Saturday, September 21, 2024

දේශපාලන බලවතුන්ගේ වැලි මාෆියාව……

Must read

freddy 17 hours ago

වැලි යනු දේශපාලන බලවතුන් විසින් මෙහෙයවන දැවැන්ත මාෆියාවක් බවට පත්ව තිබේ.එක් එක් කලාප වල මෙයට අරක් ගත් මාෆියා නායකයෝ සිටිති.ඒ අය  විසින් දැවැන්ත ලෙස මේ ජවාරම කරගෙන යති.
විශේෂයෙන්ම වත්මන් රාජපක්ෂ පාලනය බලයට පැමිණිමෙන් පසුව සිදුව තිබෙන්නේ එය පිමි පනිමින් වර්ධනය වෙමින් තිබිමය.
සිය පාලනය තහවුරු කරගැනිම සදහා අවැසි තුනෙන් දෙක වෙනුවෙන් මේ වැලි මාෆියාකරුවනට අතදිගහැර සහය දෙන්නට මේ පාලකයෝ පසුගිය කාලය පුරා නිති රිති පවා ලිහිල් කළහ.
මහවැලි ගඟේ මනම්පිටියේ වැලි නිධිය මේ වනවිට දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් බවට පත්වී ඇතැයිදඑම නිසා එය නතර කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහා පියවර ගතයුතුයැයි මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධාන එකමුතුව අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

දිඹුලාගල,මනම්පිටිය ප්‍රදේශවල වැලි ගොඩ දැමීම ජීවිකාව කරගත් විශාල පිරිසකට අද එම ජීවනෝපාය අහිමිවී ඇතැයිද දිඹුලාගල ප්‍රාද්ශීය සභාවට බදු වශයෙන් වර්ෂයකට ලැබිය යුතු රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් මේ වනවිට නොලැබී යන බවද වැඩිදුරටත් එහි සඳහන්ය.මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මනම්පිටියේදී මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ටී.බී.සරත් මහතා මෙසේද පැවැසීය.

“පහුගිය අවුරුදු15ක විතර කාලය තුල මනම්පිටි වැලි ගොඩ දැමීමේ මධ්‍යස්ථානය දේශපාලන බලවතුන්ගේ ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා.බලයට පත්වෙක සෑම දේශපාලන බලවතෙක්ම මේ මනම්පිටිය වැලි නිධිය ගොදුරක්, උරුමයක් බවට පත්කර ගන්නවා.වර්තමාන ආණ්ඩුව බලයට එනකොට මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පොලොන්නරුවේ ක්‍රියාකාරීව මැදිහත් වෙච්ච දේශපාලන අධිකාරිය අද මේක ගොදුරක් බවට,ඉල්ලමක් බවට පත්කරගෙන තිබෙනවා.මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ දේශපාලනයට නායකත්වය දෙන රොෂාන් රණසිංහ මහත්තයා.ඔවුන් මේ වැලි මාෆියාව නතර කරන්න ඕන.

මොකද?ඔවුන් එවකට හිටපු ජනාධිපති තුමාගේ වැලි මාෆියාව නතර කරන්න තමයි බලය ඉල්ලුවේ.හැබැයි එදා තිබුණු මාෆියාව අද දෙගුණයකින් වැඩි වෙච්ච එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.විශේෂයෙන්ම ගත්තොත් මහවැලි ගඟ ආශ්‍රිත මේ වැලි නිධිය මහා ලොකු කළමනාකරණයක් නෙවෙයි කරන්න තියෙන්නේ.වැලි ටික තියෙනවා.ගොඩදාන මිනිස්සු ඉන්නවා.බෝට්ටු තියෙනවා.සේවකයේ ඉන්නවා.ගොඩදාන එක කළමනාකරණය කරන්න සමාගමක් තියෙනවා.

ඒ වැලි ටික නියමිත පරිදි ප්‍රවාහනය කරන ලොරි රථ සංගම්වලට ක්‍රමානුකූලව ලබාදීම මෙතැන කරන්න තියෙන්නේ.හැබැයි එහෙම ලබා දෙනවා වෙනුවට මේකට දේශපානඥයො පැනලා වළං කඬේට පැනපු ගොන්නු වගේ මේක විනාශ කරනවා.මේ වැලි නිධිය ආශ්‍රිතව ප්‍රවානහය කරන ලොරි රථ 2000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.හැබැයි වැලි නිධියෙන් දවසකට ගොඩදාන්න පුළුවන්කම තියෙන්නේ වැලි ලොරි 200-250ක් අතර ප්‍රමාණයකටසමාගමට තියෙන්නේ මේක ටෝකන් ක්‍රමයකට බෙදල දෙන එක.නමුත් හැමදාම කරන්නේ තමන්ගේ ලොරි 75ක් 100ක් ඇතුලු කරන එක.

මේ දේශපාලන බලවතුන් එක ලොරියකින් රුපියල් 5000ක් අය කරනවා.කොළඹට ගියත් පොලොන්නරුවට ගියත් ඒ රුපියල් . 5000 එකතු වෙනවා.වැලි මිළදී ගන්න කෙනා තමයි මේ රුපියල් 5000 ගෙවන්න ඕන.ඒ ලොරි 75ට 100ට හැමදාම වැලි හම්බවෙනවා.

සමාගමට පිටින් තැරැව්කාරයෝ මේ මුදල් එකතු කරන්නේ.අනෙක් ලොරිවලට සතියකට එකක් නෑ.මේ වැලි නිධියෙන් අහිංසක විදියට ජීවත් වුණු 2000 කට 3000කට එයින් ජීවත් වෙන්න නොදී තමන්ගේ දේශපාලන ගොදුරක් බවට පත් කර ගත්ත මේ ක්‍රියාවලිය හරි අසාධාරණයි. 2015 බලයට පත්වුණු ආණ්ඩුව,ඒ ආණ්ඩුවෙ හිටපු දේශපාලන අධිකාරිය,දේශපාන බලවත්තු මේ වැලි නිධිය මේ ආකාරයට හොරකම් කලා,වංචාකලා,දූෂණය කලා.

දේශපාලන නායකයන්ගේ ගෝලයෝ,තරැව්කාරයෝ තමයි ලාභ ඉපැයුවේ පැත්තකට වෙලා ඉඳගෙන.අපි රොෂාන් රණසිංහ මහත්තයාගෙන් අහනවා ඇයි මේ මාෆියාවට දේශපාලන නායකත්වය දෙන්නේ.ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට අපි අවධාරණය කරනවා මෙය නතර කිරිමට හා පියවර ගතයුතුයි කියලා. එය නතර කරනතුරු මේ වැලි නිධිය සුරැකීමේ ව්‍යාපාරය තුල අපි දිගින් දිගටම ඉන්නවා.”

මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධානයේ සභාපති සංජීව බන්දුසේන,දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ගයාන් චතුරංග යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුහ..
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)