Thursday, November 21, 2024

කසීගේ ලෝකය (1): හැරියට් තුබ්මාන්, පාපන්දු සහ ත්‍රෛයි-ජාතිවත්වය

Must read

ඡායාරූපය: හැරියට තුබ්මාන් (පොතක කරවරයකිනි)

සුනන්ද දේශප්‍රිය විසිනි.

පෙරේදා රෑ  අප දෙදෙනා ප්‍රෑන්ක් 10ක් ගෙවා ප්‍රංශයේ පැරි සන් ෂෙර්මා  paris saint germain සහ බෙල්ජියමේ බ්‍ර්ෂ Bruges කණ්ඩායම අතර පැවැති පාපන්දු තරඟය නැරඹුවෙමු.  ඒ ලොව දක්ෂකම පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙකු වන බ්‍රසීලියේ නෙර්මා, ආරජින්ටීනායේ මෙර්සි සහ ප්‍රංශයේ එම්බපේ ප්‍රථම වතාවට එක් කණිඩායමකට ක්‍රීඩා කරනු දැකීමටය. ඒ පරසිදු පැරි සන් ෂෙර්මා කණ්ඩායමයි.

එම්බපේ, මෙරිසි සහ නේමාර්

මාස ගණනාවකට පෙර ලියා තිබූ මෙම ලිපිය මට මතක් වූයේ එ තරඟය අවස්ථාවේය.

දිනක මම වෙබ් අඩවියට පින්තූරයක් සොයමින් ඒවා බාගත කරමින් සිටියෙමි. එවිට මගේ ඇදට වී සිය ජංගම දුරකථන තිරය මත පීපා පාපන්දු තරඟ ක්‍රීඩා කරමින් සිටි මගේ කුඩා මිතුරා, “සුනන්ද ඔබට එහෙම පින්තූර බා ගත කර ගන්න අයිතියක් නෑ නේද” කියා ඇසුවේය.

එවිට මම “ඔව් කොපි රයිට් නැති පින්තූර  ගන්න පුලුවන් වෙබ් අඩවි තියෙනවා” යැයි කියා එවැන්නක් පෙන්වන්නට යන විට “නෑ නෑ මේ බලන්න” කියා ගූගල් හි උඩ තීරුවේ තැනක් ක්ලික්කර එවැනි පින්තූර ඇති බව පෙන්නුවේය. මා එය දැන ගත්තේ එදාය. අනෙක් සැබැදිය මට ලකුණු කර දුන්නේ මට අංකල් යැයි කියන සංජය එක්නැළිගොඩය.

ඔහු වසර තුනෙහි දී ස්ක්‍රී ක්‍රීඩාව පටන් ගක්කේය.

මගේ කුඩා මිතුරා උපත ලද්දේ මා මෙහි පැමිණ වසරක් තරම් යද්දීය. දැන් ඔහු 11වන වියට පා තබමින් සිටී. දරුවන්ගෙන් ඉගෙන ගැනීම වැඩිහිටියකුට මහත් සතුටකි.

ලෝකය ඉස්සරහට යන බව දැනෙන්නේ එවිටය.

දවසක් හැම ඉරිදාකම මෙන් තවත් ඉරිදාවක උදේ අප පැයක් පමණ උදේ කෑමට ගත කරත්දී ඔහු අපට පා පන්දු ප්‍රශ්ණ විචාරාත්මක වැඩ  සටහනක් ඉදිරිපත් කළේය. කවානී දැන් ගහන්නේ කොහේද? එම්බපේ සෙල්ලම් කරන ස්ථානය මොකක්ද? නේමාර් කුමන කණ්ඩායමටද ගහන්නේ? යනාදී වශයෙනි. මියුනික් හි බයාන් කණ්ඩායමට ගහන ලෙවන්ඩොස්කි මොන රටේද? යුරෝපා ලීගයට ගහන ක්‍රිඩකයින්ගේ නම් ඔහුට කඩ පාඩම්ය.

මම පාසැල් අවධියේ බටහිර ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ නම් ගම් අකුරක් නෑර දැන සිටි පරිදිය.

එක් සති දිනක ඔහු පාසැල අවසන්ව පැමිණ මෙසේ කීවේය. “අපට සඟරාවකට ලියන්න මාතෘකා තෝර ගන්න කිව්වා. මම හැරියට් තුබ්මැන් තෝර ගත්ත”

ඔවුන්ගේ සඟරාවේ මුල්පිට

ඇයගේ නම ඔහුගේ ගුරුවරිය වන බ්‍රිජෙට් දැන සිටි නැත. ගුරුවරිය වහාම ගූගල් කර නම සොයා ගෙන ඊට අනුමැතිය දුන්නාය.

එහි අවසාන පිටුවේ මැන්ඩෙලාගේ මේ කියමන එයි: “ නිදහස යනු යදමින් තොරව දිවි ගෙවීම පමණක් නොවේ; අනෙකාගේ නිදහසට ගරුකරමින් එය ශක්තිමත් කරමින් දිවි ගෙවීමය.”

හැරියට් තුබ්මාන් යනු ඇමෙරිකාවේ කලු ජාතික වහලියකව සිට බේරි පැන අවුත් ඉන්පසු එම රහසිගත මඟ දිගේම වහලුන් සහ වහලියන් සියයක් පමණ වහල් හිමිකම නීත්‍යනුකූල වූ දකුණේ සිට ඇමෙරිකානු උතුරට ගෙන ආ වීරවරියකි.  ඇමෙරිකානු නිදහස් අරගලයෙහි දී ඇය විවිධ සේවාවන් ඉටු කළ අතර පසුව තුවක්කුවක් අතට ගෙන ඍජුවම නිදහස් යුද්ධට ද දායක වූවාය.

මා මෙහි ආ දා සිට මට සෙවනක් ලබා දෙන මගේ මිතුරාගේ මව පවා හැරියට් තුබ්මාන් ගැන දැන සිටියේ නැත. විමතියට පත් අය “ කොහෙන්ද ඇය ගැන දැන ගත්තේ” ඇසුවාය. “පොත් වලින්” කෙටි පිළිතුරකි.

2016 දී තුබ්මාන් රෑපය ඇමෙරිකානු ඩොලර් 20 නෝට්ටුවට ඇතුළත් කිරීමට තීරණය ලද්දේ එහි සිටි කලින් වහල් හිමියකු වූ පසුව ඇමෙරිකාවෙහි 07වන ජනාධිපති වූ ඇන්ඩ්‍ර ජැක්සන් වෙනුවටය. ඔබාමා සමයෙහි ගනු ලැබූ ඒම තීරණය ඩොනල්ට් ට්‍රම්ප් විසින් එය නතර කළ බව අද හවස මට කීවේද ඔහුය. දැන් ජෝ බයිඩන් පාලනය එම තීරණය ක්‍රියාත්මක කිරීමට යයි.

සෑම වාරයක ඔවුන්ට ගුරුවරිය ව්‍යපෘතියක් බාර දෙයි. මුල් වාරයේ ඔහු කලේ ක්‍රිකට් ගැනය. පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමක් මගින් ක්‍රිකට් ගැන කතා කරන අතර ඔහු, තමා සතු ක්‍රිකට් උපකරණ පෙන්වූවේය. හැබැයි බොල් ගාඩ් එක නම් අරං ගියේ නැත. ඔහුගේ හොදම මිතුරා පවර් පොයින්ට් ඉදිරිපත් කිරීම කළේ උතුරු කොරියාව ගැනය.  එකල ඔහු තමා හදුන්වා ගත්තේ කැපිටෝ සෝෂලිස්ට් කියාය.

දෙවන වාරයේ මගේ කුඩා මිතුරා තෝරා ගත්තේ අයන්ස්ටයින්ය. ඔහුගේ පන්තියේ අනෙක්  ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගාන්දි, ජොර්ජ් වොෂින්ටන්, නීල් අම්ස්ට්‍රොං, ඈන් ප්‍රෑන්ක්, ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් යනාදී මාතෘකා තොරා ගත්හ.

මේ ලංකාවේ දරුවන් පහේ ශිෂ්‍යත්වයට මැරී මැරී පාඩම් කරන වයසය.

හැරියට් තුබ්මාන්  ගැන ලිවීමට   ඔහු ගූගල් ගවේෂනයන්හි නිරත විය.

පසුගිය සතියේ දිනක පාසළ ද පසු-පාසළ ද අවසන්ව සතුටින් ඉපිල යමින් ආවේය. “සුනන්ද මෙන්න අපේ සඟරාව” යැයි කෑ ගැසුවෙිය. එහි මුල්  පිටුවෙහි දේදුනු වර්ණ සහ පරවියකුද පසුබිමෙහි නිදහස, අනුන් ඉවසීම, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, යන වචන විවිධ අකුරුවලින් ලියා තිබුණි. පරවියා ඇන්දෙත් අපේ පන්තියේ ළමයෙක්” යැයි ඔහු ආඩම්බරයෙන් කීවේය. එම පොදු මාතෘකා ඔවුන්ට දුන් ගුරුවරිය ඒ්වාට ගැලපෙන සේ ලිපි මාතෘකා තෝරා ගැනීමට දරුවන්ට අවසර දුන්නේය.

පිටු 16කින් සමන්විත වූ එම සගරාවෙහි මේ අප රටෙහි නම් පස්වන වසරෙහි සිටින දරුවන් ලියා තිබූ මාතෘකා මෙසේය:

චර්නොබිල් ඛේදවාදකය, සමානාත්මතාවය, මැන්ඩෙලා, ජොර්ජ් ප්ලොඩ්, ස්ත්‍රීවාදය, මියන්මාරය, චාලි චැප්ලින් යනාදියයි.

සඟරාවේ මැද පිටුව ලුෂියෝ සහ නීනා ලියූ ජොර්ජ් ප්ලොයිඩ් සහ ස්ත්‍රී වාදය ගැනය

එහි අවසාන පිටුවේ මැන්ඩෙලාගේ මේ කියමන එයි, “ නිදහස යනු යදමින් තොරව දිවි ගෙවීම පමණක් නොවේ; අනෙකාගේ නිදහසට ගරුකරමින් එය ශක්තිමක් කරමින් දිවි ගෙවීමය.”

මා පරිගණකයේ නැති අවස්ථාවල මගේ ටිව්ටර් පිටුවට යන ඔහු ෆීපා පාපන්දු ක්‍රීඩකයින්ගේ ටිවීට් ගිනුම් ඊට එක් කරයි. රොනල්ඩො, මෙර්සි,  එම්බපේ මෙන්ම ෆීපා ටිවීට්ද දැන් මගේ පිටුව පුරවා ඇත.

තමන්ට ජාතිකත්ව තුනක් ඇතැයි ඔහු කියන්නේ ආඩම්බරයෙනි. ඔහු ඉපදී හැදි වැඩෙන ස්විස්ටර්ලන්තයයි. ඔහුගේ මවගේ පවුලේ රට වන ඕස්ට්‍රියාවයි. ඔහුගේ පියාගේ රට වන කොන්ගෝවයි.

ඔහුගේ මිතුරන් මිතුරියන් ද විවිධ ජාතීන්ට අයත්ය. ඔව්හු නිවාඩුවට බ්‍රසීලයට, ප්‍රංශයට, කොළොම්පියාවට, මොරෙක්කෝවට, ඉතාලියට, ස්පාඥයට යන්නේ නෑදයන් සමඟ තුටු වීමටය.

සංගීතය, පිහිනීම, හොකී, ඇඹීම, ගෙදර වැඩ වැනි පාසල් වෙලාවෙන් පසු අමතර බෝහෝ දේ ඔහුගේ දින චරියාවට අයත්ය.

ඔහු සෑම දිනකම රාත්‍රී 8.00ට ඔහු ජරමානු රෑපවාහිනියක එන ළමා පුවත් නරඹයි. ලෝකයේ කොතැනක හෝ සිදුවන වැදගත් පුවතක් ඇතොත් සමහර විට  මටත් කලින් ඔහු එය දනී.

මා මේ සටහන ලියන්නේ අප ජීවත්වන ලෝකය දරුවන් සදහා කොතරම් ලස්සන තැනක් කළ හැකිදැයි ඔහුගේ ජීවිතය ගැන සිතන මට දැනෙන නිසාය.

ඉරිදා සවස් වරුවක අප දෙදනා විල්තෙරේ තන නිල්ලක පාපන්දු ක්‍රීඩා කරමු. අපේ ගොල් කනු දාර ගස් දෙකකි. ගිම්හානයේ නම් අපි පිහිනීමට යමු. ඔහු විල මැද සිට ඉවුරට පිහිනීමට ආසා කරයි. මේ වසරේ සිට ඔහු පා පැදියෙන් කදු තරණය ඉගෙන ගැනීමේ සතියක පුහුණූ කඳවුරකට ගියේය. ටිරෝල් ප්‍රාන්තයේ ඔස්ට්‍රියානුවන්ට  කදු  නැති නම් ජීවිතයක් නැත.

පාපන්දු ක්‍රීඩාවෙිහිදී ඔහු ගෝලිය. මට තියෙන්නේ හැකි තරම් වැරෙන් ෂූට් කිරීමය. සාමාන්‍යයෙන් අපි පැයක් ක්‍රීඩා කරමු. මට මහන්සි දැනී “යමුද” ඇසු විට “ගොල් පහක් ගන්න පුලුවන් නම්. එතකොට යමු” කියා කියයි. මම සිනහ සී ඔට්ටුව බාර ගමි.

මට වයස 70ට ඔන්න මෙන්නය. ඔහුට 11කි. අපි එකිනෙකාට නමින්ම අමතමු.  අකුරු අතර සෙනහස පිරී තිබේ.

ඉදහිට ඔහුට පාලුවක් දැනුන දවසක මටත් නොකියාම ඔහු මගේ ඇඳට පැමිණ ටින් ටින්ගේ වික්‍රම ජරමානු බසින් කියවමින් නින්දට වැටෙයි. එවැනි දවසක් එන තුරු මා බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි.

ජීවිතයක් ලස්සන වෙන්නේ එහෙමය. අනෙකෙුගේ දරුවකු යැයි කියා දරුවකු නැත.!
srilankabrief.org

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)