Sunday, September 22, 2024

කොරෝනා උවදුරත් සමග කිතුල්ගල සංචාරක කලාපය අනතුරේ

Must read

කිතුල්ගල සංචාරක කලාපයට පසුගිය කාලයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩාළ වීම හේතුවෙන් කැලණි ගඟේ රාෆ්ටින් බෝට්ටු ජීවිකාව ගෙන ගිය පවුල් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් දුෂ්කරතාවට පත් වී සිටිති.

කිතුල්ගල සංචාරක කලාපයේ රාෆ්ටින් බෝට්ටු සේවා ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා දහසකට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත. සංචාරකයින් නොපැමිණීම හේතුවෙන් මෙම පිරිස් අසිරුතාවට පත් වී සිටිති. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් කඩා වැටුනු සංචාරක කර්මාන්තය යළි ක්‍රමානුකුලව වර්ධනය වෙමින් තිබියදී කොරෝනා වයිරසය ලොව පුරා පැතිරීම හේතුවෙන් නැවත සංචාරක කර්මාන්තය කඩා වැටුනු බව රාෆ්ටින් බෝට්ටු සේවා ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ නියැළී සිටින පිරිස් පවසති.

මේ පිළිබදව අදහස් දක්වන වයිට් වෝටර් රාෆ්ටින් බෝට්ටු හිමියන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත පුෂ්පකුමාර,

කිතුල්ගල ප්‍රදේශයේ රාෆ්ටින් බෝට්ටු සේවා ආශ්‍රිතව නිර්මාණය වූ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියා කළ පිරිස්වලට මේ වන විට රැකියා අහිමි වී තිබෙනවා. මම හිතන්නේ කොරෝනා වෛරසය මේ රටින් තුරන් වී රට සාමාන්‍ය තත්ත්වයට පත්වූවත් රටේ සංචාරක කර්මාන්තය ස්ථාවර වෙන්න තවත් මාස ගණනාවක් බලා සිටින්න සිදුවෙනවා.

රජය මගින් වාහන ලීසිං කර ගත් පිරිස් වෙත ලීසිං වාරික ගෙවන්න මාස හයක සහන කාලයක් ලබා දුන්නා- නමුත් සංචාරක කර්මාන්තය මාස හයකින් යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ- එම නිසා සංචාරක කර්මාන්තයේ නියැළී සිටින පිරිස් ලබා ගත් වාහන සඳහා ලීසිං ගෙවන්න මාස හයට අමතරව සහන කාලයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා’ යැයි කීය.

මේ පිළිබඳව අදහස් දක්වන රාෆ්ටින් බෝට්ටු සේවා ස්ථානයක් පවත්වාගෙන යන ජී.ආර්. ශානක ලක්මිණ,

කිතුල්ගල ප්‍රදේශයේ රාෆ්ටින් බෝට්ටු සේවා සපයන ආයතන වල රාෆ්ටීන් බෝට්ටු එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා- මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් රාෆ්ටින් බෝට්ටු ප්‍රයෝජනයට නොගත් නිසා ගම් එක පුස් කාලා ජොයින්ට් ගැලවෙනවා. ඒ වාගේම හුළං යනවා. එම නිසා බෝට්ටු මිලදී ගන්න වැය කළ මුදල් අපතේ යනවා. නැවත රාෆ්ටින් බෝට්ටු සේවා ආරම්භ කරන දවස් වෙනකොට අලුතින් රාෆ්ටින් බෝට්ටු මිලදී ගන්න සිදු වෙනවා. එම නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ රාෆ්ටීන් ක්‍රිඩාව යළි නගා සිටුවන්න රජයෙන් යම් සහනයක් ලබා දෙන ලෙසයි’ යැයි පැවැසීය.

මේ පිළිබඳව අදහස් දක්වන සංචාරක කර්මාන්තයේ නියැළී සිටින රොෂාන් අවන්ත,

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය විරැකියාව අතින් ලංකාවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ ගිහින් තිබෙනවා- කොරෝනා උවදුර හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම නතර කිරීම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියා කළ දහස් සංඛ්‍යාවකට රැකියා අහිමි වී තිබෙනවා. මේ තත්ත්වය මත කෑගල්ල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සංඛ්‍යාව තවත් ඉහළ ගිහින් තිබෙනවා.

කිතුල්ගල සංචාරක කලාපය කියන්නේ කිතුල්ගල ජනතාව විසින් ගොඩනගා ගත් සංචාරක ව්‍යාපාරයක්- මේ තුළින් රජයට විශාල විදේශ විනිමයක් උපයා දුන්නා. මෙම ප්‍රදේශයේ ජනතාව රජයට බරක් නොවී මෙම කර්මාන්තය කරගෙන ගියා- එම නිසා මේ වන විට දුෂ්කරතායට පත් වී සිටින රාෆ්ටින් බෝට්ටු කර්මාන්තයේ නියැළී සිටින පිරිස් නගා සිටුවීම සඳහා යම් වැඩපිළිවෙළක් රජය මැදැහත් වී සිදු කළ යුතුයි.

ඒ.ඩී.ඒ. නිශාන්ත – දැරණියගල

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)