Saturday, September 21, 2024

චන්දිගේ හොඳම ඉනිම සමඟින් යාපනයේ අපරාජිත කිරුළු බිඳ වැටේ

Must read

( 8.30 am ) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (4) හම්බන්තොට දී නිමා වූ 11 වැනි තරගය වූ Colombo Kings සහ Jaffna Stallions අතර තරගයේ දී අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එතෙක් අපරාජිතයන් සේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටි Stallions ක්‍රීඩකයින් පරාජයට පත් කළහ. 

ප්‍රසාද ලකුණු පුවරුවේ තව දුරටත් යාපනය ක්‍රීඩකයෝ පළමු ස්ථානයේ ම රැඳී සිටින අතර කොළඹ ක්‍රීඩකයෝ දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට මෙම ජයග්‍රහණය හේතු විය. 

කාසියේ වාසිය දිනා ගත් අගනුවර අදහස වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. ඒ අනුව ලද ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි යාපනය ක්‍රීඩකයෝ තරගාවලියේ දුර්වලම ඉනිම මේ තරගයේ දී වාර්තා කළහ. ඔවුන්ට පන්දුවාර 20 අවසන් වන විට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් පමණි. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 151ක් ලබා ගත්තේ තරගය නිමා වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීය. 

මෙම තරගයේ දී කොළඹ ක්‍රීඩකයෝ පෙර තරගයට ක්‍රීඩා කළ අය අතුරින් වෙනස්කම් දෙකක් සහිතව ද, යාපනය ක්‍රීඩකයෝ වෙනස්කම් 4ක් සහිතව ද පිටියට පිවිසීම කැපී පෙණුනි. අගනුවර කණ්ඩායම වෙනුවෙන් ධම්මික ප්‍රසාද් සහ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට තරිඳු කෞෂාල් සහ එංගලන්තයේ Daniel Bell Drummond කැඳවා තිබුණි. 

යාපනය කණ්ඩායමේ වෙනස්කම් 4ට සුරංග ලක්මාල්, එංගලන්තයේ Tom Moors, දකුණු අප්‍රිකාවේ Duanne Olivier සහ පාකිස්තානයේ Usman Shinwari  ඇතුළත් වූහ. ඔවුන් වෙනුවට බිනුර ප්‍රනාන්දු, දකුණු අප්‍රිකාවේ Kyle Abbott, බටහිර ඉන්දිය කොදෙව් හී Jhonson Charles සහ හෙට (05) තම 19 වැනි උපන් දිනය යෙදී ඇති යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබුණි. 

තරගයේ පළමු පන්දුවාරයේ සිටම යාපනය ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට අගනුවර පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි. ඒ අනුව යාපනය ක්‍රීඩකයන්ට තමන්ගේ පළමු පන්දුවාර 5 දී රැස් කර ගත හැකි වූයේ ද ලකුණු 27ක් පමණි. ඒ වෙද්දී ඔවුන්ගේ පළමු කඩුල්ල ද අහිමිකරගෙන තිබුණි. පන්දුවාර 10ක් අවසන් වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 4ක් දැවි ලකුණු 66ක් වූහ. එසේ වූවත් අවසන් පන්දුවාර 10දී ඔවුන් ලකුණු 82ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. 

ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ දෙවැනි කඩුල්ලට එක්වූ ලකුණු 41යි. එය ගොඩනැගීමේ ගෞරවය අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක සතු වූහ. ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 35කට මුහුණ දුන් හ. අවිශ්ක පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 26ක් ලබා ගත් අතර මිනෝද් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් හ. 

අවිශ්ක සහ මිනෝද් දෙදෙනා ම 20 හැවිරිදි ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Qais Ahmadට ගොදුරු වූ අතර පාකිස්තාන පිතිකරු Shoaib Malik (08) ද දවා ගත් ඔහු යාපනය ක්‍රීඩකයන්ගේ පෙර පෙළ විනාශ කර දැමීමේ නියමුවා විය. ඒ වෙද්දී ඔහු පන්දුවාර දෙකක දී ලකුණු 11කට කඩුලු 3ක් දවා ගෙන තිබුණි. 

නායක තිසර පෙරේරාට ද අද තරගයේ දී සිතූ දෙයක් කරන්නට හැකි වූයේ නැත. ඔහුගේ ඉනිම ලකුණු 18කට සීමා විය. එම දැවී යෑමත් සමඟින් යාපනය ඉනිම ඉතා බැරෑරුම් තත්ත්වයකට පත් වූ අතර එහි දී වගකීම පවර ගත්තේ වනිඳු හසරංග ය. ඔහු ඉනිමේ 18 වැනි පන්දුවාරය යැවූ ඉසුරු උදානට එරෙහිව පිට පිට හතරේ පහර 5ක් එල්ල කරමින් ලකුණු පුවරුව යම් තරමකින් ඉහළ දැමීම කැපි පෙණුනි. නමුත් ඔහු ඊළඟ පන්දුවාරයේ දී මැතිව්ස්ගේ පන්දුවකට කඩුල්ල බිඳ ගනිමින් දැවී ගියේය. ඒ වෙද්දී ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ තරගාවලියේ 150 වැනි හයේ පහර එල්ල කිරීමේ ගෞරවය ද ලබා ගනිමින් ලකුණු 41ක් ලබා සිටියේය.

කඩුලු ලබා ගැනීමේ දී Qais Ahmad ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර දුෂ්මන්ත චමිර ද කඩුලු 2ක් දවා ගනිමින් වැඩි දක්ෂතා දැක්විය. 

පිළිතුරු හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොළඹ කණ්ඩායමට ද තම ඉලක්කය පහසුවෙන් සපුරා ගැනීමට ප්‍රතිවාදි යාපනය ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැත. ඔවුන්ගේ පළමු ලකුණු 50 වෙනුවෙන් පන්දු 36කට මුහුණ පෑමට සිදු වූ අතර කඩුලු 2ක් ද අහිමි කර ගැනීමට සිදු වූහ. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 37ක දී ලකුණු 40ක් රැස්කරගෙන සිටිය දී තම මංගල විස්සයි විස්ස තරගයට මුහුණ දෙන වියස්කාන්ත් තම මංගල කඩුල්ල ලබා ගත්තේය. ඒ මැතිව්ස් දවා ගනිමිනි. ඒ වෙද්දී මැතිව්ස් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියේ ය. 

ඔවුන්ට අවසන් පන්දුවාර 5 දී ජයග්‍රහණ වෙනුවෙන් ලකුණු 49ක් අවශ්‍ය වූහ. ඒ වෙද්දී පිටියේ රැඳී සිටියේ තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවල දී ලබා දුන් විනිසුරු තීරණයන් අභියෝගයට ලක් කරමින් නැවත පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත වූ දිනේෂ් චන්දිමාල් සහ Andre Russell ය. 

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් චන්දිමාල් තමන් මුහුණ දුන් 35 වැනි පන්දුවේ දී තරගාවලියේ තමන් විසින් රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු තරගය ජයග්‍රහණය කරන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවි ලකුණු 68ක් ලබා සිටියේය. මෙම ඉනිම චන්දිමාල්ගේ මෙම තරගාවලියේ හොඳම ඉනිම වූ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

Russell ද එහි උපරිම වාසිය ලබා ගනිමින් තරගයේ 16 වැනි පන්දුවාරයේ තමන් මුහුණ දුන් පන්දු 5ට ලකුණු 21ක් ලබා ගනිමින් තරගය තමන්ගේ පැත්තට නම්මා ගත්තේය. නමුත් ඔහු ඊළඟ පන්දුවාරයේ තමන් මුහුණ දුන් 20 වැනි පන්දුවේ දී ඉනිම අවසන් කර ගත්තේය. ඒ වෙද්දී ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියේ ය. Russell දැවී යන විට ඔවුන්ට තරමක වාසියක් වූයේ පන්දු ප්‍රමාණයට වඩා ලකුණු ප්‍රමාණය අඩු වීමයි. 

කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

TeamMWLTPT
Jaffna Stallions54108
Colombo Kings43106
Result

Colombo Kings 151/4 (19.2) Jaffna Stallions 148/9 (20)

Colombo Kings won by 6 wickets

Updated at 11:36 PM 2020-12-04

BatsmenRB4s6sSR
Dinesh Chandimalnot out685172133.33
Laurie Evansb Wanindu Hasaranga141011140.00
Daniel Bell Drummondlbw b Wanindu Hasaranga03000.00
Angelo Mathewsc Shoaib Malik b Vijayakanth Viyaskanth22242191.67
Andre Russellc Avishka Fernando b Chathuranga de Sliva322023160.00
Thikshila de silvanot out10810125.00
Extras5 (b 0 , lb 4 , nb 0, w 1, pen 0)
Total151/4 (19.2 Overs, RR: 7.81)
Did not batIsuru Udana, Ashan Priyanjan, Qais Ahmed, Dushmantha Chameera, Tharindu Kaushal,
BowlingOMRWEcon
Binura Fernando4041010.25
Wanindu Hasaranga402325.75
Kyle Abbott1015015.00
Thisara Perera201306.50
Vijayakanth Viyaskanth402917.25
Chathuranga de Sliva402115.25
Dhananjaya de Silva0.20000.00

තරගාවලියේ හෙට (05) 12 වැනි තරගය ලෙසින් Dambulla Viiking සහ Galle Gladiators අතර සවස 3.00ට ද, 13 වැනි තරගය ලෙසින් Colombo Kings සහ Kandy Tuskers අතර තරගය රාත්‍රි 8.00ට ද පැවැත්වේ. 
thepapare.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)