Saturday, September 21, 2024

කල්ලන් මරනු වෙනුවට කළු ජවය අමරණීය කළ ක්‍රීඩාව

Must read

අහඹුවකින් ලබන මිනිස් ජීවිතය විවිධ මාතෘකා මත බෙදා වෙන් කර ගන්නට මිනිසා මාන බලන කාලයක වර්ණ භේද වාදය නම් හැසිරීම ඈත අතීතයේ සිටම මුළුමහත් ලෝකයටම හිසරදයක්ව පවතී. ගල් යුගය සහ වැඩවසම් යුගය ආදී කාල පසු කරමින් 21 වන සියවස දක්වා ශීඝ්‍රයෙන් දියුණු වූ මානවයා තවමත් එවැනි වූ මතවාද පෝෂණය කරන්නට පෙලඹෙනු දැකීමද සංවේගයට කරුණකි. ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය නැවතත් මුළු ලෝකයටම වර්ණවාදයේ ඛේදනාත්යක් සටහන් කරමින් සිටිද්දී ක්‍රීඩා පිටිය මේ බැරෑරුම් පැනයට ප්‍රශංසනීය පිළිතුරු සෙවූ අවස්ථා ඉතිහාසයේ අප්‍රමාණය.

මේ වර්ණවාදී ගැටලු මුල් වූ දරුණුම සිදුවීමක් වාර්තා වන්නේ 1970 වසරේදීය. ඒ සුදු ජාතින් පමණක් ක්‍රීඩා කළයුතු යැයි කියූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තහනම් කිරීමත් සමගිනි. මේ තහනම ඔවුන් හට 21 වසරකට බල පැවත්විණි. මේ නීතිය කෙතරම්ම දරුණු දැයි කියතොත් තහනම නොතකා අප්‍රිකානු සංචාරයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමටද තහනමකට ලක්වන්නට සිදුවිය. නමුත් අද වනවිට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම වර්ණභේද වාදය පසෙකලා එකමුතුව ක්‍රිකට් ක්‍රීඩා කරයි.

එවැනිම තවත් සිදුවීමක් දකුණු අප්‍රිකාවෙන් අසන්නට ලැබෙන්නේ 1995 වසරේදීය. වර්ණභේද වාදය මතින් හිස එසවූ කැරැල්ලක අවසන් ප්‍රතිඵලය ලෙස බල පෙරළියෙන් 1994 වසරේදී දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළමු කළු ජාතිකයා ජනාධිපති වූයේය. ඒ නෙල්සන් මැන්ඩෙලාය. ඉන් වසරකට පසු රග්බි ලෝක කුසලානය පවත්වන්නට දකුණු අප්‍රිකාව සූදානම් වෙමින් තිබිණි. එවක දකුණු අප්‍රිකානු ජාතික රග්බි කණ්ඩායමටද මෙම ‘කළු-සුදු’ වර්ණභේද වාදී විෂබීජය ආසාදනය වී තිබිණි. දිගින් දිගටම ලද දරුණු පරාජ සහ කළු ජාතිකයින් වෙත දැක්වූ අප්‍රසන්න ප්‍රතිචාරය නිසා ක්‍රීඩාලෝලීයා රග්බි කණ්ඩායමෙන් ඈත් වීම ජනාධිපති මැන්ඩෙලාට හිසරදයක් විය. එවක අප්‍රිකානු රග්බි නායක ෆ්‍රෑන්කොයිස් පයනියර් සහ මැන්ඩෙලා මේ ගැටලුව විසඳන්නට පිඹුරුපත් සැකසීය. ලෝක කුසලානයට මසක් තිබියදී ගමෙන් ගමට පුහුණු සැසි රැගෙන යමින් සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට සමත් වූ දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයින් අවසානයේ තම රටේ ධජය රැගත් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඉතිහාසයේ පළමු රග්බි ලෝක කුසලානය දිනා ගත්තේය. විශේෂම කරුණ නම් එවක අප්‍රිකානු ජනාධිපති වූ මැන්ඩෙලා මෙම තරගය සඳහා රග්බි නායක ෆ්‍රෑන්කොයිස් පයනියර්ගේ ජර්සි අංකය සඳහන් රග්බි ජර්සියකින් සහ අප්‍රිකානු ධජය සටහන් වූ හිස්වැස්මක් පැලඳ තරගය නරඹන්නට පැමිණීමය. තරගය අවසානයේ මුළු මහත් අප්‍රිකානු ප්‍රේක්ෂකයින් ඉදිරියේ මැන්ඩෙලා තම හිස් වැස්ම ගලවා ආචාරය දියත් කරමින් සැවොම ‘එකම ධජයක එක්වෙමු’ යන පණිවිඩය ලබා දුන්නේය.

එය ක්‍රීඩාවේ ගුණය ලොවටම පසක් කළ ඉතිහාසයේ ස්වර්ණමය සංධිස්ථානයක් බව එවක විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සියලු බැමි බිඳින්නට ක්‍රීඩාව කදිම නිදසුනක් යැයි වැටහී තිබේ. එංගලන්තය යනු සෑම ජාතියකටම එක සේ සලකන්නේ යැයි කියන තවත් රාජ්‍යයකි. ක්‍රිකට් ක්‍රීඩාව සොයා ගත් එංගලන්ත ජාතිකයින් ගෙවුණු ලෝක කුසලානය වෙනතුරුම ලෝක ශූරතාවක් දිනා නොතිබිණි. අවසන් මහා තරගයේ සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කරන්නට එංගලන්ත නායකත්වය තෝරා ගන්නේ ‘බාර්බඩෝස් දුනුවායා’ ලෙසින් විරුදාවලී ලත් ජෝෆ්රා ආචර්ය. සුදු ජාතිකයින්ගේ තීරණාත්මක ලෝක කුසලාන අඩියට පැමිණ, කළු ජාතිකයා විශ්වාස කිරීමම එංගලන්තය විශේෂතම සිදුවීමක් ලෙස සැලකිණි. අවසානයේ ආචර්, දශක ගණනක එංගලන්තයේ ලෝක කුසලානය පිපාසය සංසිඳුවීය. ඔහුටද විවිධ වර්ණභේදවාදී වචන දමාගැසීම් වලට මුහුණ දෙන්නට සිදුවිය. නමුත් එක්සිත්ව නැගුණු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ඔහුව තනි නොකළේය. ෆ්ලොයිඩ්ගේ මරණය ඇමරිකාව ගිනියම් කළ නමුත් විශේෂතම කරුණ නම් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඇමරිකානු ධජය ඉහළින්ම එසවෙන බොහෝ තැන්හි ඒ ජයග්‍රහණ රැගෙන ආවේ කළු ජවයෙන් වීමය. ලෝක බොක්සිං ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු කැෂියස් ක්ලේ නොහොත් මොහොමඩ් අලී, 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ ලෝක වාර්තාවක් සමග දුර පැනීමේ රන් පදක්කම දිනාගත් සිමොන් බිලේස්, මීටර 200 ඉසව්ව තත්පර 20කට අඩු කාලයකින් නිම කළ ලොව පළමුවැනියා වන ටොමී ස්මිත්, ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ලොව පළමු කළු ජාතික කාන්තාව බවට පත්වෙමින් 1948 ලන්ඩන් උළෙලේදී වාර්තාවක් තැබූ උස පැනීමේ ක්‍රීඩිකා ඇලීස් කෝච්මන්, ඔලිම්පික් ජිම්නාස්ටික් ඉසව්වක රන් පදක්කමක් දිනාගත් පළමු කළු ක්‍රීඩිකාව වූද, එම කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කමට දායකත්වය ලබාදුන්නාවූද ගැබී ඩග්ලස්, අදටත් නොබිඳී පවතින කාන්තා මීටර 100 සහ 200 වාර්තා පිහිටුවමින් ලෝක ඉතිහාසයේ වේගවත්ම කාන්තාව වන ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර් ද, ලෝ සුපතල පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් ද, ඔලිම්පික් පිහිනුම් ඒකල ඉසව්වක රන් පදක්කමක් දිනූ පළමු කළු ජාතික ක්‍රීඩිකාව බවට පත්වෙමින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් 2ක් දිනාගත් සිමොනි මැනුවෙල් ද, මිඩ්ල්වේට් බර පංතියේ පිට පිටම දෙවරක් ලෝක ශූරතාව දිනාගත් සහ ඔලිම්පික් රන් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකා කැලැරීසා ශීල්ඩ්ස් ද ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනාගත් ලෝක ඉතිහාසයේ දක්ෂතම ටෙනිස් ක්‍රීඩිකාව වන සෙරීනා විලියම්ස්ද එයට සැබෑ උදාහරණ වේ.

ඒ ජයග්‍රහණයේ අභිමානය රැගෙන ආවේ ඇමරිකාවේ නාමයෙන් මිස කළු ඇමරිකානුවෙන්ගේ නාමයෙන් නොවේ. ඒ ක්‍රීඩා කෞෂල්‍යය දැක අත්පුඩි තැලුවේ කළු ජාතිකයන් පමණක් නොවේ. ජාති, ආගම්, වර්ණ භේදයකින් තොරව අපි සැවොම විඳින ක්‍රීඩාවේ විශේෂත්වය එයයි. එය වර්ණභේදවාදයට අපූර්ව වූ පිළිතුරකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)