Sunday, September 22, 2024

අතුරුදහන් පුතා නොදැකම තවත් දෙමළ මාතාවක් දිවි හැර යයි

Must read

පළමු රාජපක්ෂ පාලන සමයේ දියත් වූ යුද්ධයේ අවසන් සමයේදී අතුරුදහන් තම පුතුගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින්

සිව් වසරකට ආසන්න කාලයක් අඛන්ඩ අරගලයක නිරත වූ තවත් දෙමළ මාතාවක් පිළිතුරු නොලබාම දෙවැනි රාජපක්ෂ පාලන සමය ආරම්භයේ මියගොස් තිබේ.

අතුරුදහන් වු සිය පුතු සොයා ගැනීම වෙනුවෙන් මුලතිව් හි අඛණ්ඩව ක්‍රියාත්මක වන සත්‍යග්‍රහ භුමියේ දින 1250 ක්  වාඩිලා සිටි මයිකල් ජේසු මේරි මාතාව මිය ගොස් ඇත්තේ අගෝස්තු 10 සඳුදාය.

මානික්කපුරම්, විශ්වමඩුවේ පදිංචි කාරියක වු ඇය මිය යන විට 74  වැනි වියේ පසු වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් තම ඥාතීන් සොයමින් උතුරු නැගෙනහිර අරගලයේ යෙදී සිටින උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලිලාදේවී ආනන්දනඩරාජා පවසන්නේ මේ වන විටත් යුක්තිය නොලබාම  මියගොස් ඇති මව්වරුන් ගණන හැත්තෑ දෙදෙනකු බවයි.

ඒ අතුරින් මව්වරුන් 18 දෙනකුම මුලතිව් හි අඛණ්ඩව සත්‍යග්‍රහ භුමියේ වාඩිලා සිට් මව්වරුන්ය.

”යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් තම ඥාතීන් සොයමින් උතුරු නැගෙනහිර අරගලයේ යෙදී සිටින උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලිලාදේවී ආනන්දනඩරාජා පවසන්නේ මේ වන විටත් යුක්තිය නොලබාම  මියගොස් ඇති මව්වරුන් ගණන හැත්තෑ දෙදෙනකු බවයි.”

2009 වසරේ යුද්ධය දරුණු ලෙස ඇවිලී ගිය මුල් කාලයේදීම මුලතිව්හි මාතලන් ප්‍රදේශයේදී අතුරුදහන් වූ සිය පුතු මයිකල් ජෝසප් සොයා ගැනීම වෙනුවෙන් මයිකල් ජේසු මේරි මාතාව මිය යන තෙක්ම නොනිමි අරගලයක යෙදී සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

අවුරුදු දෙක හමාරත් පසුකළ OMP කාර්යාලය:

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර දෙක  හමාරක්  සම්පුර්ණ වී තිබේ.

 ඉකුත් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව OMP ප්‍රධානියාද පිළිගෙන තිබේ.

“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ සමීපතමයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.

”ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.”

කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)