Saturday, September 21, 2024

අබේගේ අවමංගල්‍යය මෙච්චර වැදගත් ඇයි ? ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ජාවක් …

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡාවක් ජපානයේ ටෝකියෝ හිදී සිදුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් එබව  ප්‍රකාශ කර ඇත.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසින් ලුන්ග් අතර ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

‍ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රියේ ටෝකියෝ නුවරට ළඟාවිය.

එහිදී ජනාධිපතිවරයා අද (27) දිනයේ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිතය.

ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජපාන සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හෙට දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

abe shinzo

රනිල් වික්‍රමසිංහ 2015 ඔක්තෝම්බර් 6 වන දින ටෝකියෝ හි පිහිටි අබේගේ නිල නිවසේදී

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ලෝකයම අවදානය දිනාගෙන ඇති ශින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සදහා ලොව පුරා වෙසෙන රාජ්‍ය නායකයින් ජපානය වෙත පැමිණ ඇති බවය.

මෙම උත්සවය සදහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහභාගී නොවුණ ද එරට උප ජනාධිපති කමලා හැරිස් සහභාගී වන බව සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ ඔහුගේ පූර්වගාමීන් තිදෙනෙකු ද , සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් මෙන්ම දෙවන එළිසබෙත් රුජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මෙම උත්සවය සදහා සහභාගී වීමට ටෝකියෝ නුවර වෙත ලගා වී ඇති බවය.

 පසුගිය ජූලි මාසයේ මැතිවරණ රැස්වීමකදී සිදුවූ වෙඩි තැබීමකින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඝාතනයට ලක්වුණි.


ලෝකයම අවදානය දිනාගෙන ඇති ශින්සෝ අබේගේ අවමංගල්‍යය

shinzo abe ss

ශින්සෝ අබේ ජපානයේ විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කළ අතර එමඟින් ඔහුට ආධාරකරුවන් මෙන්ම විරුද්ධවාදීන් යන දෙපාර්ශවයම ඇතිවිය.

අවම වශයෙන් ඩොලර් මිලියන 11.4 ක් ඇස්තමේන්තු කර ඇති මෙම අවමංගල්‍ය උත්සවය ගැන ජපන් ජාතිකයන් වැඩි කැමැත්තක් දක්වන බවක් නොපෙනේ.

පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට දක්වන විරෝධතා වැඩි වෙමින් පවතී.

මත විමසුම්වලින් පෙනී යන්නේ රටේ ජනගහනයෙන් අඩකට වඩා දැන් එය පවත්වනවාට විරුද්ධ බවයි.

මෙම සතිය මුලදී, ටෝකියෝ හි අගමැති කාර්යාලය අසල පුද්ගලයෙකු ගිනි තබා ගත්තේය.

සඳුදා 10,000 ක් පමණ විරෝධතාකරුවන් අගනුවර වීදි හරහා ගමන් කළේ අවමංගල්‍ය කටයුතු නතර කරන ලෙසට බලකරමිනි.

ashinz ab


එහෙත්, අනෙක් අතට, මෙම උත්සවය ලොව පුරා සිටින ජපානයේ මිත්‍ර පාක්ෂිකයින් ආකර්ෂණය කර ගෙන තිබේ.

ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා ලෝක නායකයන් එක්රැස් වෙද්දීත්, ඔහුගේම රටේ බොහෝ දෙනෙක් එයට විරුද්ධ වන්නේ ඇයි?


පළමුව, මෙය සාමාන්‍ය උත්සවයක් නොවේ. ජපානයේ, රාජ්‍ය අවමංගල්‍ය උත්සව අධිරාජ්‍යයාගේ පවුලේ සාමාජිකයන් සඳහා පමණක් වෙන් කර ඇත. දෙවන ලෝක යුද්ධයේ සිට දේශපාලනඥයෙකුට මෙම ගෞරවය ලබා දී ඇත්තේ එක් වරක් පමණි. ඒ 1967 දී ය. එබැවින් අබේට රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ලබා දීම මහත් ගෞරවයකි.


එය එක් අතකින් වැදගත් වන්නේ ඔහු මිය ගිය ආකාරය නිසාය. ජූලි මාසයේ මැතිවරණ රැස්වීමකදී ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී. ජපානය ඔහු ගේ වියෝවෙන් ශෝක විය. මත විමසුම්වලට අනුව ඔහු කිසි විටෙක විශාල ජනප්‍රියත්වයක් ලබා නොතිබුණ ද, ඔහු රටට ස්ථාවරත්වය සහ ආරක්ෂාව ගෙන ආ බව ප්‍රතික්ෂේප කරන්නේ ස්වල්ප දෙනෙකි.

එබැවින් ඔහු වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීමට තීරණය කිරීම ද ඔහුගේ තත්ත්වය පිළිබිඹු කිරීමකි. කිසිවකු ඔහු තරම් අගමැති කාර්යාලයේ වැඩි කාලයක් සේවය නොකළ අතර, යුද්ධයෙන් පසුව ආ කිසිදු දේශපාලකයෙකු ඔහු තරම් ජපානයේ තත්ත්වය ඉහළට ගෙනැවිත් නොමැත.

abe funral

අබේගේ අනපේක්ෂිත කම්පන සහගත මරණයෙන් දහස් ගණන් ශෝකයට පත් විය.

දේශපාලන විද්‍යාඥයෙකු සහ අබේගේ හිටපු උපදේශකයෙකු වන මහාචාර්ය කසුටෝ සුසුකි පවසන්නේ “ඔහු ඉදිරි දැක්මක් ඇති කෙනෙක්” ලෙසය.

“වෙනස්වන බල තුලනය ඔහු තේරුම් ගත්තා. නැගී එන චීනය, කලාපයේ බල තුලනය වෙනස් කර බල තුලනය විකෘති කරන බව ඔහුට තේරුණා. එබැවින් ඔහුට නායකත්වය ගන්න අවශ්‍ය වුණා.”

ආසියා පැසිෆික් කලාපය තුළ ඇමරිකානු මිත්‍ර රටවල් සියල්ල එක් යෝධ නිදහස් වෙළඳ කලාපයකට ගෙන ඒම සඳහා වූ ජනාධිපති බරක් ඔබාමාගේ විශාල සැලැස්ම වන ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය (TPP) සිහිපත් කරමින් මහාචාර්ය සුසුකි පැවසීය.

2016 දී, ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වයෙන් ඉවත් වූ විට, එය කඩා වැටෙනු ඇතැයි සියල්ලෝ ම අපේක්ෂා කළහ. නමුත් එය එසේ සිදු වූයේ නැත.

එම අවස්ථාවේ අබේ නායකත්වය භාර ගෙන, ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම හෙවත් CPTPP නිර්මාණය කළේය.

එය අමුතු නමක් වූ නමුත් එය ජපානය ආසියාවේ පෙරමුණට ගෙන එනු ඇති බවට ඉඟි පළ කළේය.



එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සන්ධානයක් වන Quad නිර්මාණය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ඊටත් වඩා වැදගත් වන්නේ අබේ ජපන් හමුදාවේ කළ ප්‍රතිව්‍යුහගත කිරීම් ය.


2014 දී එවක අගමැති පාර්ලිමේන්තුව හරහා ජපානයේ සාමවාදී පශ්චාත් යුද ව්‍යවස්ථාව “නැවත අර්ථකථනය කිරීමට” බල කළේය.

එය ජපානයට “සාමූහික ආත්මාරක්ෂාව” ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දුන්නේය. එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ජපානයට තම දේශසීමාවෙන් ඔබ්බෙහි යුද්ධමය කටයුතු සඳහා එක්සත් ජනපදය සමඟ එක්වීමට හැකි වේ.

මෙය අතිශයින් මතභේදයට තුඩු දුන් අතර, ඒවා අදටත් පවතී. රාජ්‍ය අවමංගල්‍යයට එරෙහිව ටෝකියෝවේ පෙළපාලි ගිය දහස් ගණනක් අබේ ජපානය යුද්ධය කරා ගෙන ගිය බවට චෝදනා කරති.

“අබේ සාමූහික ආත්මාරක්ෂක පනත සම්මත කළා,” විරෝධතාකරුවකු වූ මචිකෝ ටකුමි පැවසීය. “ඒ කියන්නේ ජපානය ඇමරිකානුවන් සමඟ සටන් කරාවි. ඔහු ජපානයට නැවත යුද්ධයකට තල්ලු කළා. ඒ නිසා මම රාජ්‍ය අවමංගල්‍යයකට විරුද්ධයි.”

ජපානය යුද්ධයෙන් කම්පනයට පත් වූ රටකි. නමුත් අබේ වෙත චෝදනා එල්ල වන්නේ අතීත පරමාණු බෝම්බ පිළිබඳ මතකයන් නිසා ම නොවේ.

abe yht

රාජ්‍ය අවමංගල්‍යයට විරුද්ධ වූවන් පවසන්නේ අබේ යුදකාමියෙකු බවයි

ජපානයේ පශ්චාත් යුද ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන්නේ රට “යුද්ධ කිරීමට ඇති අයිතිය අත්හරින” බවයි. ඔහුට එය වෙනස් කිරීමට අවශ්‍ය නම් අබේ ජනමත විචාරණයක් කැඳවිය යුතුව තිබුණි. නමුත් ඔහු පරදින බව දැන සිටියේය.

 ඒ වෙනුවට, ඔහු ගෙන ආ නීතියෙන් ව්‍යවස්ථාව “නැවත අර්ථකථනය” කළේය.

ටෝකියෝ හි සොෆියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොයිචි නකානෝ පවසන්නේ, “අබේ මිනිසුන්ට වග නොකියන කෙනෙකු ලෙසයි සලකන්නේ. ඔහු මොනවා කළත් ඔහු එය කළේ ව්‍යවස්ථාපිත මූලධර්මවලට පටහැනිවයි. ඔහු එය කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට විරුද්ධවයි.”


නමුත් ඔහුගේ ආධාරකරුවන් දකින්නේ වෙනත් කෝණයකිනි. ඔවුන්ට අනුව ඔහු වෙනත් ලෝක නායකයන්ට පෙර, චීනයෙන් නැගී එන තර්ජනය දුටු අතර, ජපානය එක්සත් ජනපදය සමඟ පූර්ණ වශයෙන් සන්ධාන ගත විය යුතු බවට තීරණය කළ අයෙකි.


“අබේට දුර දැක්මක් තිබුණා,” ඔහුගේ හිටපු උපදේශක සුසුකි පවසයි. “චීනය නැඟිටින බවත්, එක්සත් ජනපදය කලාපය තුළ පසු බසින බවත් ඔහු දුටුවා. එක්සත් ජනපදය මෙම කලාපයට සම්බන්ධ කර ගැනීමට නම්, අපව ආරක්ෂා කර ගැනීමට අපට බලය තිබිය යුතු බව ඔහු තේරුම් ගත්තා.”

ඇමරිකාව සහ චීනය ගැන සමානව කනස්සල්ලට පත්ව සිටින ආසියාවේ තවත් බොහෝ රටවල් විසින් නැවත සන්නද්ධවන හා දක්ෂ ජපානයක් නිසැකවම පිළිගනු ලැබීය.

අබේ ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ සහාය ලබා ගත්තේය. ඔහු ඝාතනය වූ අවස්ථාවේ ඉන්දීය අගමැති මෝදි ඉන්දියාවේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය.


නමුත් අබේ ගැන ශෝකයට පත් නොවන එක් ස්ථානයක් තිබේ. ඒ, ඔහු නැවත නැවතත් යුදවාදියෙකු සහ සංශෝධනවාදියෙකු ලෙස හෙළා දකින චීනය යි. චීනයේ උප ජනාධිපති වැන්ග් කිෂාන් ලන්ඩනයට ගිය නමුත් චීනයෙන් පිටත කිසිවකු නොහඳුනන හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයකුව ටෝකියෝ හී අවමංගල්‍ය උත්සවයට යැවීමට හේතුව එය විය හැකිය.


(උපුටා ගැනීම් – BBC සිංහල සේවය )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)