Saturday, September 21, 2024

අනේ අපි හිරිවැටුණට සුදු නෙළුම් පිපෙයි තවමත් සොර බොර වැවේ

Must read

Article Updated: June 14, 2020 Leave a comment

මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
වැවට කලුවර යා වුනා

සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ….

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

රත්න ශ්‍රී විසින් රචනා කරපු පණ්ඩිත් අමරදේව ගායනා කරන මේ ගීතය රචනා වෙලා දැන් දශක දෙකහ මාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනව.ඔබ මේ ගීතය රස විඳලා ඇති.රසවින්දන වැඩසටහන් වල දී මේ ගීතය රස වින්දනය සඳහා තෝරා ගන්නවා . ඒ බොහෝ අවස්ථාවලදී කථකයන් ප්‍රකාශ කරනවා මේ ගීතයේ පසුබිම් කතාව. ගීත පිළිබඳව කතා කරන හැම තැනකදිම වගේ රත්න ශී විජේසිංහ මේ ගීතයට පසුබිම් වෙච්ච ඒ කතන්දරය කියනවා. අසන්නෝ ඒ කතාවට සංවේදී වෙනවා. දුක්බර ඇස් බිම තියාගෙන මේ කතාවට ඉතාමත් සාවධානව සවන් දෙනවා.

මොකක්ද මේ කතාව.

මහියංගනය පැත්තෙ දුප්පත් දරුවෙක්ට වෙච්ච ඉරණමක් මේ ගීතය ඇතුලෙ තියෙන්නෙ. අන්ත දුගී අසරණ පවුලක මේ දැරිය තමන්ගේ පාසල් ගමනට අවශ්‍ය කරන ආම්පන්න ටික ලබාගන්න නෙලුම් මල් කඩල විකුනනවා . මේ අවාසනාවන්ත දවසේ වර්ෂාව හේතුවෙන් වැවේ වතුර වැඩිවෙලා දරුවා සැඩපහරට හසුවී මිය යනවා .ඇගේ පවුලේ දුප්පත්කමේ ප්‍රමාණය කියන්න මේ ගීතය කතා කරන හැම අවස්ථාවකදිම දැරියගේ මළ මිනිය තිබුණු තාවකාලික යාලත්ත ගැනත්, අන්දපු ඇඳුම පිළිබඳව සහ ඇගේ නිවසේ ප්‍රමාණය කියනවා . සමස්ත කතාව අසන්නා හෝ ප්‍රේක්ෂකයා දුකට පත්වෙලා අඬන්න ඔන්න මෙන්න කියන තැනට පත්කරනවා, නැත්නම් අඩවනවා.

ගීතයේ දෙවැනි කතාවේ හැටියට රත්න ශ්‍රී විජේසිංහ තවත් කතාවක් කියනවා. අමරදේවගෙ ප්‍රසංගයකදී මේ ගීතය පිළිබඳ විස්තරය කියලා ගායනා කළට පස්සේ ඕඩියන්ස් එක ඇඩුවා කියන කතාව. අර දැරියගේ මරණය සිදු වෙච්ච වෙලාවෙ ගමේ මිනිස්සු දහයක් පහළොවක් තමයි ඉඳලා තියෙන්නේ. ඒ සුළු පිරිසටත් මරණය ගැන කම්පනයක් ඇතිවෙලා නැහැ. ඔවුන් දුකට පත්වෙලා නැහැ, අඩල නැහැ. එහෙම වෙන්න ඇත්තෙ ඇයි? අපට හිතන්න වෙන්නේ ඒ ගමට මෙවැනි සිද්ධීන් සාමාන්‍ය දේවල් බවයි. ඔවුන්ගේ හදවත කම්පන සීමාවෙන් ඔබ්බට ගමන් කරල හිරි වැටිලා තියනවා කියන එකයි. ඒ නිසා ඔවුන්ට මෙවැනි මරණ තව දාහක් සිද්ධ වුණත් කම්පනයට පත් වෙන්න අඬන්න ඇස් දෙකට කඳුළු නැහැ.

ඉතින් අමරදේවගෙ ප්‍රසංගය නරඹපු ඒ ඕඩියන්ස් එක ඇයි ඇඬුවේ? එහෙම වුනේ මුලින්ම ගීතයට අදාල කතාව කියලා ‍ප්‍රේක්ෂකයාව ප්‍රේම් කරපු නිසයි. ඔය කියන ප්‍රේක්ෂකාගාරය කෙනෙක්ට මේ දැරියව වැරදීමකින් හෝ සජීවීව හමුවුනොත් ඇය කෙරෙහි අනුකම්පාවක් උපදී ද. අපි දන්නා අයුරින් එහෙම වෙන්නේ බොහොම කලාතුරකින්. කොටු කරලා දෙන තැනක කම්පනය වෙන්න දැන් අපේ සමාජය මාර දක්ෂයි.

මේ ගීතය දෙවැනි කතාවෙන් කියැවෙන ආකාරයට අපේ සමාජය මේ කියන තරම්ම කම්පනය ඇති වෙන සමාජයක් ද? ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට අසාමාන්‍ය මරණ තුනක් සිදු වෙලා තියෙනවා.

  • පළමු මරණය පැහැරගත් ත්‍රීවිල් රථය මුදාගන්නට, කරුණු ඉදිරිපත් කරන්න, මුල්‍ය ආයතනයකට ගිය ත්‍රීවිල් රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ මරණය.
  • දෙවන මරණය ‘ශ්‍රීලන්කන්’ සමාගමේ විධායක නිලයක කටයුතු කළ, පසුකාලයක ඒම ගුවන් සමාගමේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කිරීම නිසා රටේ අවධානයට ලක්වුණු රජීව ජයවීරගේ මරණය
  • තුන්වන මරණය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියා රිය අනතුරකින් මරණයට පත් උනා කියන සිද්ධිය.

මේ මරණ තුනටම අදාළව ජනතාවට ඒත්තු ගන්වන්න අවශ්‍ය කරන සාමාන්‍ය මරණ යයි කියන්න පුළුවන් කරුණු මේ මරණ තුන ඇතුලෙම තියෙනවා. ඒවගේම මෙම මරණ තුන ඇතුලෙම තියෙනවා රජ්‍ය ක්‍රියාවලියේ හොර මැර දූෂිත වංචා වලට එරෙහිව ක්‍රියා කරපු පුද්ගලයෝ කියන කරුණ.මේ මරණ වලට අදාළව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීම නීතියේ වැඩක්. හැබැයි මේ පවතින නීතිය මෙතෙක් ක්‍රියා කර තිබෙන ආකාරය අනුව ඒ කෙසේ සිදුවේ දැයි කියලා අපිට හිතන්න බැහැ.

උදාහරණ විදිහට කියනවනම් එසේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙච්ච මරණ කිහිපයක් ඔබට මතක් කරන්න පුළුවන්.

  • ලසන්ත වික්‍රමතුංග ඝාතනය
  • එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
  • අසිත සිසිත දෙදෙනාගේ මරණය
  • තාජුඩීන් ඝාතනය

මේ මරණය සියල්ලම මිනිමැරුම්, ආණ්ඩු කීපයක් මාරු වුණත් ඔවුන්ගේ මරණ වලට වරදකරු වෙන කිසිවෙක් තවම තහවුරු කරලා හෝ ඊට අදාලව හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරල නෑ. මේ කතාවෙ අරමුණ නීතිය ගැන හෝ මෙම මරණ පිළිබඳව වගකිව යුත්තේ කවුද කියන එක පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීම නෙමෙයි. අපේ සමාජය මේවා හමුවේ ඉන්නේ කොතැනද කියන එක පිළිබඳව මඳක් සිතා බැලීමට පෙළඹවීමයි.
සමන්සිරි හේරත්
vivaranews.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)