යම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් අපහාසයක් සිදුවුවහොත් දීලික්ත්මය වගකීම සම්බන්ධව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා වන්දි ලබා ගැනීමේ හැකියාව පවතී.
ජනාධිපතිවරයාට රටේ යම් පුරවැසියෙකුගේ ප්‍රකාශයකින් හෝ ෆේස්බුක් වැනි සමාජමාධ්‍යකින් බෙදා හරිනු ලබන පෝස්ට් එකක් මගින් යම් ආකරයකින් අපහාසයක් වූයේ යැයි සිතනවා නම් මෙම නීති තත්වය මගින් සහනයක් ලබා ගත හැකිය.
නමුත් එලෙස අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීමේදී අදාල ප්‍රකාශය සැබෑ ලෙසටම අපහාසාත්මක බව පැමිණිලිකරු විසින් ඔප්පු කළ යුතුය. අපහාසයක් ලෙස සැලකිය හැක්කේ කුමක්? Independent Newspapers Ltd V. Devdas 1983 (2) SLR 505 නඩුවේදී තීරණය කරන ලද්දේ “අපහාසය තුළ යම් පුද්ගලයෙකු පිළිබඳ සිදු කරන සාධාරණ පදනමකින් තොර හෝ සමාවකින් තොර හෝ අපහාසාත්මක ප්‍රකාශයක් අන්තර්ගත වන බවයි”.
මීට අමතරව අපහාසය අදාල පුද්ගලයාට හානි කිරීමේ චේතනාවෙන් යුතුව කළ බවද පැමිණිල්ල ඔප්පු කළ යුතුය. මේ අනූව සිවිල් නීතිය යටතේ අපහාස නඩුවක් ගොනු කොට අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීම හා වන්දි ලබා ගැනීම සිතනා තරම් පහසු එකක් නොවන බව පෙනේ.
අපහාස කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ අපරාධ නීති තත්වය මීළගට විමසා බලමු.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 479 සිට 482 අ. දක්වා වගන්තිවල “කීර්ති හානි කිරීම” යටතේ යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකට අපහාස කිරීම අපරාධමය වරදක් ලෙස දක්වා තිබුණි.
නමුත් මෙම සාපරාධී අපහාස නීතිය ඇතුලත් පරිච්ඡේදයම සම්පූර්ණයෙන්ම 2002 අංක 12 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතින් ඉවත් කරන ලදි. එම නිසා මේ වන විට පුද්ගලයෙකුට අපහාස කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට කිසිදු බලයක් නොමැත.
ඉහත සදහන් කරන ලද ඉවත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය හැර ශ්‍රී ලංකාවේ කිසිදු අපරාධ නීතියට අදාල වන පනතක යම් පුද්ගලයෙකුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම නිසා අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට වගකීමක් සංස්ථාපනය වන ප්‍රතිපාදනයක් නොමැත.
එහෙයින් “ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් සමාජමාධ්‍යක හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව පොලීසියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවට” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීම අපරාධ නීතිය පිළිබඳ ඉතාම අසත්‍ය හා මිනිසුන් නොමගයවන සුළු ප්‍රකාශයකි.
~ නීතීඥ සාරංග වාදසිංහ ~
(සමාජමාධ්‍ය තුළ වූ සටහනකි)
(උපුටා ගැනිම – theleader.lk)