Saturday, September 21, 2024

මොකක්ද මේ කළු සිකුරාදා…

Must read

කළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ ගැන අහලා තියෙනවා ද? මහා සිකුරාදා ගැන අහලා තිබුණත් කළු සිකුරාදා දිනයක් පිළිබඳ ව ඔබට එතරම් මතකයක් නැතිව ඇති.

සෑම වසරක ම නොවැම්බර් මාසයේ හතරවන සතියේ එන සිකුරාදා දිනය කළු සිකුරාදා ලෙස හඳුන්වනවා. ඉතින් ඒ කළු සිකුරාදා දිනය හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ යෙදී තිබෙන්නේ අදට යි.

ලෝකය පුරා ඇති උත්කර්ෂවත් ව පැවැත්වෙන වසර කිහිපයක සිට අපේ රටෙත් කනින් කොනින් ඇසෙන කළු සිකුරාදා එහෙම නැත්නම්, බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ ඇත්තට ම මොකක්ද? ඒ ගැන දැන ගන්න ඕන නම් දිගට ම ලිපිය කියවන්න.

බ්ලැක් ෆ්‍රයිඩේ හෙවත් කළු සිකුරාදා කියන්නේ මොකක් ද?

ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් විසින් නත්තල හා එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළඳ සාප්පු සවාරි පටන් ගන්නා මුල් දවස. එහෙම නැත්නම් ඒ රටවල නත්තල් හා අලුත් අවුරුදු කාලේ සඳහා ජනතාව ෂොපින් යන්න පොළඹවා ගන්නා දවස තමයි බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ.

මේ දවසේ අවුරුද්දේ වෙන කිසිම දවසකවත් ලබා නොදුන් අන්දමේ වෙළඳ වට්ටම් ලබා දෙන්න එහෙම නැත්නම්, අදහාගත නොහැකි ඩිස්කවුන්ට් ලබා දෙන්න බොහෝ වෙළඳ සමාගම් විසින් කටයුතු කරනවා.

මුල් කාලයේ දී කළු සිකුරාදා දිනය වෙනුවෙන් වෙළඳ ආයතන අඩු ප්‍රමාණයක් වට්ටම් ලබා දුන්න ද, අද වන විට ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ සමාගම් තම නිෂ්පාදන වෙනුවෙන් පාරිභෝගිකයන් නොසිතන අන්දමේ වෙළඳ වට්ටම් ලබා දීමට කළු සිකුරාදා දිනයේ දී සැදී පැහැදී සිටිනවා.

මේ හේතු නිසා නත්තලට වගේ ම අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් ඇඟිලි ගනිමින් ඉන්නවා.

කොහොමද මේක පටන් ගත්තේ?

බ්ලැක් ෆ්‍රයිඩේ දිනය මුලින්ම පටන් ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ යි. ඒ 1952 දී යි. සෑම වසරක ම නොවැම්බර් මාසයේ හතරවන බ්‍රහස්පතින්දා ඇමෙරිකානුවන් විසින් හඳුන්වන්නේ තෑන්ක්ස්ගිවින් ඩේ (Thanksgiving) කියලයි. ආදී කාලයේ සිට ඔවුන් ඒ දිනය සමරනු ලබන්නේ වසරේ අස්වනු නෙලා ගැනීමේ ප්‍රීතිය සැමරීම සඳහා යි.

එම බ්‍රහස්පතින්දා දිනය ඇමෙරිකානුවන්ට නිවාඩු දිනයක් වන අතර, ඊට පසු දා යෙදෙන සිකුරාදා දිනය ඔවුන් විසින් කළු සිකුරාදා ව ලෙස හඳුන්වනවා. ඇමෙරිකානුවන්ගේ නිවාඩු දිනයක් ලෙස මෙය නොසලකන නමුත්, එරට ප්‍රාන්ත කිහිපයක රජයන් එම ප්‍රාන්තවල නිවාඩු දිනයක් ලෙස මෙදින නම් කර තිබෙනවා.  නමුත් එය ඇමෙරිකාව තුළත්, ඉන් පිටත රටවලත් වඩා ජනප්‍රියත්වයට පත්වන්නේ මීට වර්ෂ කිහිපයකට පෙර සිට යි.

නම වැටුණේ මෙහෙම යි

කළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ කියලා මේ දවසට නම වැටුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ මේ දිනයට මාර්ග තදබදය, ඝෝෂාකාරී බව, මෝටර් රථ නැවත්වීමට ඉඩකඩ නොමැති වීම, මාර්ග අනතුරු, බැණ වැදීම්, හා එකිනෙකා රණ්ඩු කරගැනීම ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වෙන නිසයි.

ඉතින් මේ කරදරකාරී සිකුරාදා දිනය අඳුරු සිකුරාදාවක් ලෙස ආරක්ෂක අංශ විසින් නම් කරනවා.

යම්කිසි වෙළඳ ආයතනයක වාර්ෂික අවසාන ගිණුම් වාර්තාව බ්ලැක් හෙවත් කළු ලෙස හඳුන්වනු ලබන්නේ එම වෙළඳ ආයතනය ලාභ ලබන බව යි. මෙම දිනයේ දී  වෙළඳ ආයතනවල භාණ්ඩවල විකිණීම හා එදින ලාභය, ඉතා ඉහළ අගයක් වාර්තා කරන බැවින් වාණිජමය අතින් කළු සිකුරාදා දිනය තමන්ට ගැළපෙන ලෙස වෙනස් කර ගැනීමට වෙළඳ ආයතන සමත් වෙනවා.

තෑන්ක්ස්ගිවින් දිනයෙන් පසු ව එළඹෙන සිකුරාදා දිනය තුළත් ඉන්පසු ව, තවත් සති අන්ත නිවාඩු දින දෙකක් ලැබෙන නිසාත් බොහෝ ඇමෙරිකානුවන් කළු සිකුරාදා දිනය දා වෙළඳසැල්වල පොරකමින්, භාණ්ඩ අවසාන වීමට පෙර එකිනෙකා පරයා මිල දී ගැනීම්, බැන වැදීම් ඉතා සුලබ යි.

මේ වන විට කළු සිකුරාදා සංකල්පය අමෙරිකාවෙන් එපිටට වර්ධනය වී ගොස් තිබෙනු දකින්නට ලැබෙන අතර බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, හා ස්වීඩනය මෙන්ම තවත් බොහෝ රටවල් ප්‍රමාණයක ඉතා ජනප්‍රිය යි. එම රටවල පිහිටි ලෝක ප්‍රසිද්ධ වෙළඳ සමාගම් මේ සඳහා අධික මුදලක් දරා ප්‍රචාරණ කටයුතු මෙහෙය වන අතර බොහෝ වෙළඳ සැල් සිකුරාදා දින එළඹෙන මධ්‍යම රාත්‍රියේ දී ම පර්භෝගිකයන් සඳහා විවෘත වෙනවා.

කළු සිකුරාදා භීෂණය

2008 වසරේ කළු සිකුරාදා දිනයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෝල්මාර්ට්  ශාඛාවට පැමිණෙන අතිවිශාල ගණනක් වූ පාරිභෝගිකයන්ගේ තෙරපීම හේතුවෙන් එහි වෙළඳ සේවකයෙකු මිය යනවා. තවත් පුද්ගලයන් මේ හේතුවෙන් තුවාල ලබන අතර, එහි පැවති තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමට පවා සිදුවෙනවා.

2010 වසරේ කළු සිකුරාදා දිනයේ විස්කොන්සින් ප්‍රාන්තයේ වෙළඳ සැලකට ගොඩවැදුණු කාන්තාවක් එහි සේවකයන් සමග භාණ්ඩයකට හෙට්ටු කරන අනතුරුව ඔවුන්ට වෙඩි තබන බවට තර්ජනය කරනවා.

තව ද, එම වසරේ ම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙළඳසැලකට කඩා වදින පිහි හා ගිනි අවිවලින් සන්නද්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙනවා

2011 වසරේ තමන්ට කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට අවකාශය නොලැබූ එක්තරා කාන්තාවක් එහි සිටි සියලු දෙනාට ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කරනවා. මේ හේතුවෙන් 20කට අධික පිරිසක් රෝහල් ගත කිරීමට සිදුවෙනවා.

2012 වසරේ ෆ්ලොරීඩාවේ වාහන නවතා තැබීමේ ඉඩක් වෙනුවෙන් රණ්ඩු වෙන පුද්ගලයන් දෙදෙනක් වෙඩි තබා ගන්නවා. 2016 වසරේ ද කළු සිකුරාදා දිනයේ ඇති වූ කෝලාහල නිසා එක් පුද්ගලයෙක් වෙඩි වැදී මරණයට පත්වෙන අතර, තවත් පිරිසක් තුවාල ලබනවා.

ඉතින් ලෝකය පුරා කළු සිකුරාදා දිනයේ දී ඇදහිය නොහැකි වට්ටම් පාරිභෝගිකයන්ට හිමිවෙන අතර, මේ වන විට ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය වෙළඳ සමාගම් විසින් කළු සිකුරාදා දිනයේ දී විස්මිත වට්ටම් ලබා දීම ආරම්භ කරලා තියෙනවා.

ඉතින් අද හවස් වෙලා ෂොපින් යන්න පොඩ්ඩක් එළියට බැස්සොත්, ඒ බව ඔබටත් අවබෝධ කරගන්න පුළුවන් වේවි.

උපුටා ගැනීම : රෝ මීඩියා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)