Sunday, September 22, 2024

ගමේ අපි ක්‍රිකට් නොදැකපු කාලයේ අපට ක්‍රිකට් පෙන්නූ ප්‍රේමසර සහ පාලිත……

Must read

….ගමේ අපි ක්‍රිකට් නොදැකපු කාලයේ අපට ක්‍රිකට් පෙන්නූ ප්‍රේමසර/ පාලිත……
රූපවාහිනිය අපේ රටට ආවේ 1980 න් පසුවය…
රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නරඹන්නට අපට අවස්ථාව ලැබුනේ ඉන් අනතුරුවය…

නමුත් හැටේ හැත්තෑවේ දශකයේ අපේ මිනිසුන් ක්‍රිකට් බැලූහ..
ඒ රූපවාහිනියෙන් නොවේ… ගුවන් විදුලියෙනි…
ගුවන් විදුලියෙන් අපට ක්‍රිකට් පෙන්නුවේ ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිත පෙරේරාය…
ඔවුන් මෙන් ගුවන් විදුලියෙන් ඈත ගම්මානවල මිනිසුන්ට ක්‍රිකට් පෙන්වීමට හැකියාවක් ඇති අයෙක් ඉන් පසුව අද වන තුරු මා දැක නැත…
ප්‍රේමසර ගේ ආකර්ෂණීය හඬක් පාලිතගේ ප්‍රතාපවත් හඬත් අප විනාඩි පහළොවෙන් 15ට එස් එස් සී ක්‍රීඩාංගනය ට සීසීසී ක්‍රීඩාංගණයට හෝ සරවනමුත්තු ක්‍රීඩාංගනය වෙත රැගෙන ආවෝය..

ඔවුන්ගෙ ඇගේ ක්‍රිකට් තිබුණේය.. හිතේ හදවතේ තිබුණේය.. වචන වල ක්‍රිකට් තිබුණේය…

ඔවුන්ගේ ක්‍රිකට් විස්තර ප්‍රචාරය ක්‍රිකට් මූලික කරගත් දෙයක් මිසක් මුදල් මූලික කරගත් දෙයක් නොවීය..
ඉංග්‍රීසි විස්තර ප්‍රචාරණයේ ආධිපත්‍යයට යට වී තිබූ සහ එක්තරා පැළැන්තියක ට පමණක් ක්‍රිකට් ක්‍රීඩාව සීමාව තිබූ යුගයක ඈත ගම් දනව් කරා ක්‍රිකට් ගෙන යාමේ මූලික සහ දැවැන්තම අභියෝගයන් ජය ගත් චරිත දෙක ලෙස මා විශ්වාස කරන්නේ ඔවුන් දෙදෙනා ය……
(ඔවුන් දෙදෙනාම දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ය…
ප්‍රේමසර නාලන්දාවේ එක්දහස් නවසිය පනහේ දශකයේ දක්ෂ කඩුළු රකින්නෙකි…
පාලිත මා සිතන්නේ නාලන්දාවේම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ බවයි…)
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් එය සෑම අතින්ම ඉහළින් අගය කලත් අතීතය මතක ඇති අපේ පැරණි ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අද වනතුරු ඔවුන්ගේ ඒ විශිෂ්ට සේවය සිහිපත් කලත් බිලියන ගණන් මුදල් සංසරණය වන ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලකයින් ඒ පිළිබඳව නිසි ඇගැයීමක් කරාදැයි යන්න නම් මට ප්‍රශ්නයකි……
” ක්‍රීඩා පිටිය තුල ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් යෝග්‍ය කාලගුණ තත්ත්වයක් මේ මොහොතේ පවතිනවා…..සිසිල් සුළං රැල්ලක් ක්‍රීඩා පිටිය සිසාරා හමා යන මේ මොහොතේ වමතින් දඟ පන්දු යවන අජිත් ද සිල්වා ක්‍රීඩා මණ්ඩප අන්තයේ සිට දිව එනවා පන්දු යැවීම සඳහා..
ඔහු ට මුහුණදීමට Alan Border සූදානම් ..
Border පාදයක් පසුපසට ගෙන පිට ඉන්නෙන් පිටතට ඇදී යන පන්දුවට squire cut පහරක් එල්ල කරමින් ලකුණක් ලබා ගැනීමට උත්සාහ ගන්නවා…
අනෙක් අන්තයේ සිටින ග්‍රැහැම් යෙලොප් දකිනවා පන්දුව ඇදී යන්නේ කවර් පොයින්ට්හි පන්දු රකින රෝයි ඩයස් අසලින් බව….
ඒ නිසා ඔහු Border ව ආපසු හරවා යවනවා… නමුත් ඔහු ප්‍රමාද වැඩියි…. ඒ විශිෂ්ට පන්දු රකින්නා Roy Dias විශිෂ්ට පන්දු රැකීමක යෙදෙමින් කෙලින්ම පන්දුව කඩුළු රකින මහෙශ් ගුනතිලක ගේ අත් ආවරණ තුළටම යොමු කරනවා …ඔහු කඩුල්ල බිඳ දමනවා.. Alan Border දුවද්දී දැවි යනවා…..”

(1981 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිම් හියුස්ගේ නායකත්වයෙන් නිල නොවන දින හතරේ ටෙස්ට් තරග දේකට සහ එක්දින තරග තුනකට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ පැවති තරගයක විස්තර ප්‍රචාරයෙහි කොටසක් මගේ මතකයේ රැඳී තිබුනා)
1980 richmond-mahinda දියමන්ති ජුබිලිය තරගයේ විස්තර ප්‍රචාරය ප්‍රේමසරත් පාලිතත් ගාලු ක්‍රීඩාංගණයේ සිට ගෙනාවෝය…
එකල අපේ සිටි විශිෂ්ටතම ක්‍රීඩකයකු වූ පසුගියදා අපෙන් සමුගත් ජගත් perera මහින්දයේ තුවාන් හමිඩ්ගේ පන්දුවකට ක්‍රීඩා මණ්ඩපය ට ඉහළින් ගාලු පාර දෙසට හයේ පහරක් එල්ල කළ මොහොතේ “ඒ උත්තුංග දේහධාරී පිතිකරුවා ගෙන් දැවැන්ත හයේ පාරක්” යනුවෙන් පාලිත විස්තර විචාරය කළ ආකාරයත් මට මතකයි..

ප්‍රේමසරත්, පාලිතත් සරවනමුත්තු ක්‍රීඩාංගනය අපේ ගෙදර මිදුලට ගෙනාව් එසේය…..
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවය නොමැතිනම් දෙවන සේවයෙන් ඉරිදා රාත්‍රී 8.30 ට ප්‍රචාරය වූයේ මොනරතැන්න ටෙලිනාට්‍යයයි… ඊට පෙර අටයි පහළොවේ සිට 8.30 දක්වා බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු සංග්‍රහයයි…
“ලබන සතියේත් හරියටමඉරිදා රාත්‍රියේ 08.15 ට ලොව පුරා ක්‍රීඩා විස්තර සමගින් බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු සංග්‍රහය ඔබ වෙත ගෙන මා ප්‍රේමසර ඈපාසිංහයි..”
සෑම ඉරිදා දිනකම රාත්‍රියේ ඇසුනු ඒ හඬ ද අද මෙන් මතකය…..

.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)