Saturday, September 21, 2024

අපි හරි දුප්පත් ක්ලැරා…!

Must read

අහම්බෙන් ඇති වන හෘද සංවාද කියන්න බැරි තරම් පුළුල් වෙනවා. එහෙ ම වෙලාවක ගමගේ සහෝදරයා කීවේ, “ක්ලැරන්ස් විජේවර්ධන ගැන සටහනක් ‘ද ලීඩර්’ වෙබ් එකේ තියෙනවා…” කියලා ඉඩ ලැබුණු පළමුවැනි තත්පරයේ ම සටහන කියැවූවා. ලියලා තිබුණේ, ‘ඇටමැස්සා’. ඇටමැස්සාගේ සටහන් කාලීන මාතෘකා ගැන සරලව, ගැඹුරින් තියෙන ඒවා. සටහනට නිමිත්ත වෙලා තිබුණේ, ‘ක්ලැරන්ස් විජේවර්ධනගේ අනුස්මරණය’ දෙසැම්බර් 13 වැනිදා.  එකපාරට ම හිතට දැනුණෙ, “අපි හරි දුප්පත්…” කියන දේ. මිනිසුන් ජීවත්ව සිටින කාලය තුළ ම ඔවුන් මානව වර්ගයා වෙනුවෙන් කළ මෙහෙය අගය කරන්න බැරි වෙනවා කියන්නේ, කොයි තරම් දුප්පත්කමක් ද? කෙනෙක් මිය ගිහින් දශක ගණනාවකට පස්සේ නම්, කළ මෙහෙය දැනෙන්නේ, අපි කොයි තරම් සංස්කෘතික වශයෙන් දුප්පත් ද?
ක්ලැරන්ස් ගැන ආත්මගත භාවමය බැඳීම් මුදාහරින්න ඉස්සර මේ සංස්කෘතික දුප්පත්කම ගැන තව ටිකක් කියන්න ඕනෑ. සියවස් ගණනක් ඈත දකින, සියවස් ගණනක් ඈතට මිනිසුන් ජීවත් කරවන මානවවාදීන්, පරිසරවේදීන්, ජෛව හිතවාදීන් කොයි තරම් පිරිසක් අපට තේරුම් ගන්න බැරිව මහ පොළොවට පස් වෙනවා ද? තම තමන් අත පත් ක්‍ෂේත්‍රය කලාව, සාහිත්‍යය ද, මිනිසාගේ වෙනත් භාවමය ලෝකය ද, මිනිසාගේ ද්‍රව්‍යමය ලෝකය ද කියලා කිසි ම බෙදීමක් නැතිව සියවස් ගණනාවක් ඈතට ජීවත් කරවන්න ජීවය දෙන මිනිසුන් ඔහේ පොළොවට පස් වෙලා යනවා. අපට ඔවුන් අල්ලා ගන්න බෑ. කියවා ගන්න බෑ. හෘදය සංවාද ඇති කර ගන්න බෑ.
සටහන පුළුල් ඉසව්වලට යා නොදී ආයෙත් කලාව සහ සාහිත්‍යය තුළට ම ගන්න ඕනෑ, කලාව, සාහිත්‍යය කියන්නේ, ප්‍රකෘතිය සෞන්දර්යාත්මකව මිනිස් මනසේ පිළිබිඹු කරවීම තමයි. ඒ අතර ම දයාර්ද්‍රභාවය, ළතෙත් බව, අනෙකා ගැන සංවේදීව බැලීම, පපු කුහර විවෘත කර අනෙකා වෙනුවෙන් කැප වීම වාගේ ම මහ අරුමැසි සිතුවිලි ලෝකයට ගෙන යාමේ සුන්දරතාවන් ද අයත් වෙනවා. මේ හැම ක්‍ෂේත්‍රයක ම දේවල් මේ බිමේ කලාකරුවන්, සාහිත්‍යකරුවන් ඕනෑ තරම් නිර්මාණය කර තියෙනවා. වැඬේ වෙලා තියෙන්නේ, ඒ දේවල් අල්ලා ගන්න බැරි තරමට අපි හරි ම දුප්පත් වීමයි. එක උදාහරණයක් කියන්නම්. ජීවතුන් අතර ඉන්න සෝමපාල ලීලානන්ද සිනමා රූප රාමුවලින් වාගේ ම ඊට අයත් ගීතවලින් මවා, නිමවා තිබෙන අරුමැසි ලෝකය අල්ලා ගන්න හැකි වී තිබෙන්නේ අපි අතුරින් කීයෙන් කී දෙනකුට ද?
කලාව මතවාදී අරගලයේ අවියක් කර ගන්නා අරමුණින් ම කර තිබෙන නිර්මාණ ගැන හරි අපට අවශ්‍ය කියැවීම තියෙනවා ද? ඉතින්, මේ අරුමැසි ලෝකයක මොහොතක් රැඳවීම නැත් නම්, ජීවිතයේ ඇති සියුම් ම තැන් අල්ලා ගැනීම කරන්නේ කොහොම ද? එකට හුස්ම ගත්තාට, අනෙකාව දැනෙන්නේ නෑ; පෙනෙන්නේ නෑ. මිනිසුන් ඒකාත්මික වීම වෙනුවට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක තරම් එකිනෙකින් ඈත් වූ භෞතික ශරීර ටිකක් එහාට මෙහාට සැරිසරනවා. නව ලිබරල් ධනවාදී මිනිහා තමයි මේ.
මේ බර වචන කීපය දැම්මා ම අත්හරින්න බැරි තවත් දේවල් ටිකක් කෙටියෙන් හරි කියන්න ඕනෑ. හරි ම පටු බෙදීමක් සිදු වී තිබෙනවා. කොතැනින් මේ බෙදීම පටන් ගත්තා ද කියලා හරියට ම කියන්න අමාරුයි.  වමේ දේශපාලනය ‘සම්භාව්‍ය, විදග්ධ’ සාහිත්‍ය කලාවක් ! දකුණේ දේශපාලනය නම්, ‘ජනප්‍රිය පීචං’ සාහිත්‍ය කලාවක් ! මේ බෙදීම කොහෙන් ද? මොකක් ද? සම්භාව්‍ය, විදග්ධ ධාරාවක් වාගේ ම ජනප්‍රිය ධාරාවකුත් තියෙනවා කියලා වමේ දෘෂ්ටිවාදීන්ට තේරුම් ගන්න බැරි වුණේ ඇයි ? තේරුම් නොගත්තේ ඇයි ? වික්ටර් හාරා, බොබ් මාලේ උපදින්නේ, පවතින්නේ, මිය යන්නේ කොතැන ද?
හැබැයි, තව දේකුත් තියෙනවා. ඉන්ද්‍රජාලික යථාර්ථවාදයක්. මක්සිම් ගෝර්කි ‘ඉසගීර් මැහැල්ල’ ලිවීමයි, ඒ ඉන්ද්‍රජාලික රීතියෙන් ම ‘රාවණා’ උත්කර්ෂයට නැඟීමයි නම් දෙකක්. මෙන්න මේ දෙක අතර වෙනස හරියට තේරුම්ගෙන අරුමැසි රීතිය, ඉන්ද්‍රජාලික රීතිය භාවිත කිරීමට, තේරුම් ගැනීමට අපි කොයි තරම් අසමත් ද?
අපි හරි දුප්පත් ක්ලැරා…!
‘ද ලීඩර්’ වෙබ් එකට ‘ඇටමැස්සා’ ලියලා තිබුණා, ක්ලැරන්ස් 1977දි ජේ. ආර්.ගේ යූ.එන්පී.ය බලයට ගේන්න වැඩ කළා කියලා. ඒත්, පස්සේ ඒ ගැන කනගාටු වුණා ය කියලා. මෙන්න මේ හෘදය සාක්‍ෂියට එක් වූ ක්ලැරන්ස් විජේවර්ධන බොබ් මාලේ කෙනකු කරන්න, වික්ටර් හාරා කෙනකු කරන්න හැකි වුණා නම්…!
ඒ නිසා දැන් ඉතින් කරන්න තියෙන්නේ, අවුරුදු විසිපහකට විතර ඉස්සර මිය ගිය ක්ලැරන්ස් එදා කළ දේවල් හදවතේ ඇඳිලා තියෙන තැනකින් කීපයක් ඉස්සරහට අර ගන්න එක.
ක්ලැරන්ස් කියන කොට ම නිරායාසයෙන් මතක් වෙන්නේ ‘සිකුරු ලියා’ චිත්‍රපටයේ සින්දුව. මිල්ටන් පෙරේරා පතාක යෝධයෙක් කළ ගීතයක් ඒක.
“කොමළලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරු ලියා…”
ඒ ගැන පස්සේ කතා කරමු.
ඉන්ද්‍රානි පෙරේරා ගායනා කළ ‘මතකය ඇසුරින් සිහියට ගන්නට නිතර ම වෙහෙස වෙමි…’ කිසි කෙනකු ඇල්ලුවේ නැති පැත්තකින් මවු ගුණ ඇල්ලූ ගීතයක්. පුංචි සිඟිති දැරියකව සිටිය දී, අම්මා අහිමි වූ;  ඒ වියෝව පසුකාලීනව අත්විඳින ආකාරය කියැවෙන්නේ. සිංහල ගීත වංශය වෙන ම පැත්තකින් පෝෂණය කළ මේ වාගේ ගීත කොච්චර තියෙනවා ද? ඉන්ද්‍රනි පෙරේරා ගායන ශිල්පිනිය ගැන අද හරි නිසි අගැයීමක් නෑ. “අපි හරි ම දුප්පත්” කියන්නේ, ඒකයි. ඇත්තට ම අපිට ඉන්නේ, ඉන්ද්‍රානි පෙරේරලා එක්කෙනයි. ක්ලැරන්ස් ඇය වෙනුවෙන් ගීත කීයක් නීර්මාණය කර දී තිබෙනවා ද!
ක්ලැරන්ස් සංගීතවත් කර ගායනා කළ ‘දිලීප පොඩි පුතු’ කරුණාරත්න අබේසේකර ලියූ ගීතය යුග යුග ගණනක් පියවරුන් තම සිඟිති පුතුන් වෙනුවෙන් තිබෙන බැඳීම්වල අප්‍රමාණ බවට දෙස් දෙන ගීතයක්.
“පුතු මිට මොලවන් සඟවාගෙන ආ
මා නොලියූ ගීතේ…”
පුතුට අනාගතවාදී කාර්යභාරයක් ඇති බවයි, පියා කියන්නේ. ක්ලැරන්ස්ගේ ගීත ගඟුල පටන් ගන්නේ එතැනින් කියලත් හිතෙනවා.
දන්නා තරමින් ක්ලැරන්ස් ගායනා කළ ගීත සැලැකිය යුතු ප්‍රමාණයක් ඔහු ම ලියා ගත් ඒවා. මේ ගීතවල තිබෙන සාහිත්‍යමය ගුණය වගවිභාග කරන නිබන්ධන වශයෙන් හරි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගෙන්
පවා ලියැවෙන්නේ නෑ. ඉතින්, අපේ දුප්පත්කම කොයි තරම් ද!
‘මුව හසරැලි සාගරේ මුතුවැලක් වෙලා’ මේ පදවල තියෙන අරුමැසි සිත්තම වචනවලට නැඟිය හැකි ද? ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ’, ‘සඳ එක් දිනක් තරු හා බැඳී’, ‘සුරඟන වෙස්වලා, සලා මුකුළු සලා’, ‘සිහින ලොවක් දුටුවා මතකයි’ වාගේ ගීත නිරායාසයෙන් ගලා එනවා. ඉඩකඩ සීමිත නිසා සටහන කෙටි කළ යුතුයි. ‘සිහින ලොවක් දුටුවා මතකයි’ සහ ‘කොමළ ලියා’ ගැන නොලියා ම බැරි දේවල් තියෙනවා.
“සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදරබර උණුසුම මතකයි
ඉර හඳ තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි…”
ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන ආත්මීය බැඳීමේ තියුණු බව කොයිතරම් අරුමැසි ලෙස ප්‍රතිරූපණය කර තිබෙන්නේ ද?
මීට ඉස්සර තැනක ලියුවේ, මිනිසුන් අතර ඒකාත්මික වීම වෙනුවට ග්‍රහලෝක තරම් ඈතින් තැනින් තැන ස්ථානගත කර තිබෙන බව. ඒ වැනි සමාජයකට මේ බැඳීම් දැනෙන්නේ, හැඟෙන්නේ නෑ.
“ඉර හඳ තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි…”
ස්ත්‍රී, පුරුෂ ප්‍රේමය යනු ඉර, හඳ, තරු කැට සියල්ල එකතු කිරීමට සමත් බලයක්. ඒ මිස ඈත ඈත කක්‍ෂයක කරන දෙයක් නොවේ. ඒත්, අද එහෙම ද? හදවත් තුළ, ආත්මයේ ගැඹුරු ම තැන්වල ඉර, හඳ, තරු කැට එක් කර තිබේ ද?
“අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳී
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසෙන් කීවා මතකයි…
මේ අරුමැසිකම් මිනිස් ජීවිතවලට අදාළ නොවන්නේ ද? මේ බැඳීම් ගැන සිහින මැවීම හුදු පිස්සුවක් නොවේ ය. මිනිහාගේ සියුම් ම අරුමැසිභාව කලාපය මේ ය. එහෙත්, වර්තමාන සමාජයේ ස්ත්‍රී ශරීර වාගේ ම පුරුෂ ශරීර ද එකිනෙකා තව එක් පාරිභෝගික භාණ්ඩ වර්ගයක් වී හමාරයි. මොහොතකට හමු වී  ස්ත්‍රී ශරීර පුරුෂයන් පරිභෝජනය කරනවා පමණ ය. පුරුෂ ශරීර ස්ත්‍රීන් පරිභෝජනය කරනවා පමණ ය. ‘සොඳුරු මිහිරි සුව පහස දැනෙන්නේ’ නැත. ‘සිතට දැනෙන සුව ගතට දැනෙන්නේ’ නැත.
මේ පරිභෝජනයේ නරුමකම එහෙමත් නැත් නම්, ‘සත්තු වාගේ’ වී තිබෙන හැටි ‘සිකුරු ලියා’ ගීතයේ රූප පෙළින් ඉතා අපූරුවට දකින්න පුළුවන්. ඒ රූප රාමුවල ගැහැනියගේ බිඳුණු ආත්මය අපේ ඇස්වලට ගේනවා නොවේ. මුළු ආත්මයට ම කතා කරනවා. රූපය තීව්‍ර කරන්නේ ගීතයේ සංගීතයෙන් හා ගායනයෙන්. ගැහැනියකට වචනවලට පෙරළිය නොහැකි ආත්මය තීව්‍ර කරන්නේ පදවලට එහා ගිය සංගීතයෙන්. පෝරුව මත සිටින කාන්තාවගේ ඇතුළාන්තය කියවා ගැනීමට අප ගෙන යන්නේ ගීතයෙන්.
ඒ විතරක් ද? නෑ. සල්ලි විසි කර අත්පත් කර ගන්නා ස්ත්‍රී ශරීර තමන් ළඟ නොරැඳෙන බව මිනිසුන් තේරුම් ගන්නේ කවදා ද? ‘සිකුරු ලියා’ චිත්‍රපටයේ රූප රාමුවල සිටින නොඋස් මිනිසාගේ කතාව විතරක් නොවේ මේ. ධනය හා බලය කොහේ කොතැනක, කොතරම් අන්තයකට පැතිරුව ද, මානව අධ්‍යාත්මයන් ජය ගත නොහැකි බව කියාපෑමක්. ක්ලැරන්ස් විජේවර්ධන ලකුණ මේ යැයි කීමට මේ සංගීත නිර්මාණය විතරක් වුණත් ප්‍රමාණවත්. ‘සිකුරු ලියා’ ගීතයේ රූප රාමුවල සිටින මිනිසා අන්තිමේ උරුම කර ගන්නා අන්ත පරාජයේ වේදනාව. ඒ මිනිසාගේ වේදනාවත්, ගැහැනියගේ බිඳුණු ආත්මයේ කම්පනයත් දෙකම එකට අපේ හදවත්වල ගැටීමට සැලැස්වීමේ අපූරුව සංගීතයේ තියෙනවා. ස්ත්‍රී, පුරුෂ මිනිස් ශරීර එකිනෙකාගේ පාරිභෝගික භාණඩ නොවේ. ආදරබර උණුසුමක් ! සොඳුරු, මිහිරි සුව පහසක් ! විශ්වය පුරා විසිරී තිබෙන ඉර, හඳ තරු කැට අතර ආලෝක වර්ෂවලින් පවතින දුර එක ම මිටකට ඒකාත්මික කිරීමක්.
ක්ලැරන්ස් මේ කතාව වචනවලින්, අනන්‍ය වූ හඬකින් විතරක් නොවෙයි, ස්වර සප්තකයෙන් අපට කියා දුන්නාට ස්තුතියි !

-ප්‍රියදර්ශන දයාරත්න

lankaweb.lk/

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)