Saturday, September 21, 2024

කාන්තාවන්ට ඔසප් වුණාම බඩ රිදෙන්නෙ ආණ්ඩුවට

Must read

( 8.30 am ) ලංකාවේ  කාන්තාවන්ගෙ සමාජ මනෝභාවය අනුව ගත්තම ලිංගිකත්වය, ඔසප්වීම,ස්ත්‍රිපුරුෂ සංවාසය වගේ දේවල් විවෘත වේදිකාවේ කතා නොකළ යුතු, ලැජ්ජා බයට හැදුණ ගෑණූ විසින් එළිපිට කතා කිරීම  මහා අපරාධයක් ලෙස සලකන මාතෘකා බවට පත්කරළා තියෙන්නේ…

ඒ මනෝභාවය මේ ධනේශ්වර පුරුෂ මූලික සමාජ ක්‍රමයේ ම ආරක්ෂක මෙවලමක් ලෙස පවත්වාගෙන යන්න මේ සමාජයේ ඉන්න ගැහැනු පිරිමි අපි හැමෝම දායක වෙලා තියෙනවා……

ලිංගිකත්වය මුල්කරගෙන අසමාන ලෙස  සැලකීම වගේම

කාන්තාවන්  තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න තරම් අභිමානයක් නැති  ප්‍රජාවක් බවට පත්කර ගැනීමත් මේ  ධනේශ්වර ක්‍රමයේ ම උපක්‍රමයක්……..

ඒ තත්වය  සියවස් ගණනාවක් තිස්සේ තවම ඒ ලෙසම පවතින්න අදාල හේතුව  එම පෑගිමට එරෙහිව  අරගලය  අදාල බරින් සිදු නොවීමයි…ලංකාවේ අපි ගත්තොත්……

සනීපාරක්ෂක තුවා පැකට් එක තවම ගෙනියන්නේ හංගලා……. ගෙදර ගෑණිට ඔසප් වන බව මිනිහා දන්නේ නෑ…… වෛවාහික සබඳතාවයන් තුළ ලිංගික අයිතිය ඒක පාර්ශවීය පුරුෂ මූලික අයිතිවාසිකමක් පමණයි…….ගෘහ කාර්යයභාරය තුළ කාන්තාව ශ්‍රම වහලියක්, වෙළඳපොළ ක්‍රමය තුළ ප්‍රචාරක මෙවලමක්……

මේවාට එරෙහිව අරගලය අවශ්‍ය නෑ කියලා හිතනවාද යමෙක්……..ඌ නරුමයෙක්

ඒ වගෙමයි  මේ ක්‍රමය කරබාගෙන භාර ගන්නා කාන්තාව ට ශක්තිය නොඅඩුවම දීලා අරගල බිම් වෙත ගෙනයන කාර්යය අපි ඇතුළු බොහෝ කාන්තා ක්‍රියාකාරී සංවිධාන වලට පැවරිලා තියෙනවා….

ඒ වගේම මේ තත්ත්වය දේශපාලනික යි….ඒ නිසා මේ  සමාජ ක්‍රමයේ කාන්තා අභිවෘද්ධිය , ඒ කියන්නේ  දුක්විඳින ගැහැණු උදෙසා සැබෑ විමුක්තිය උදා කළ හැක්කේ  සමාජවාදය තුළ පමණයි…..

හේතුව මේ පවතින ධනපති ක්‍රමය තුළ කාන්තාව ලබන විමුක්තිය හුදෙක් ධනේශ්වර ප්‍රතිසංස්කරණ වලින් සමන්විත වනු මිස සැබෑ පංති විමුක්තිය උදා කරන ඒවා නොවන නිසාය…..

මෑතකදී ලොව හොල්ලන කාන්තා චරිත කීපයක් බිහි වී තිබෙනු ලෝක උදාහරණය තුල දැකිය හැකිය….ඒ නමූත් ඒ සියල්ලන්ම  පවතින ධනපති ක්‍රමය තුළම බිහිවී පවතින ක්‍රමයම රකින චරිත මිස  පංති සමානාත්මතාවය , කාන්තා අයිතිවාසිකම් හා විමුක්තිය උදෙසා සටන් වදින නායිකාවන් නොවන බව පැහැදිලි වේ……

නැවත ලාංකීය සමාජය  සලකා බැලීමේදී  කාන්තාවන්ගේ සමාජීය,වෘත්තීමය,ආකල්පමය,කුසලතාමය,බුද්ධිමය සංවර්ධනය මොට කරනු ලබන බොහෝ  හේතු රටතුළ පවති….ඒ සියලුම හේතු බලගන්වා, අදිසි ලෙස පාලනය කරමින් කාන්තා සමාජ මනෝභාවය හසුරවන ප්‍රබලතම සාධකය බවට පත්වීමට තරම් වර්තමානයේ පක්ෂ දේශපාලනය සමත්වී තිබෙන බව අප අවබෝධ කර ගත යුතුව ඇත…..

මෑත කාලීන දේශපාලන ගමන් මගේ ප්‍රමුඛතම කාර්යය ඉටුකරනු ලැබුවේ කාන්තාවයි…

ආගම,ජාතිය,රට සහ  ලේ කැක්කුම හිස මතට ගෙන, සමාජය තුළ පවතින ස්ත්‍රි පීඩනය අමතක කර දමන්නට කාන්තාවන්ට  බලකරනු ලැබුයේ ඒ ව්‍යාජ දේශපාලන මතවාදයකි…

අද ඒ වියරුවේ ප්‍රතිඵල අප සැවොම එක්ව විඳිමින් සිටිමු….

හෙට එය තවත් දරුණු වනු ඇත….

ඔබේ දියණිය, සොයුරිය , මෑණිය, බිරිඳ ඔසප් දිනවල අඳින සනීපාරක්ෂක තුවාය සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේය….

එහි යම්  නිමාවේ උසස් බවක් , සුවපහසුවක් හා ආරක්ෂිත බවක් සහිතව භාවිතා කිරීමේ අයිතිය කාන්තාවකට පවති…..

අප ප්‍රශ්න කරන්නේ සෙස් බද්ද ගැන නොවේය…

මෙතරම් සුඛෝපභෝගී භාණ්ඩ තිබියදී කාන්තා සනීපාරක්ෂක තුවායටම ඔය කියන ……බද්ද ගහන එක ගැනය…..

එයට හේතුවක් තිබේ….මේ ඉන්නේ ඔසප්වීම ගැන, ලිංගික අයිතිය ගැන කතා නොකරන කාන්තාවන්ය..ඒවා කතා කිරීම ලැජ්ජා නැති කමක් බව සිතන කාන්තාවන්ය…. එ්වා කතා කරන්නේ  නොහොබිනා ගැහැනු ය….. කාන්තාවන් ගේ කාර්යය රටජාතිය ආගම ගැන තමන්ගේ පක්ෂයේ නායකත්වය ට තීන්දු තීරණ ගැනීමට ජන්දේදී වගකීම පවරා ගෙදර දොරේ වැඩ කරමින්  සුචච කීකරුව සුවිනීතව සිටීමයි…..එවැනි කාන්තාවන් බදු ගහනවාට විරුද්ධව කට අරින්නේ නැත…එනිසා මේ ආණ්ඩුවට බයක් නැත ..බදු ගහන්නට බියවිය යුතු නැත ….. ආණ්ඩුව කරන දේශපාලන පක්ෂයට ජනතාව දුන් ජනවරමේ පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත් ආකාරය එයයි.   කුමක් කළත් අරගල නොකරන එරෙහි නොවන එකඟවන , 2/3 බලයක් සහිතව තමන්ට බලය දුන් ජනතාව ආණ්ඩුව කුමක් කළද විරුද්ධ නොවනු ඇත යන්න  ආණ්ඩුවේ භාවිතාවෙන් පෙන්නුම් කෙරේ….

එලෙසම සිටින තුරු,   අපට තරු පෙනෙනු ඇත….

සනීපාරක්ෂක තුවාය ට පමණක් නොව නොබෝ දිනකින් තව බදුපිට බදු පැනවෙනු ඇත….. කාන්තාවන් රැකියා වලදි වහල් ශ්‍රමිකයන් වනු ඇත…

රැකියා වලින් දොට්ට දමනු ඇත…

භාෂණයේ නිදහස අහිමි වනු ඇත..

ලිවීමට අදහස් දැක්වීමට ඉඩ ඇහිරෙනු ඇත….

ඔබේ දරැවාට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව නැතිවනු ඇත…

ඔබේ ඉඩම් ඔබට අහිමි වනු ඇත….

රටේ ආර්ථිකය ඔබව ගිලදමනු ඇත….

විදෙස් උවදුරු  පැමිණෙනු ඇත…..

නමුත් අපි  නොනැගිටිමු, වටපිට නොබලමූ, අරගල නොකරමු, ඉල්ලීම් නොඉල්ලමු,…..මන්ද  ඔවුන් අපිව එලෙසින් පුහුණු කර ඇත……අපි කීකරුව සුවිනීතව අවිහිංසකවම  සිටිමු ද……..

නෑ..නෑ…නෑ… කිසිසේත්  නැත

අපි නැගිටිමූ

ඉල්ලා සිටිමු

අරගල කරමු

සටන් කරමූ

මුලින්ම.  ……. සනීපාරක්ෂක තුවායට සෙස් බද්ද එපා……….

එයින් අරඹමු….

දිගටම සටන් වදිමු….

එකිනෙක දිනා ගනිමු…..

අපේ අයිතීන් එකිනෙක දිනමු, දිනන තෙක් අපේ පංතිය ,එකා මෙන් නැගී සිටිමු..

ආරාධනා කරමු එන්න එක්වන්න අප සමග…..!

-සරෝජා සාවිත්‍රී පෝල්රාජ්  (සභාපති අයිතීන් උදෙසා කාන්තාවෝ)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)