Saturday, September 21, 2024

මානව හිමිකම් දින සැමරුමකට BMICH නොදුන් හේතුව හෙළිවෙයි !

Must read

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10දා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘නිදහස සහ යුක්තිය උදෙසා අරගලය නියතයක්’ සම්මන්ත්‍රණය සඳහා එම ශාලාව ලබාදිය නොහැකි බව එහි සංවිධායකවරුන්ට දැනුම් දී තිබුණි

සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් කොටසේ පැවැත්වීමට නියමිතව තිබූ එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් වන අතර ඒ සදහා අදාල මුදල් ගෙවා තිබුණේ නිතිය හා සමාජ භාරය නම් වු රාජ්‍ය නොවන සංවිධානය විසිනි.

මේ පිළිබද පුවතක් පළකරන www.news19.lk වෙබ් අඩවිය කියාසිටින්නේ

මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා අදාළ ශාලාව වෙන්කරගෙන තිබුණේ පසුගිය 02 වනදා බවත් ඉන්පසු අද (08) BMICH කාර්යාලයෙන් සංවිධායකයන් අමතා පවසා ඇත්තේ අදාළ ශාලාව සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල නැවත ලබාදෙන බවත්, සම්මන්ත්‍රණය සඳහා ඉඩ දිය නොහැකි බවත් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙන්කිරීම් අංශයේ ප්‍රධානී (Head of Event and Reservations) දෙවන්ති ඇඹුල්දෙනියගෙන් සඳහන් කළේ සම්මන්ත්‍රණය සඳහා ඉඩ ලබාදිය නොහැකි නිශ්චිත හේතුව සංවිධායකයන්ට දැනුම් දුන් බවයි. BMICH ආරම්භයේ සිට ම, එහි පනතේ සඳහන් කරුණක් වන්නේ සෘජු දේශපාලන අරමුණු සහ දේශපාලන ඉලක්ක සහිත කටයුතු සඳහා එය ලබාදිය නොහැකි බව යනුවෙන් ද සඳහන් කළ ඇය, එම හේතුව නිසා මෙම අවස්ථාවට ඉඩ දිය නොහැකි බව පවසා ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා, ශාලාව වෙන්කරගෙන ඇත්තේ නීතිය හා සමාජ භාරය මගින් වුවද, ඊට අදාළ ප්‍රචාරක කටයුතුවලදී භාවිත කරන්නේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව යන නම බවත්, මෙම නම් දෙකේ පරස්පරතාව මත මෙම තීරණය ගත බවත් ඇය පවසා ඇත

මීට පෙර එවැනි වෙන්කිරීම් සඳහා අවස්ථාව ලබාදී නොමැති අවස්ථා රැසක් ඇති බවත් තමන් පනත අනුව කටයුතු කරන බව පමණක් පැවසිය හැකි බවත්, තමන් ද රාජකාරියක් කරන නිසා ඒ පිළිබඳ අනවශ්‍ය ලෙස වාද කිරීමට නොහැකි බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණි

මේ අතර අජිත් පැරකුම් සිය ෆේස් බුක් පිටුවේ මේ මානව හිමිකම් දින ශාලා පලහිලව්ව ගැන මෙසේ සටහන් තබා ඇත.

අරගලයට සම්බන්ධ මේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවට තම ස්ථානය ලබාදීම ප්‍රතික්ෂේප කළ BMICH පාලනය වෙන්නේ ස්වාධීන මණ්ඩලයකින්. ඒ මණ්ඩලයේ බණ්ඩාරනායක පවුලේ සාමාජිකයෙකුත් ඉන්නවා.

මෙම වැඩසටහනේ සංවිධායකයන් කිව්වෙ තමන්ට ස්ථානය නොදීම පවා රනිල් වික්‍රමසිංහගේ වැඩක්ය කියලායි. හැබැයි, දැන් පූර්ණ රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඔවුන්ට රැස්වීම් පහසුකම ලැබිලා.

ශ්‍රී ලංකා පදනමේ සභාපති වන්නේ සමන් අතාවුදහෙට්ටි. ඔහුව පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි.

රයිට් ටු ලයිෆ් සංවිධානය තමන්ගේ රැස්වීම දාගෙන තිබුණෙත් උදේ දහයට. ඔවුන් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැස්වීමට මුල්තැන දීලා ඒ වෙලාව සවසට වෙනස් කරගත්තා. ඒත් මේ අරගලකරුවන් ඒ සංවිධානයට පවා පදනම් විරහිත දෝෂාරෝපණයක් කළා.

ඇත්ත තිත්තයි. බොරුව පැණිරහයි.

නීතිය හා සමාජ භාරය විසින් මුදල් ගෙවු තිබුන වෘත්තිය හා බහුජන සංවිධාන එකතුවේ මානව හිමිකම් දින සැමැරුමට BMICH ආයතනය සිය ප්‍රතිපත්ති කරුණු පදනම් කරගෙන අවසර ලබා දි නොතිබුන අතර අරගලයේ ප්‍රකාශයන් මේ ගැන චෝදනා එල්ල කර තිබුනේ රනිල් වික්‍රමසිංහ වෙතය.
කෙසේ වෙතත් ප්‍රජාන්ත්‍රිය අයිතිවාසිකම් රැකගැනිමේ ව්‍යාපාරය විසින් පසුව මෙම මානව හිමිකම් දින සැමරුම සදහා මුදල් ගෙවා ශ්‍රිලංකා පදනම් ආයතනය වෙන්කරගෙන තිබේ.



- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)