Sunday, September 22, 2024

ජිනීවා යෝජනාවකට මුහුණ දුන් පළමු වටයේම ගෝඨාභය පාලනය පරදී

Must read

( 10.30 am ) මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකයේ ඉහලම මානව හිමිකම් සභාවේ යෝජනාවක් සම්මත කරගැනීම වැලැක්වීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය.  

බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය 2015 න් පසු ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්මත කරගත් මුල්ම වතාව මෙය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවකදී ලත් පළමු පරාජයද මෙය වෙයි.

      එම යෝජනාව පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට හා සංරක්ෂණයට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අවස්ථාව සැලසේ. එමෙන්ම, රටේ ඉදිරියට සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ තොරතුරු රැස් කිරීමටද ජගත් මණ්ඩලය අනුමැතිය දී ඇත.  

  යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර ආර්ජන්ටිනාව, මෙක්සිකෝව සහ උරුගුවේ යන දකුණු ඇමරිකානු රටවල් ඒ හා එක්වීම නව වර්ධනයක් විය. විරුද්ධ වූයේ රුසියාව, පකිස්තානය, චීනය හා බංග්ලාදේශය ඇතුළු රටවල් 11 කි.    

 යෝජනාව පරාජය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලැබෙන බව විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ අද්මිරාල්වරයා ප්‍රසිද්ධියේ පුරසාරම් දොඩා තිබුනද ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 14 ට එක්විය.  නේපාලය මෙන්ම බහරේනය සහ ලිබියාවද ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්ය.    

  කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවධාරණය කර තිබුනේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල බහුතරයක ඡන්දය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යෝජක රටවලට නොහැකි වූ බවයි.

  ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ඩොලර් මිලියන දෙකකට අධික මුදලක් වැය කිරීමට සිදුවන බව ජිනීවා සමුළුවට දැනුම් දෙන ලදී. 
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)