉන්න ඕන කෙනෙකුගේ ෂොප් එකක් නාවල තියෙනවා. එහේ කඩ කුලිය දැන් කොළඹටත් වැඩිය වැඩියි.
අපේ ඊළඟ ගමන නාවල සිට නුගේගොඩටය. ඒ හැම ටයිල් කඩයක්ම ඉදිරිපිට තිබුණේ විවිධ විලාසිතාවන්ගේ අත සෝදන ටැප්ය. එහිදී අපට ප්‍රධාන වශයෙන් අත සෝදන සින්ක් වර්ග 5 ක් දැකගත හැකිය. අතින් ටැප් එක අරින වර්ගය, කකුලෙන් පාගා ටැප් එක අරින වර්ගය, විදුලි මෝටරයක් සවිකළ සින්ක් වර්ගය, තහඩු සින්ක් සහ පිඟන් මැටියෙන් සැදූ සින්ක් මේ වර්ගයන් මේ ඇතැම් ඒවාට සැනිටයිසර් තබන්නට විවිධාකාර ගැජමැටික්ද සවිකර තිබිණි.
අප මුලින්ම බැලූ සින්ක් යුනිට් එකේ මිල රු. 35,000 කි. කුඩා එකක් රුපියල් 21,000 කි. ඊට යාබද කඩේ තිබුණ ටිකක් ලොකු සින්ක් යුනිට් එක රු. 12,000 කි. කුඩා එක රු. 9800 කි. ඒ අසල වූ වෙල්ඩින් වැඩ කරන තැනකද එළියේ සින්ක් නිමවා තබා තිබුණ අතර එහි ඇතුළේ සිටි වෙල්ඩින්කරුවන් සින්ක් රඳවන යකඩ ෆෝම් පාස්සමින් සිටියේ ලෝක විනාසය අත ළඟ එන්නාක් මෙනි. එහි ලොකු සින්ක් එක දැමූ කට්ටලය රු. 12,000 වූ අතර පොඩි සින්ක් එක රු. 6000 කි. ඒත් පොඩි එකේ පයින් පාගා ටැප් එක අරින යුනිට් එක නැත. ෆ්‍රේම් එක විතරක් පාස්සා දෙන්නට ලොකු සින්ක් එකකට රු. 5000 කුත්, පොඩි සින්ක් එකකට රු. 6000 ක්ද ඉල්ලා සිටීම අපභ්‍රංශ කතාවක් විය.
මේ සින්ක් යුනිට් බොහෝමයක් ආවරණයට යොදාගෙන තිබුණේ ‘ක්ලැඩින්’ බෝඩ් නමැති බෝඩ් විශේෂයකි.
දැන් අපේ ත්‍රීවීල් රියැදුරන් මෙන්ම බස් හිමිකරුවන්ටද ෆිනෑන්ස් ගෙවා ගන්නට සල්ලි නැතත් මුලින්ම කරන්නේ සුදු යකඩ විවිධ විලාසිතාවලින් වාහන සැරසීමය. සුදු යකඩ වැඩ කරන තැනකටද මෙහිදි අප යන්නට අප අමතක කළේ නැත. එහි කළමනාකරු ළඟ ‘සින්ක්’ රඳවන විවිධ විලාසිතා සහිත ඇල්බමයක් තිබිණි. එහි සුදු යකඩෙන් අත සෝදන සින්ක් රඳවන ෙෆ්‍ර්ම් හදාගන්නට මුලින්ම ඇඩ්වාන්ස් නොව මුළු මුදලම ගෙවිය යුතුය. වැඩේ පටන් ගන්නේ ඊට පසුවය. එහි ඉතා කුඩා තුන්හුලස් සින්ක් එකක ෙෆ්‍ර්ම් එක අලංකාර ලෙස සදා තිබුණේ සුදු යකඩෙනි.
ඕක ජපන් සුදු යකඩ රු. 75,000 ක් වෙනවා. ඕකට සල්ලි දීලා තියෙන්නේ. ගොඩක් සුදු යකඩෙන් ගහලා සින්ක් ෙෆ්‍ර්ම් ගෙනියන්නේ පන්සල්වලට. ලොකු බැංකුවලට, ෆිනෑන්ස් කොම්පැනි කීපයකටත් අපි ඕඩර් භාරගත්තා. දැන් මේ වැඩේ නිසා යකඩ ෙෆ්‍ර්ම් හදන අඟලේ බොක්ස් බාර් විතරක් නෙවෙයි සුදු යකඩ බාරුත් ඉවර වේගෙනයි යන්නේ.’’
‘‘බාර් නං ඉතිං දැන් රෑ නවය වෙනකන් ඇරලනේ. බඩු කිසි හිඟයක් නෑනේ.’’
‘‘නෑ.. නෑ.. මහත්තයෝ බාර් කියන්නේ ඔය ෙෆ්‍ර්ම් හදන අඩි 19 1/2 දිග යකඩ ටියුබ් එක.’’
නාවල පසුකර නුගේගොඩත් පසුකර දෙල්කඳ පැත්තට ගියේ උත්සව භාණ්ඩ කුලියට දෙන නම් දරාපු ආයතන ඇත්තේ ඒ ප්‍රදේශයේ නිසාය.
‘‘සාමාන්‍යයෙන් දානේ ගේකට, මළ ගේකට, මඟුල් ගේකට කේටරින් කරන කොට තමයි අපෙන් ඔය ටැප් හයිකරපු සින්ක් කුලියට ගෙනිච්චේ. දැන් අපිට අත සෝදගන්නත් සින්ක් නෑ. සින්ක් දාහක් හදලා තිබ්බ නම් කුලියට දෙන්න තිබ්බා. ඉස්සර ඕකේ දවසක කුලිය රු. 150යි. දැන් සමහරු දවසට රු. 500 හරි දෙන්නම් කියලා අරියාදුවට එනවා. මොකද සල්ලිවලට සින්ක් යුනිට් එකක් ගන්න කම් ඔෆිස් අරින්න විදිහක් නෑ.’’
‘‘දැන් ඉතිං කොහෙද බිස්නස්?’’
මඟුල් ගෙවලුත් නෑ. මළ ගෙවලුත් නෑ. කොටහලු මඟුලක්වත් නෑ. මාස දෙකකින් ටෙන්ට් එකක් කුලියට දුන්නේ නෑ. ෆුල් හින්දුස්තාන්. නිරෝධායන කඳවුරක් වට කරන්න වුණත් අපි ළඟ ටකරං තියෙනවා!’’
අපට අවසානයේ පෙනී ගියේ මෙරට අත හෝදන්නට නිපදවන සින්ක්වලට දරාගත නොහැකි තරම් ඉල්ලුමක් ඇති බවය. බැංකුවක ශාඛා 300 ක් තිබුණොත් අනිවාර්යයෙන්ම අත හෝදන සින්ක් යුනිට් 300 ක් අවශ්‍යය. පාසල් විවෘත කළ විට අනිවාර්යයෙන්ම දෙමාපියන් එකතු වී තම දරුවන්ගේ පන්තිය ඉදිරිපිට සින්ක් එකක් හයිකරනවා සිකුරුයි. මහ ඡන්දය ඡන්ද මධ්‍යස්ථාන අනිවාර්යයෙන්ම කාන්තා, පිරිමි දෙපාර්ශ්වයටම අවම තරමින් සින්ක් 2 බැගින් සින්ක් අවශ්‍ය වේ. එමෙන්ම දැන් ලංකාවේ නිෂ්පාදනයක් ලෙස ආරම්භ කළ හැකි හොඳම කර්මාන්තය ලෙස සින්ක් නිපදවීම බැවින් ගරු ජනාධිපතිතුමාට ඊට මැදිහත් වී යටිතල පහසුකම් ලබාදිය යුතු නියම කාලය එළඔ ඇත.
වජිර ලියනගේ
ඡායාරූපය – ඒශාන් දසනායක
aruna.lk