Sunday, September 22, 2024

ගාමිණි පියතුමාට එරෙහිව ආණ්ඩුවේ තර්ජනාංගුලිය ඔසවන්නේ ඇයි ?

Must read

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමට සැරසීම සහ පාස්කු ඉරිදා ඛේදවාචකය දෙකක් නොව එකම සිද්ධියේ අවධි දෙකකි. සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් කතෝලික – අකතෝලික සියලු ජනතාව නැගී සිටිය යුත්තේ මන්ද ? පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කරගෙන ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ දැඩි අභිලාෂයෙන් ක්‍රියා කරන මා ද සම්බන්ධ එක් මිතුරු හවුලක් විසින් යුරෝපයේ සිටින ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් 2021 ඔක්තෝබර 23 සෙනසුරාදා වෙබිනා සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබිණි.

එම සම්මන්ත්‍රණයට මේ සිද්ධියේ සත්‍යය සහ යුක්තිය හඹා යන නායකයන් වන කාදිනල් මැල්කම් රන්ජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් ප්‍රධානව, සිරිල් ගාමිණි, ජුලියන් පැට්‍රික් සහ රොහාන් සිල්වා නි.ම.නි, යන පියවරු ආරාධනා ලබා සිටියහ.

ඒ සඳහා අප විසින් මේ පිලිබඳව මෙතෙක් හෙළිදරව් වී ඇති දත්ත ඇතුළත් පවර්පොයින්ට් දැක්මත් ඉදිරිපත් කරනු ලැබිණි. මාත් මගේ මිතුරාත් එම තොරතුරු ඉදිරිපත් කරන අතරතුර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන පැනලයේ සිටි කාදිනල් හිමියන් පහ පියතුමන්ලාගෙන් අදහස් විමසුවෙමු. මෙහිදී කාදිනල් හිමිපාණෝ අදාළ දත්ත පිළිබඳව ඉතා උනදුවෙන් සහ ප්‍රබල ආත්ම විශ්වාසකින් යුතුව විස්තර කරමින් අදහස් පල කළහ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයකයකු වන සහරාන් ලාගේ ත්‍රස්තවාදී ක්‍රියා වලට වසර 2009න් පසුව – එනම් යුද්ධයෙන් පසුව – එවකට පැවති රජය විසින් අනුග්‍රහය, අනුබලය පමණක් නොව මුල්‍යමය සහය ද ලබා දුන් බවට හෙළි වී ඇති තොරතුරු මෙම සාකච්චාවට ලක්වූයේ ඒ අතරය. එවකට බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස සිටියේ එවකට බ්‍රිගේඩියර් දැන් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ය. ඒ පිළිබඳව අප කල විමසීමට අනුව සුරේෂ් සලේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූයේ සිරිල් ගාමිණි පියතුමා ය.

සහරාන් ඇතුළු ප්‍රහාරකයන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ගෙවීම, ඔහු සහ සහරාන් ඇතුළු කණ්ඩායම සමග පැවතුනු බව කියන සම්බන්ධතා ආදී වශයෙන් කොමිෂන් සභා ඇතුළු විවිධ විමර්ශන තල වල හෙළදරව් වී ඇති කරුණු පිළිබඳව එතුමා ප්‍රශ්න කළේය. යුද්ධය පවතී වකවානුව තුළ එහි කිසියම් ම අරමුණක් හෝ වෙනුවෙන් සාහරාන්ලා යොදා නොගත් බවට යුද්ධය ජයගත් හමුදාපති වරයා වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා පාර්ලිමේතුවේදී කල, මේ වන විට හැන්සාඩ් ගත වී තිබෙන තොරතුරු ද ,එහිදී පෙන්වා දෙනු ලැබිණි. බිය හෝ වෙනත් කවර හෝ කාරනාවක් නිසා හෝ සුරේෂ් සලේ යන නම මෙතෙක් කවරකු හෝ විසින් ප්‍රසිද්ධියේ ඍජුව සඳහන් කර තිබුනේ නැත. එහෙත් රකුසන්ට බිය වී සත්‍යය හෝ යුක්තිය ඉටු කර ගත නොහැක. (සිරිල් ගාමිණි පියතුමා ගේ ස්වර්ගීය ස්වාමියා වන ක්‍රිස්තුන් වහන්සේත් උන්වහන්සේ ගේ මග පිළියෙළ කල ස්නාවක ජුවාම් ඇතුළු පුරාන ගිවිසුමේ දිවැසිවර පරපුරත් ඒ බව ක්‍රියාවෙන් පෙන්වා තිබේ. ගාමිණි පියතුමා ඒ දිවැසිවර ක්‍රියාව නොබියව ඉටු කලේ ය.)

තමා ගේ කීර්තියට හානි වූ බව කියමින් සිරිල් ගාමිණි පියතුමා රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස ජනරාල් සුරේෂ් සලේ රහස් පොලිසියෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ ඒ ප්‍රකාශය පදනම් කරගෙන ය. (ඇත්ත වශයෙන් ම රහස් පොලිසිය දැන් පවතින්නේ සලේ යට‍තේ ය. මේ නිසා මෙය ඉල්ලීමක් ද නැති නම් සිය බලය අයුතු ලෙස භාවිත කෙරෙන “නියෝගයක් ද?” යන්න නීති අංශ විමසා බැලිය යුතු කරුණකි,) මේ අනුව ප්‍රශ්න කිරීම සඳහා පැමිනෙන ලෙස සිරිල් ගාමිණි පියතුමාට රහස් පොලිසිය සිතාසි භාර දුන්නේ ය.

රහස් පොලිසිය එතැනින් නැවතුනේ නැත. ඔවුන් එතුමා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියේ ද චෝදනාවක් ගොනු කළහ. එම පැමිණිල්ලේ ගාමිණි පියතුමා කල ප්‍රකාශයට හෝ සුරේෂ් සලේ ගේ පැමිණිල්ලට හෝ අදාළ නොවන භයානක වගන්තියක් තිබේ. එනම්, ICCPR පනතට අදාළ චෝදනාවකි. එනම්, පියතුමා ගේ ප්‍රකාශය ආගමික හෝ ජාතික අසමගියට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතුවන ප්‍රකාශයක් වන බවයි. (එම චෝදනාව ගැන වෙනම ම ලිපියකින් කතා කල යුතු ය.)

මෙම පදනම් විරහිත අභූත චෝදනාව නැගීමේ අරමුණ කුමක් ද?

එහි අරමුණ නම්, ගාමිණි පියතුමා අත්අඩංගුවට ගෙන ඕනෑම කාලයක් -ඕනෑම කාලයක් – රඳවා ගැනීමේ අවසර පත්‍රය පොලිසියට ලැබීමයි. දින නියමක් නොමැතිව රඳවා ගැනීම සත්‍යය පාගා දමා නීතියේ ආධිපත්‍යය විනාශ කරන ඕනෑම රෙජීමයක මර්දනයේ හස්තයකි.

රට පුරා සිටින යුක්තියත් සත්‍යයත් ගරු කරන සියලු ජනතාව – කතෝලික ජනතාව ප්‍රමුඛව – නැගී සිටිය යුත්තේ මේ අයුක්තියට එරෙහිවයි.

ගාමිණි පියතුමාට එරෙහිව ආණ්ඩුවේ තර්ජනාංගුලිය ඔසවන්නේ ඇයි ?

පාස්කු ඉරිදා සිද්ධියට සත්‍යය සේවීම සඳහා කාදිනල් හිමියන් ගෙන ගිය ව්‍යාපාරය තිබුනේ ඇල්මැරුණු ස්වභාවයකිනි. එතුමන් හා එක්ව තර්කානුකුලව, මාධ්‍යයට සහ ජනතාවට දැනෙන්නට, තේරුම් යන්නට, ආත්ම විශ්වාසයෙන් යුතුව, විෂයානුබද්ධව කතා කල හැකි කෙනෙකු එම කණ්ඩායමේ සිටියේ නැත. මේ ගැන හෙළි වී ඇති, විමර්ශනය කර ඇති, කොමිෂන් සභා සහ පාර්ලිමේන්තු කාරක සභාවල හෙළි වී ඇති, පාර්ලිමේතුවේ දී හෙළි වූ කාරනා තාර්කිකව ඉදිරිපත් කරමින් කාදිනල් තුමාට සහය විය හැකි කෙනෙකු කොළඹ පදවි කණ්ඩායම තුළ සිටියේ නැත. එය ඉදිරියට ගියේ කාටද ඕනෑවට වගේ ය.

ශක්‍යතා පූර්ණ මාධ්‍ය කරුවකු වන ගාමිණි පියතුමා ඊට සම්බන්ධ කරගැනීමත් සමග කාදිනල් තුමා ගේ පරිශ්‍රමයට ජවයක් ලැබුනේ ය. (සෙසු පූජකවරු සිය සහෝදරයා ගැන කරන මේ ඇගැයීම ගැන ඊර්ෂ්‍යා නොකරත්වා ! ඊර්ෂ්‍යාව මුල් අගුණ පාපයක් බව සිහිපත් කර ගනිත්වා !) ගාමිණි පියතුමා ඊට අදාළ සියලු තොරතුරු මනාව අධ්‍යයනය කල බව මම දනිමි. ඒ නිසා එතුමා ඒ ගැන කතා කරන්නේ මනා අධිකාරීත්වයකිනි (with authority ).

එක පැත්තකින් සමාජයීය හා සාමය කේන්ද්‍රයේ රොහාන් සිල්වා පියතුමා ගෙන යන ජනතාව මූලික කරගත් ප්‍රබල පාරේ විරෝධයත් ඊට සමගාමීව කාදිනල් හිමි – ගාමිණි පියතුමා සම්බන්ධ වූ නව ජවයෙන් එල්ල වන පීඩනයත් හමුවේ “මහමොලකරුවෝ’ දැන් අන්ද මන්දව සිටිති. භීතියට පත්ව සිටිති.

බිත්තියටම හේත්තු වන තරමට පීඩනයට ලක් වී සිටිති. දැන් අභූත චෝදනා එල්ල කොට සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගන්නට සැරසෙන්නේ මේ තොරතුරු තවත් හෙළිදරව් වීම වැලක්වීමට ය.

එදා පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම කලේ යම් සේ ද එසේ ම මේ මතුවෙමින් පවතින ජවය ද පුපුරුවා විනාශ කිරීමට ය. ‘මහමොලකරුවන්ට” ගැලවිය හැක්කේ ඒ මගින් පමණි. ජෙනරාල් සුරේෂ් සලේ ගේ උත්සාහය ගාමිණි පියතුමා සිර කොට මහ මොළකරුවන් සහ ‘සොනික් සොනික්’ ඇතුළු ඊට සහය දැක්වූ වූ සියල්ලන් නිදහස් කරගැනීමයි.

ඊට ඉඩ හැර උදාසීනව සිටීමට කතෝලික ජනතාවට පුළුවන් ද?

විශේෂයෙන් ම මීගමුවේ කතෝලික යයි කියන ජනතාවට පුළුවන් ද? අයුක්ති සහගත ලෙස සිය සහෝදර පූජක වරයා සිර කිරීමට ඉඩ දී තමන් ගේ පාඩුවේ පූජාව තියාගෙන, සිටින්නට මීගමුව ප්‍රමුඛ කොළඹ පදවියේ පූජකවරුන්ට හැකි ද? තමන් ගේ ස්වර්ගීය සවාමියා ගේ හඬට ඔවුන් බිහිරි ද?“කායින්, ඔබේ සහෝදරයා කොහිද ?”“ ‘මේ අතරින් ජෙරිකොවට ගිය ආගන්තුකයා ගේ අසල්වැසියා වුනේ කවුද? ‘ ‘සමරිතානයා ස්වාමීනි’. ‘ඔබ නිවැරදියි. ඔබත් ඔහු සේ ම කරන්න.”“යුක්තිය උදෙසා පීඩා විදින්නෝ භාග්‍යවන්තයෝ ය. මන්ද ඔව්හු සනසනු ලබන්නෝ ය.”“මම පිපාසාව සිටියෙමි..කුසගිනිව සිටියෙමි, වස්ත්‍රයක් නැතිව සිටියෙමි, අයුක්ති සහගතව සිරගෙට දක්කන්නට ලක්ව සිටියෙමි, යුක්තිය සහ අයිතිවාසිකම් අහිමි කරන ලදුව සිටියෙමි. ඔබ …..?”

පූජකවවරුන්ට සහ ජනතාවට ඒ හඬ ඇසෙනවා ද ?

ගාමිණි පියතුමා අයුක්තියට ලක්වීම යනු 2019 අප්‍රේල් 21 වැනිදා කුරිරු ලෙස මරා දමන ලද සහ ජීවිතයට ම වින්දිතයන් බවට පත් කරන ලද සමස්ත සහෝදර සහෝදරියනට ඉටු විය යුතු යුක්තිය පාවා දීමකි, එසේ යුක්තිය පාවා දෙන පියතුමෙකුට යලි කවදාවත් ඉහත සඳහන් පාඨ ඇතුළත් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමයේ පනත ගැන දේශනා කල හැකි ද? (කලොත් ‘ඕවා වැදී බන’ කියා ජනතාව පමණක් නොව ක්‍රිස්තුන් වහන්සේ ද කියනු ඇත.)

එසේ නම්, යුක්තිය වෙනුවෙන් නැගී සිටින්නට වෙලාව පැමිණ තිබේ. මොහොත පැමිණ තිබේ. කතෝලික ජනතාව ගේ ප්‍රතික්‍රියාව බලා ගැනීම සඳහා ක්‍රිස්තු සමිඳුන් උසාවිය ළඟ, රහස් පොලිසිය ළඟ බලා සිටියි. (ඉන් පසුව උන්වහන්සේ දෙව් මැදුරු තුළ නොසොයන්න!)රදගුරු වරුන් ජුදාස්ලා නොවිය යුතු ය.

යුක්තිය වෙනුවෙන් කාදිනල් තුමන් ගෙන යන අරගලය නවත්වන්නට නොහොත් අඩපන කරන්නට, දියාරු කරන්නට ‘මහමොලකරුවන්’ වෙනත් රදගුරු වරුන් කිහිප දෙනෙකු ඔස්සේ ගෙන යන ව්‍යාපාරයක් ගැන ද අපට තොරතුරු ලැබී තිබේ. එම රදගුරු හිමිවරුන්ට ද මෙහි මුලින් පූජක වරුන්ට කී දේ ම කියමි.ඊට අමතරව කිව යුතු දෙයක් ද තිබේ. ජුදාස් යනු ජේසු ගේ අපෝස්තුලු වරුන් (ප්‍රධාන ශ්‍රාවකයන් ) 12 දෙනාගෙන් කෙනෙකි.

උන්වහන්සේ ගේ විශේෂ අභිෂේකය ලත් කෙනෙකි,. විශ්වාසය දිනු කෙනෙකි. එසේ නොමැති නම් මුදල් පසුම්බිය ඔහුට භාර දෙන්නේ නැත. එහෙත් ඔහු එයින් හොරා කෑ බව සුවිශේෂ වලම සඳහන් වේ. එපමණක් නොවේ. ඔහු කීර්තිය, තනතුරු, බලය සහ මුදල් යන සිව් අවගුණ වෙනුවෙන් නාසරෙතයේ ජේසු තරුණයා පාවා දුන්නේ ය. අද එම අපෝස්තුලු වරුන් ගේ තැන සිටින්නේ රදගුරු හිමිවරු ය. විවිධ පඬුරු පාක්කුඩම් පුදමින් “ක්‍රිස්තුන් වහන්සේ පාවා දෙන්න” යයි කියන දේශපාලකයන් ගේ ගොදුරු බවට පත් වන්නේ ද? නැති නම්, සැබෑ ක්‍රිස්තු නියෝජිතයන් වන්නේ ද ? යන්න එවැනි රදගුරු හිමිවරුන් තීරණය කල යුතු ය.

රදගුරු වරුන් හැඳින්වෙන්නේ එඬේරුන් ලෙස ය. ජේසු සමිඳුන් සිය අග්‍ර ශ්‍රාවක පේදුරුට දුන් අවසන් උපදේශය “මගේ බැටළුවන් රැක බලා ගන්න !” යන්නය. ජේසු ගේ සමයේ ගලීලයේ එඬේරු තම ජීවිතය පූජා කර හෝ සිය බැටලුවන් වෘකයන්ගෙන් ගෙන් රැක ගත්හ. රදගුරු වරුනට සාමාන්‍ය ගිහි ජනතාව සේ ම පූජක වරුන් ද බැටළුවෝ ය. පාස්කු ඉරිදා ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් සහ ගාමිණි පියතුමා සම්බන්ධයෙන් ලංකාවේ සෙසු රදගුරු වරුන් ක්‍රියා කරන්නට යන ආකාරය අනුව ඔවුන් එඬේරුන් ද නැතහොත් සිය බැටළුවන් ‘වෘකයන්ට’ පාවා දී වාසි ලබන සොරුන් ද යන්න ජනතාව තේරුම් ගනු ඇත.
සමන් කපිල විජේසූරිය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)