Sunday, September 22, 2024

යහපාලනය එදා ”පෑඩ්” සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා!මේ ආණ්ඩුව 15% ”මෙන්සස්” බද්දක් ගහලා ..

Must read

( 6.30 pm ) ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය අද(24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය.
 
“බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.
 
මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක් ලෙස ඉතිහාසගත වෙනවා”
 
“ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා.


 දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා. ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි.
 
සෑම පවුලකම කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා. සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි. සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා” යැයි ද රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

මේ අතර සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී පෑඩ් පිළිබද ප්‍රශ්ණය ගැන අදහස් දක්වා තිබුණි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන බැවින් මෙන්ම විශේෂයෙන් එයට අයිති පාසල් වයසේ දැරියන් පිළිබඳව අවධානය යොමු කරමින් ‘සනීපාරක්‍ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය. රජය ‘සනීපාරක්‍ෂක තුවා’ සඳහා 15% ක වැට් බද්ධක් පැනවීමට කටයුතු කිරීම මෙම ඉල්ලාසිටීමට හේතුව බවට පත්විය.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“සනීපාරක්‍ෂක තුවාවලට 15% ක වැට් බද්දක් ගහලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් මේක අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා”

“මෙය මානුෂීය සහ සෞඛ්‍ය දෙයක් හැටියට මම කථා කළ යුතුමයි. මේ රටේ ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවන් ඉන්නවා. ඒ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ මානුෂීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා”

“ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවො. අනිත් එක අපේ දැරිවියො”

“මේ ප්‍රශ්නය නිසා පාසල් යන දැරිවියො සියයට 50 ක් පාසල්වලට යන්නෙ නෑ. ඒ නිසා මෙයට අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා”

“දූවරුන් සියයට 50 ක් හැම මාසයකම පාසල් යන්නේ නෑ. මුදල් ඇමතිතුමා අද මෙතන ඉන්නවා. මම හිතනවා එතුමා අවධානය යොමු කරයි කියලා” යැයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් පැවසුවාය.

මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)