Saturday, September 21, 2024

ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කර ඩොලර් ගේන්නම් – මනෝ ගනේෂන්

Must read

විදෙස්ගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර ශ්‍රී ලංකාවට ඩොලර් රැගෙන ඒමට තමන් සුදානම් බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

මනෝ ගනේෂන් පවසයි.

ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට තුළ තහනම් කර තිබු ජාත්‍යාන්තර දෙමළ සංවිධාන 06ක් සහ පුද්ගලයින් පිරිසකගේ තහනම ඉවත් කිරීමට රජය ගත් පියවර සුබදායක බවයි.

ඩයස්පෝරා සංවිධානවල් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවත්, ඒ සඳහා වන පදනම රජය නිර්මාණය කළ යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස ආසාදු ලේඛනගතකර තිබූ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා කටයුතු කර තිබුණි. ගෝලීය දමිළ සංසදය, බ්‍රිතාන්‍ය දමිළ සංසදය, කැනේඩියානු දමිළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දමිළ කොංග්‍රසය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව හා ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය යන සංවිධානවල තහනම් එසේ ඉවත්කර තිබේ.

මෙම පියවර ඉතාම සාදරයෙන් පිළිගන්නා බව පැවසු මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, එහෙත්, තහනම ඉවත් කිරීමෙන් පමණක් ඔවුන් තෘප්තිමත් නොවන බව සඳහන් කළේය.

“මේවා ඉවත්වීම හරහා ලෝකෙට ලංකාව ගැන හොඳ පණිවුඩයක් ලබාදීලා තිබෙනවා. ඒ පණිවුඩය සුබවාදී පණිවිඩයක් කියලා මම කියනවා. මේ පණිවුඩය අරන් ගිහින් උතුරු අමෙරිකාවට, යුරෝපයට, ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ලංකාව වෙනුවෙන් කතා කරන්න මම ලෑස්තියි. මට ඒක පුළුවන්. ” ඔහු අවධාරණය කළේය.

ඩොලර් බිලියන 52 ක ශ්‍රී ලංකාවේ ණය බර, රට පාලනය කිරීමට මසකට ඩොලර් මිලියන 500 ක අවශ්‍යතාවය යන පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ සියලුම දමිළ සහ සිංහල ජනතාවගේ සහයෝගය ලබා ගත යුතු බවද මන්ත්‍රීවරයා පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මෙසේ සඳහන් කළේය.


”අවම පොදු ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත්කළ යුතුයි..”


”මේ රටේ ජාතික සමගිය සහ ජනවාර්ගික ගැටලුව විසඳීම සම්බන්ධයෙනුත්, දූෂණයෙන් තොර මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙනුත්, අවම පොදු ප්‍රතිපත්ති ප්‍රකාශය, ශ්‍රී ලංකා රජය ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූවන් වෙත රජයේ සහතිකයක් ලෙස ප්‍රමාදයකින් තොරව ප්‍රකාශ කළ යුතුයි.

 මෙම පදනම මත දමිළ සංවිධාන පමණක් නොව, සිංහල ඇතුළු ලංකාවෙන් සංක්‍රමණය වූ සියලුම ජනතා සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට මම සූදානමින් සිටිනවා. 

එක පැත්තකින් දමිළ ජාතිකයකු ලෙසත්, අනිත් පැත්තෙන් දකුණේ සිංහල ජනතාව ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් මේ කාර්යභාරය ඉටු කිරීමට මම සුදුසු කෙනෙක්යැයි විශ්වාස කරනවා.

රජයේ ඇමතිකම් ගන්නවාට වඩා මේක ප්‍රයෝජනවත් යැයි තමා විශ්වාස කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක නෝ ගනේසන් කියා සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මනෝ ගනේසන් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ පැවසිය.

”අද අපි ලෝකයෙන් හිඟමන් ඉල්ලන තත්ත්වයට පත්වෙලා. ඒත් ඉන්දියාව ඇරෙන්න කවුරුත් අපිට උදව් කළේ නැහැ. ඉන්දීය ජනතාවගේ බදු මුදලින් මේ ආධාරය කොපමණ කාලයක් ලැබෙයිද දන්නේ නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව තවමත් ඉන්නේ පැත්තකට වෙලා.

ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට ඇති සමාජ ආර්ථික සැලැස්ම කුමක්ද? ජනාධිපති ධූරයට පත්වී සති කිහිපයක් ගතවී ඇතත් මේ කිසිවක් සිදුවී නැහැ. 

මෙවැනි තත්වය තුළ පැරණි ප්‍රතිපත්තිවලින් වෙනස් වී, අලුත් ආකාරයකින් දකින්නට, සිතන්නට හැකි නම්, අපි ලොව පුරා වෙසෙන අපේ රටවැසියන්ගෙන්, මාතෘභූමියට උදව් කරන ලෙස ඉල්ලන්න පුළුවන්.

ලොව පුරා සංක්‍රමණය වූ දමිළ සහ සිංහල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 25 ක් පමණ සිටිතවා. ඔවුන් සියලු දෙනාම කැමැත්තෙන් රටට උදව් කළ හැකි ආකාරයට ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම රටේත්, රජයේත් යුතුකමයි.

මේ රටේ ජීවත් වෙන්න බැරුව, විදේශ රටවලට ගිය අයට රට හොඳ දිසාවකට ගමන් කරනවා කියන විශ්වාසය ඇති වෙන්න ඕනෙ. නමුත්, ඒවාට පෙර කොන්දේසි තිබෙනවා. 

# සංක්‍රමණික දමිළ ජනතාව විශේෂයෙන්ම රටේ ජාතික ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් සහතිකයන් අපේක්ෂා කරනවා.

# සංක්‍රමණික සිංහල ජනතාව විශේෂයෙන් ඔවුන්ගේ ආධාර දූෂිත හා නාස්තිකාර දේශපාලකයන් අතට නොවැටෙන බවට සහතිකයක් බලාපොරොත්තු වෙනවා.


මෙම රට සිංහල බෞද්ධ රටක් කියන පදනම වෙනස් විය යුතුයි. මෙම රට සිංහල, දමිල, මුස්ලිම් රටක් කියන පදනම පිළිගැනීමට ලක්විය යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉහළ යා යුතුයි. 

ඒවගේම විදේශයෙන් ලැබෙන සෑම ඩොලරයක්, පවුමක් සහ යුරෝවක්ම රටේ අවශ්‍යතා සඳහා විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතුව භාවිතා කළ යුතුයි. 

මේවා සම්බන්ධයෙන් අවම පොදු ප්‍රතිපත්තීන් සහතිකයන් ලෙස ශ්‍රී ලංකා රජය හා විපක්ෂය විසින් ප්‍රකාශ කලේ නම්, ඒක හැකිවෙයි.

මෙම පදනම මත දමිළ පමණක් නොව, සිංහල ඇතුළු ලංකාවෙන් සංක්‍රමණය වූ සියලුම ජනතා සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානමින් සිටින බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එක පැත්තකින් දමිළ ලාංකීය ජාතිකයකු ලෙසත්, අනිත් පැත්තෙන් දකුණේ සිංහල ජනතාව සමග ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් මේ කාර්යභාරය ඉටු කිරීමට මම සුදුසු කෙනෙක්යැයි මම විශ්වාස කරනවා.

මේ ආණ්ඩුවේ මට ඇමතිකම් එපා මම ඒකට සුදානම් නෑ. නමුත් රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්තියි මම. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, සලකා බලන්න මේ ඩයස්පෝරා ආයතන කවුරුත් දැන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. මට වගකීම භාරගන්න පුළුවන්. මට පුළුවන් මේ ආයතනයට කතා කරලා වෙනසක් ගේන්න. හැබැයි යනකොට මට හිස් අතින් යන්න බෑ. ආණ්ඩුවෙන් මට ඕනේ සැලැස්මක්.”

https://www.youtube.com/embed/SDdp4oS6q-s

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස ආසාදු ලේඛනගතකර තිබූ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුට පනවා තිබූ තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් වාර්තා කරමින් පී.ටී.අයි. ඉන්දීය ප්‍රවෘත්ති සේවය පවසන්නේ අදාළ තහනම් ඉවත් කිරීමට ලක්රජය පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන අසාමාන්‍ය ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවය.

එවැනි වටපිටාවක් තුළ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ යළි එක්ව කටයුතු කිරීමෙන් මෙරටට විදේශ විනිමය ආකර්ශනය කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත්, එමගින් විදේශ සංචිත ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අදහස වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර තහනම ඉවත් කරනු ලැබු සංවිධානයක් වන ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හෙවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එම්මානුවෙල් පියතුමන් ලක් රජය ගනු ගැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පල කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පනවා තිබු තහනම ව්‍යාජ බිය සහ සැකය යන චෝදනා මත පදනම්ව ක්‍රියාත්මක වුවක් බැවින් එය ඉවත් කිරීම සතුටින් පිළිගන්නා බවය.
එම්මානුවෙල් පියතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එක්ව රට ගොඩනැගීමට සියලු ශ්‍රී ලාංකිකයන් එක්වන ලෙසය.

එමෙන්ම එස්.ජේ. එම්මානුවෙල් පියතුමන් සිංහල භාෂාවෙන්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ වාර්ගික සහ ආගමික වෙනස්කම් පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්පීය වෙනස්වීමක් සිදුවිය යුතු බවය.

PHOTO 2022 08 16 11 07 17

මේ අතර ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුගේ තහනම ඉවත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ තහනම ඉවත් කිරීමට හේතුව කුමක්දැයි රජය ජනතාවට ඉදිරිපත් කළ යුතු බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මෙසේ පැවසුහ.

“නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සංවිධාන වශයෙන් අධිකරණ තීන්දු අරගෙන තිබුණ නිසයි ඒ සංවිධාන තහනමට යොමු වුණේ. එහෙනම් ඒ තහනම ඉවත් කරන්න අධිකරණ තීන්දුවක් ආවද? ඒ එක්කම පෙර පැවති නීති විරෝධී තත්ත්වය වෙනස් වුණාද ? ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධානවල තහනම ඉවත් කරන්න හේතුව කුමක්ද? ඒ පිළිබඳව පූර්ණ විස්තරයක් රජය සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමට ගන්නා උත්සාහයේ එක පියවරක් වෙන්න ඕනේ මේක.”

ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් බරපතල සැකසංකා මතුවන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

 එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ හේතු මොනවාදැයි රජය මෙතෙක් පිළිගත හැකි පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බවයි.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)