Thursday, November 21, 2024

‘පුංචි තියටර්’ වසා දමයිද?

Must read

Posted on: June 9, 2020 4:31 pm
0 Comments Post Views: 372

‘නැට්ටුක්කාරි, වංසක්කාරි, ගොලු බිරිඳ, මාධ්‍යවේදියකුගේ අසිපත’ වැනි වේදිකා නාට්‍යයත්, ‘රටගිය ඇත්තෝ’ වැනි ටෙලි නාට්‍යයත්, ‘වල්මත්වූවෝ, වෙස්ගත්තෝ’ වැනි සිනමා නිර්මාණත් නාමෙල් වීරමුණිගේ දක්ෂතා පිළිබඳ නිදසුන් සපයයි.

සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය යන ක්ෂේත්‍ර තුනෙහිම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රංගනය හා තිර රචනය ආදී බහුවිධ හැකියාවන් ඔස්සේ තම නිර්මාණ කෞෂල්‍යය විදහා පෑවකු ලෙස නා​ෙමල් වීරමුණි හැඳින්විය හැකිය. හෙතෙම එයිනුදු නොනැවතී සිය ජීවන සහකාරිය හා එක්ව පෞද්ගලික ධනය වැයකර ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් රඟහලක් දයාද කළේය. නීතිඥවරයෙක් වන ඔහු විසින් පවත්වාගෙන යන නා​ෙමල්-මාලනී පුංචි තියටර් රඟහලේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔහු දැක්වූ අදහසයි.

කොරෝනා වසංගතය නිසා වේදිකාවට එල්ල වුණ බලපෑම

වේදිකා නාට්‍ය ගැන නම් වචනයක් වත් කතා නොකෙරෙන කාලයක් කිව්වොත් මම නිවැරැදියි. කොරෝනා නිසා ජන ජීවත සම්පූර්ණයෙන්ම ගැටලු සහගත වෙලා තියෙනවා. සියලුම දෙනාගේ ආදායම් මාර්ග නැවතිලා මේ වෙද්දි. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත නීති නිසා රඟපෑම් කටයුතු සිදුවන්නේත් නැහැ. පිරිස් ඒකරාශී වීම සිදු නොවී නාට්‍ය නිර්මාණය වන්නේ නැහැ. මේ තත්ත්වය පහව යනතුරු අලුත් නිර්මාණ බිහි නොවේවි.

වෙනස් වූ ජන ජීවිතය පුංචි තියටරේ ක්‍රියාකාරකම් කෙරෙහි බලපා ඇත්තේ කෙසේද?

ඇත්තටම පුංචි තියටර් රඟහල නාට්‍යය සඳහා පමණක්ම වෙන් වූවක් නොවේ. නාට්‍ය හැරුණු විට සාකච්ඡා (කලාවේ පටන් දේශපාලන සාකච්ඡා දක්වා), සම්මන්ත්‍රණ, දේශන, පුහුණු සැසි, සුහද හමු, රූගත කිරීම් ආදිය සඳහාත් මෙහි ඉඩ වෙන්වෙනවා. මේ ව්‍යසනය නිසා දැන් ඒ සියල්ල නතර වී තිබෙනවා.

රඟහල වසා තැබුණද නඩත්තු කටයුතු සිදුකළ යුතුයි. ඒ කටයුතු සිදුකරන්නේ කොහොමද? කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් කළාද?

ඔව්. නඩත්තු කටයුතු පෙර පරිද්දෙන්ම සිදුවෙනවා. ස්වභාවික ගහකොළවලින් අලංකරණය වී තිබෙන නිසා ඒවාට සාත්තු කිරීම අතපසු නොකර සිදු කළ යුතුයි. මිනිස්සු නාවත් නඩත්තු කටයුතුවලින් බැහැර වන්නට බැහැ.
ඒ වගේම තමයි අපේ කාර්ය මණ්ඩලය. ඔවුන් අතහැර දැමීමටත් මේ වෙලාව නොවේ. වසර පුරා අපේ ආයතනයේ උන්නතිය වෙනුවෙන් කැප වූ ඔවුන් වෙනුවෙන් අපි කෘතගුණ සලකන්න ඕන. අපි සේවකයින්ගේ වැටුප් ගෙවීම් පෙර පරිද්දෙන්ම සිදු කළා. කිසිදු ආදායම් මාර්ගයක් නැතිව මේ වියදම් දැරිය නොහැකි තරම්. නමුත් ඒ කළයුතුම රාජකාරි නිසා බැංකු ණය පවා ලබාගන්න සිදුවුණා.

අත්තිකාරම් මුදල් ගෙවා දින වෙන් කරගත් නාට්‍ය සඳහා නැවතත් අවස්ථාවක් ලබා දෙනවාද? එසේත් නැතිනම් මුදල් ආපසු භාර දෙනවද?

අපි කිසිම දවසක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ නැහැ. නාට්‍ය දර්ශන අවසන් වූ විට එහි අධ්‍යක්ෂකවරයා විසින් තමයි අදාළ මුදල් ගෙවන්නේ. ඉදිරියේදී දින වෙන් කරගෙන තිබූ නාට්‍යය පිළිබඳ තවමත් පැහැදිලි අදහසක් නැහැ. මේ තත්ත්වය පහව යනතුරු අපිට ආදායම් මාර්ගයක් නැහැ කියන දේ විතරක් පැහැදිලියි.

සමාජ දුරස්ථභාවය රැකගනිමින් රඟහලක් පවත්වාගෙන යාමට හැකිද?

රඟහල සහ ප්‍රේක්ෂකයා කියන්නේ එකකට එකක් සම්බන්ධ දෙයක්. නාට්‍යයක් නිර්මාණය කරන්නේ සෙනග පිරුණු රඟහලක් හිතේ තියාගෙන. නාට්‍යයක තියන ජීව ගුණය, හඬේ තිබෙන පෞරුෂය සෙනඟ නැති රඟහලක තිබේවි දැයි සැක සහිතයි. ප්‍රේක්ෂකයන් අඩු සංඛ්‍යාවකට වේදිකා නාට්‍ය රඟදැක්වීම එතරම් ප්‍රායෝගික නැහැ. මොකද වසංගත තත්ත්වය ඇති වෙන්නට පෙරත් ඇතැම් නාට්‍ය දර්ශන සඳහා ප්‍රේක්ෂකයන් සහභාගි වීමේ දුර්වලතා තිබෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ නාට්‍යය නිෂ්පාදනයට වැය වූ මුදලවත් සොයා ගත හැකි වේදැයි සැකයි.

පෙරදී තරම් ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයක් බලාපොරොත්තු වෙනවද?

එවැනි බලාපොරොත්තුවක් තබා ගැනීමම විහිළුවක්. මොකද මේ කාලය ලෝකවාසී සියල්ලන්ටම අසීරු, දුෂ්කර කාලයක්. මිනිස්සුන්ට මේ දිනවල ජීවිතය විඳින්න අවසරයක් නැහැ. බොහෝ දෙනෙක් ආහාර ප්‍රශ්නෙට මූණ දීලා ඉන්නේ. නාට්‍ය බලන්න තරම් මිනිස්සුන්ගේ හිතේ එකලාසයක් නෑ. දැන් නාට්‍ය බලන්න පවුල් පිටින් යන්න බෑ. බලන බලන මාධ්‍යයෙන් නිවේදනය කරන්නේ තනියම ඉන්න කියලා. මීටරේ දුරින් ඉන්න කියලා. ගෙදර එක්කෙනෙක් විතරක් එළියට යන්න කියලා. අනිත් කාරණය මාස දෙකක් කිසිම ආදායමක් නැතිව හිටිය මිනිස්සු නාට්‍ය බලන්න ඒවිද? සල්ලි තියෙනවා නම් තමයි නාට්‍ය බලන්න මිනිස්සු එන්නේ. කිසිම මිනිහෙක් හැමදේම කරලා ඉවරවෙලා නෙවෙයි කෑම කන්නේ. කෑම කාලා තව ඉතුරු නම් තමයි අනිත් දේවල් කරන්නේ. ඉතින් මම හිතන්නේ නෑ මේ තත්ත්වය පහව ගිය සැනින් පෙර පරිද්දෙන් රඟහල් වෙත මිනිස්සු පැමිණේවි කියා. කෙතරම් අපහසු වුවත් අපි යථාර්ථයට මුහුණදිය යුතුයි.

වේදිකාවෙන් ජීවිකාව ගෙනගිය පුද්ගලයන්ගේ අනාගත ඉරණම කෙබඳු වේද?

ඒ ගැන ඇත්තටම කතා කරන්නත් අපහසුයි. මොකද මේ වන විට සියලු නාට්‍ය නිෂ්පාදන, නාට්‍ය දර්ශන නතර වී තිබෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග සියල්ල ඇනහිටලා තියෙන්නේ. ඔවුන් වෙනුවෙන් කිසිවෙකු හඬක් නගන්නේ නැහැ. කලා ශිල්පීන් සියලුම දෙනා ඉමහත් අසීරුවෙන් මේ කාල පරිච්ඡේදය ගෙවන්නේ. රජයේ හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීමක් සිදුවනවා නම් එය ඔවුන්ගේ ජීවිතවලට විශාල ශක්තියක් වේවි.

ප්‍රේක්ෂකයන් නැවතත් රඟහල වෙත කැඳවා ගැනීමට කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවාද?

තවම නම් එවැන්නක් සිතුවේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා මේ වසංගතය නිසා සැක බිය නොමැතිව නාට්‍ය නරඹන්න ඒවිද කියලා. මේ තත්ත්වය පහව ගියත් තව වසර දෙකක් පමණ යාවි කියලා හිතෙනවා නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න.

නැවත පුංචි තියටර් වැඩ අරඹන්නේ කවදාද?

රජයේ සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුව ආයතනය විවෘත කිරීම අපහසුයි. මොකද සමාජ දුරස්ථභාවය රැක ගනිමින් මෙහේ වැඩ කටයුතු සිදු කරන්න බැහැ. ආයතනයේ අනිවාර්ය ගෙවීම් ආදායමක් ලැබුණත් නොලැබුණත් ගෙවිය යුතුයි. විදුලි බිල්, ජල බිල් ගෙවා ගැනීමට තරම් ආදායමක් ලැබෙන්නෙ නැහැ සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුව විවෘත කළොත්. ආයතනය වසා දැමීම තමයි දැනට තිබෙන එකම විසඳුම. මේ වෙද්දි කිහිප දෙනෙක් එක්කම සාකච්ඡා කළා. ඉදිරියේදී කවුරුන් හෝ අනුග්‍රහයක් දක්වන්න ඉදිරිපත් වුණොත් ආයතනය පවතීවි.

සෝබා ඩී. කෝලියවංශ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)