Sunday, September 22, 2024

පොලිසිය උසාවි අවසරය නොතකයි : සමුලඝාතන අනුස්මරණයකට බාධා!

Must read

විසිපස් වසරකට ඉහතදී ගුවන් හමුදාව විසින් ක්‍රිස්තියානි දේවස්ථානයකට බෝම්බ හෙලා සමුල ඝාතනයට ලක්වු එකසිය පනහකට අධික

උතුරේ දෙමළ ජනයා සිහිකරමින් පැවැත්වූ ආගමික උත්සවයකට අධිකරණයෙන් ලබා දී තිබු අවසරය නොතකා පොලීසිය විසින් බාධා පමුනුවා තිබේ.

1995 වසරේ ජුලි 9 වනදා යාපනය නවාලි පල්ලිය, කතරගම හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට හෙලූ බෝම්බ වලින් දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු 147ක් මරණයට පත්වීම වසර 25 ක් පිරීම නිමිත්තෙන් ජුලි 09 බ්‍රහස්පතින්දා පැවැති ආගමික උත්සවයට නිල ඇදුමින් සැරසුන පොලිස් පරීක්ෂකයකු බාධා පමුණුවන අයුරු  උතුරේ මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබේ.

එම  මාධ්‍යවේදීන් පවසන පරිදි යාපනයේ නවාලි හි ශාන්ත පීතර කතෝලික දේවස්ථානයේ පැවැත්වීමට නියමිත වු ආගමික උත්සවය නතර කිරීම සදහා මානිපායි පොලීසිය විසින් මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබුනත් අධිකරණය විසින් එම ඉල්ලීම නිෂ්ප්‍රභ කර ඇත්තේ එම ආගමික උත්සවය සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස නියෝග කරමිනි.

පිළිසකර කරන ලද නවාලි දේවස්ථානය තුළ ආගමික වතාවත් සිදු කර ගුණානුස්මරණය පවත්වද්දී  මිය ගිය තම සමීපතමයන් සිහි වීමෙන්  ඇසට උනන කදුළු පිස දමා ගනිමින් උතුරේ ජනතාව දේව පුජාවට  එක්ව සිටින අයුරු වීඩියෝ දර්ශන තුළ දැක ගත හැකිය.

ප්‍රහාරයෙන් මිය ගිය 130 කගේ නාම ලේඛනයක් ඇතුලත් පුවරුවක් ඉදිරිපිට  ඥාතීන් විසින් මල් පහන් පුද කරන අයුරු දකින්නට ලැබේ.

නවාලි  දේවස්ථාන ගොඩනැගිල්ල තුළ  ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේවස්ථාන වැට මායිමේ ඇති අනුස්මරණ ස්මාරකය අබියස කතෝලික පුජකයන් ඉටි පන්දම් දැල්වීමෙන් අනතුරුව පැමිණි උතුරේ දෙමළ ජනතා නියෝජිතයකුට සහ ජනතාවට පොලිසිය බාධා පමුණුවා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඉටි පන්දමක් දැල්වීම සදහා ස්මාරකයට ළඟා වනවාත් සමග ඔහුගේ අතින් අල්ලා එය වැලැක්වීමට පොලිස් පරීක්ෂකවරයකු කටයුතු කරන ආකාරය වීඩියෝ ගත වී තිබේ.

මළවුන් සමරා වතාවත් පැවැත්වීම “දේශපාලනීකරණයක්” ලෙස චෝදනා කරන නිල ඇදුමින් සැරසුන පොලිස් නිලධාරියා “ජාතිවාදය වැඩ කරන බවට” චෝදනා කරන හිටපු මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් ද  සිදු  වේ.

“ආගමික කටයුතු කරන්න කියලා තමයි උසාවිය කියලා තියෙන්නේ. මේකේ ජාතිවාදී කුලවාදී වැඩ කරන්න එපා,” යනුවෙන් හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසද්දී පොලිස් නිලධාරියා සදහන් කරන්නේ “ඔබතුමාලා තමයි මේක ජාතිවාදී කරන්න දඟලන්නේ” යනුවෙනි.

“අපි මැරිච්ච මිනිස්සු සමරනවා එච්චරයි”  හිටපු මන්ත්‍රීවරයා නැවත  පවසද්දී පොලිස් නිලධාරියා පෙරලා පවසන්නේ “මේක මේ දේශපාලනීකරණය කරගන්න එපා ” යනුවෙනි.

කෙසේ නමුත් පොලිස් බාධා කිරීම් සහ දැඩි සන්නද්ධ හමුදා සෙබල පිරිස් මධ්‍යයේත් නවාලි  ස්මාරකයට ඉටි පන්දම් දල්වා  උපහාර දැක්වන්නට ඥාතීන් සමත් වූ බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

බෝම්බ මාලාවක්

1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා රැඳී සිටි දෙමළ ජනයාගෙන් පිරී තිබු මොහොතක ගුවන් හමුදා ප්‍රහාර මාලාව සිදුව තිබේ. ජනයා එම වන්දනා ස්ථාන වලට ගොස් ඇත්තේ ආරක්ෂාව සඳහා පොදු ස්ථාන කරා යන ලෙස රජයේ ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියේ කරන ලද නිවේදනයකට අනුගත වෙමිනි.

ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දිවි ගලවා ගත් පිරිස් පවසන පරිදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය පැවති 1995 වසරේ ජූලි 09 වන දින සවස 4.30 -5.00 ට පමණ “පුකාරා” ගුවන් යානයක් මඟින් නවාලි පල්ලිය, කතරගම මුරුගන් හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට ඉහළින් බෝම්බ 8-13 ක් හෙලා ඇත්තේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරමින් සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරමිනි.

උතුරු නැගෙනහිර මානව හිමිකම් සඳහා වන කාර්යාංශය විසින් වාර්තා කර ඇති පරිදි ප්‍රහාරයෙන් අනතුරුව හමුවූ මල සිරුරු ගණන 155 කි.

ඝාතනයට ලක්වූවන් අතර අවුරුදු 4 දරුවකු සහ 68 හැවිරිදි වියේ පසුවූවන් දෙදෙනෙක් ද වේ.

ඝාතනයට ලක්වූවන්ගෙන් 45 ක් පමණ නවාලි පදිංචි කරුවන් යැයි ගණන් බලා වැඩි දෙනෙක් යුද්ධයෙන් උන්හිටිතැන් අහිමිවී වෙනත් ප්‍රදේශ වලින් පලා ආ අයයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික දේවස්ථානයට, හින්දු කෝවිලට සහ නිවාස 30 කට පමණ දැඩි හානි සිදුවී ඇත.

“ගුවනින්  බෝම්බ හෙලීම නිසා ඇති වූ තුවාල නිසා මරණය සිදුවීම” ලෙස දැක්වෙන මරණ සහතික රජය විසින් නිකුත් කිරීම මගින් බෝම්බ ප්‍රහාරය එල්ල  කළේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට ප්‍රදේශවාසීන් කරන චෝදනා තහවුරු වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)